මාගේ සිතේ ඇතිවි ඇති සතුටට නිමක් නොමැත. දෙපතුල් පොළවේ නොවැද පාවී යන්නාක් මෙන් මට දැනේ. සිනාවෙන් පිරී ඇති මුව වැසීමට අමතක වී ඇති සෙයකි. සුරංගනා කතා වලට අපමණ ප්‍රිය කල මාහට අද එවැනිම සුරංගනා කතාවක කොටස්කාරියක් වීමට ඉරණම් වී ඇත. අඩිපාර දිගේ මා දිවගියේ නැවත ඔහු දැකීමේ නොඉවසිල්ලෙනි. සැනෙකින් මා අඩි පාර කෙළවර අඳුරු තුරු වියනින් ආවරණය වු කුඩා පොකුණ වෙත පැමිණියෙමි.. මේ මහා වැව් තලයේ ඔහු කොතැනක සිටිනවා ඇත්ද? මේ ළඟම එසේත් නැතිනම් බොහෝ ඈතක.. ඔහුට ඇමතිය හැක්කේ කෙසේද? සීයාගෙන් ඒ පිළිබඳ අසා නොගැනීම නිසා මට මා පිළීබඳවම සියුම් කෝපයක් ජනිත විය. පොකුණ වට කර ඇති ගල් කුළට නැගගත් මා පෙර දින ඔහු වාඩිවී සිටි ගල් පෙල වෙත පය නඟන්නට වීමි. තියුණුලෙස මතුවූ තිබූ දාර සහිත ගල නිසාවෙන් ගමන මදක් අසීරු වූ අතර ගල් කුළ වැවට විවෘතව ඇති ස්ථානවේ දිය සීරාව නිසා මා පැළඳ සිටි කැන්වස් සපත්තුවේ එක් පැත්තක් ලිස්සා ගොස් නොසිතූ මොහොතක මා පොකුණට ඇද වැටුනෙමි.. එසේ ඇද වැටීමේදි ගල් කුල අල්ලා ගැනීමට මා දිගු කල අතද බොහෝ සෙයින් තුවාල වී ඇඳ සිටි ගවුමේ පැත්තක්ද ඉරී මා සීතල දිය යටට ගිලී ගියෙමි..
පිහිනිය හැකි වුවද කලබලය නිසා මා හට ගත යුතු පියවරක් නැති තැන මා ගල් තලාවෙ මතු පිටට නෙරා ආ ස්ථානයකින් අල්වාගෙන නැවත එයට ගොඩ වීමට උත්සහයක් දැරීමි. එවිටම මාගේ පිටු පසින් ජල තලය සෙමින් කැලතෙමින් ජල තලය තුලින් යම් කිසිවෙකු මා හට ළං වෙමින් සිටින බව නැගෙන ජල තරංගවලින් මා දැන ගතිමි. මෙහි පැමිණීමේදී තිබු උනන්දුව සතුට පරයා මහත් භීතියක් ඇති වු බැවින් මම ගල් තලාවේ එල්ලි ගත් වනම මහ හඬින් කෑ ගසන්නට වීමි..
මා හට අඩි දෙකක පමණ දුරින් නැවතුන එම ඡායාව සෙමින් සෙමින් දියෙන් උඩට මතු වීමට පටන් ගත්තේය.. මුළින්ම තඹවන් කෙස්, ලිලී මලක පැහැයැති නළල් තලය නිල් දියමන්තියක් බඳුවූ දෙඇස්.. සෘජු දිගු නාසය. දම් පැහැති තොල් යුගල… ඒ ඔහුමය. පෙරදින මා බිය වැද්දුවා සේම අදද ඔහු මා බොහෝ සෙයින් බියට පත් කලේය.. ඔහුගේ හිසට පිටු පසින් වු වතුරෙන් ඔහුගේ කිඳුරු වල්ගය මතුවන්නට වුයෙන් මා නැවතත් බෙරිහන් දීමට පටන් ගතිමි.. මාගේ කෑගැස්මට ඔහුද සැලෙන්නට ඇත. දබරැගිල්ල දොතලට තබා මට නිශ්ශබ්ද වන ලෙස සන් කල ඔහු තවත් අඩියකින් මාවෙත ලං විය..
“ඇකේෂියා!” ඒ හඬ ඔබින්නේ ඔහු වන් කඩවසම් තරුණයෙකුට පමණී. පුදුමය නම් ඔහු කතා කිරීමට දෙතොල් භාවිතා නොකරයි. එහෙත් ඒ හඬ එන්නේ ඔහුගෙ බව මට විශ්වාසය..
“ඇයි ඔයා කතා නොකරන්නේ..?” දරුණු නිහඬතාවය හා ආත්මය පාසාරු කරගෙන යන ඔහුගේ බැල්ම දරා ගත නොහැකි තැන මම ඇසුවෙමි.. ඔහුගේ දෙතොල් මෑත් වී සිනහවක ඡායාවක් මතුවිය.. කිඳුරන්ට සිනහ විය හැක.. මා මාගේ කිඳුරු දැනුමට තවත් කරුණක් එකතු කර ගත්තෙමි..
ඒඩ්‍රියන් ! සීයා කියා දුන් නම මතක් වූ මා එයින් ඔහු ඇමතීමි.. ඒ ඇස් පියන් සැලි ගිය ආකාරයෙන් ඒ ඔහුම බව මා හඳුනා ගතිමි.. මාගේ තුවාලවී ලේ ගලට අත දුටු ඔහු මාගේ අත ඉල්ලා අත්ල පෑවේය.. මදක් ඔහු දෙස බලා සිටි මා මාගේ අත ඔහු වෙත පෑවෙමි. ඔහුගේ දෙඅත් ඉතා සීතලකින් යුක්ත විය. ඇඟිලි සාමාන්‍ය මනුෂ්‍යකුගේ මෙන් වුවද ඇඟිලි අතර තාරාවෙකුගේ පාද වල මෙන් සියුම් විනිවිද පේන සුළු සමකින් බැඳී තිබුනි. මාගේ අත තුවාල වූ තැනින් දැඩිව අල්වා ගත් ඔහු දෑස් පියා මද වේලාවකට පසු අතහැර දැමීය. පුදුමයකි. තුවාල වූ සළකුණක්ද නොමැතිව මාගේ අත සුවපත් වී තිබුනි..
“Wow! What was that ?”
සීයා මට කියා දී ඇත්තේ කිඳුරන් ගැන වූ සරළ පාඩමකි. මතුවට ඔහුගෙන් තව දුරටත් විස්තර අසා දැන ගත යුතු යැයි මා ඉටා ගතිමි. මම ආයාසයෙන් සිනහවක් මවාගෙව ඔහු දෙස බැලීමේ. කුමක් හෝ මායාවක් කර මේ තියුණු බැල්මෙන් ගැලවෙන්නට ඇත්නම්.. එක එල්ලේ ඒ දෑස් දෙස බලා සිටියහොත් ඔබ ඔහු කෙරේ නොකඩවා ආකර්ෂණය වීම ඔබට කොහෙත්ම නවත්වා ගත නොහැකි වනු ඇත. බොහෝ වේලා වතුරට වී සිටි බැවින්දෝ මා වෙව්ලීමට පටන් ගෙන ඇත.
“ඇකේෂ්‍යා , එන්න මං ඔයාව ඉවුරට ගිහින් දාන්නම්..” ඔහු නැවත මාහට අත පෑවේය. මට ඉවුරට යාමට අවශ්‍ය නැත. මට ඇවසි කර ඇත්තේ මොහු හා දොඩමළුව මා නොදන්නා කිඳුරු තොරතුරු සියල්ල ඔහුගෙන් දැන ගැනීමයි. එහෙත් මේ අවස්ථාවේ ඔහුට කීකරු වීම යෙහෙකැයි සිතූ මා ඔහු හට මාගේ අත දුන්නෙමි.. මා තමන් වෙත ඇද ගත් ඔහු මාගේ බඳ වට අත යවා මා ඒ සිරුරට තද කර අල්වා ගත්තේය.. මාගේ කෙටි ගවුමෙන් ආවරණය නොවූ දෙපා ඔහුගේ කඳින් පහලට දිව ගිය කිඳුරු වල්ගයේ ස්පර්ශ වන විට මා මහත් අපහසුතාවයකට පත් වූයෙමි. සර්පයෙකු හෝ මැඩියෙකු මාගේ සිරුරේ තැවරෙන්නාක් වැනි හිරිකිතක් දැනුනද මා එය මහත් ආයාසයෙන් මැඩ පවත්වාගත්තේ මාද කිඳුරු පවුලේ පුරුකක් බව සිහියට නැඟුන බැවිනි.
ඉවුරේ වු කුඩා පැතලි ගල් පොත්තේ මා හිඳවූ ඔහුද එහිම පහත් තැනකින් හිඳ ගත්තේය. මාගේ දැඩි බව මදක් ලිහිල් කර ඔහු හා සංවාදයේ යෙදෙන්නට මා තීරණය කලෙමි. කිඳුරන් මුවින් නොදොඩයි. එහෙත් ඔවුන් කියනා දෙය හෝ කීමට උත්සහා කරනා දෙය අපගේ සිතේ ඇති වන සිතුවිල්ලක් සේ අපට වැටහේ.. මෙතෙක් අප අතර සන්නිවේදනය සිදුවු ආකාරයෙන් මට එය වැටහුනි.
කිඳුරන්ගේ ආහාරය වන්නේ ගැඹුරු ආගාධ වල වැඩෙන්නාවූ විශේෂ පැලෑටි වර්ගයකි.. ඔහු එවන් පැලෑටියක් මාහට ගෙනැවිත් පෙන්වීමට තරම් කාරුණික විය. කිඳුරන් නිදා ගැනීමක් නොකරන අතර එහෙත් විවේකයක් අවශ්‍ය විටෙකදී දිය මතු පිට ගල්තලාවකට වී බොහෝ වේලාවක් නොසෙල්වී බලා සිටීමක් සිදු කරයි. ඔවුන් දැඩි හිරු රශ්මිය ප්‍රිය නොකලද ඔවුන්ගේ පැවැත්මට හිරු රශ්මිය අවශ්‍ය බැවින් උදේ කාලයේ හිරු රැස් නැම සිදු කරයි. කිඳුරන් හට සෑම ජලජ හා ගොඩබිම් ජීවියෙකු සමඟම සන්නිවේදනය කල හැක. කිඳුරන් නඟන හඬ බොහෝ වේලාවකට උරුවම් බෑමකට සමාන වන අතර සිය සහකාරිය හෝ සහකරුවා තමන් වෙතට කැඳවා ගැනීමට අවශ්‍ය විටෙකදී ඔවුන් ඉතා රමණීය ලෙස මෙම ශබ්දය නැඟීම සිදු කරයි. මේ මා ඔහුගෙන් දැන ගත් කරුණු කිහිපයක් පමණි.. එසේ බොහෝ වේලාවක් තිස්සේ මා ඔහුගෙන් විශාල තොරතුරු සම්භාරයක් දැනගතිමි. කාලය විදුලි වේගයෙන් ගෙවි ගොස් ඇති බව මට වැටහුනේ මදකට අප කතාව නවතා ගල් තලාව අතරින් පෙනෙන වැව දෙස බලා සිටියදී තම කැදලි කරා ඇදෙන කුරුල්ලන් සමූහය දුටු මොහොතේය.
එය මා මාගේ දිවියේ ගත කළ සුන්දරතම දිනයක් විය හැක. හිරු නැගෙන තෙක් නොඉවසිල්ලෙන් යහනේ පෙරෙළෙමින් සිටින මා ප්‍රථම හිරු කිරණ මාගේ කුටියට වඩින පමාවෙන් නැඟිට මාගේ සියළු සුපුරුදු වැඩකටයුතු අමතක කර දමා දිව යන්නේ ඔහුගේත් මාගෙත් කුඩා ලෝකය වූ ඒ නොගැඹුරු පුංචි පොකුණ වෙතයි. මාගේ නොනවතින් ප්‍රශ්න වැල අතර නිරුත්තර වන ඔහු හැකි සෑම අයුරින්ම මා හට කිඳුරු තතු පැහැදිලි කර දේ. මුවින් නොදඩා සිතුවිලි වලින් හා අංගෝපාංග චලනයෙන් ඔහු තතු පහදන ආකාරය බලා ඉන්නට ආසා සිතෙන සුළුය. විටෙකු ඔහු කොහෙන්දෝ සොයා එන සකුරා වැනි මල් සමූහයකින් පොකුණ පුරවයි. මල් පිරුණ පොකුණට වන් කල්හි මාද ඓතිහාසික කතා වල කියවෙන කුමාරිකාවක් වැනි යැයි මට සිතේ.. විටෙක අප විසිතුරු කුඩා මසුන් පසු පස එළවමින් පොකුණ පුරාවට පිහිනීමු. විටෙක මා ඔහුව ගල්තලාවේ හිඳුවා ඒ කිඳුරු සිරුර ගවේශණය කරමි. මොණරපිලක පැහැ ගත් කොරල් වලින් වැසී ගත් ඒ කිඳුරු වල්ගය ඇඟිලි තුඩු වලින් ස්පර්ශ කර බැලීමි. විටෙක අප ගල්තලාවේ දෙපසකට වී බැල්මෙන් එකිනෙකා පරදවන ක්‍රීඩාවක නිරත වීමූ. එහෙත් සැමදා පැරදුනේ මාය. ඒ මට එක එල්ලේ ඔහුගේ දෙනෙත් බලා සිටිය නොහැකි කමකට නොවේ. ඔහුගේ බැල්මෙන් අවදිවන මාගේ ඉඳුරන් දමනය කිරීමටය. මාගේ සිතුවිලි ඔහුට හැඟේවිදෝයි මා බිය වූයෙමි. ඔහු වෙනුවෙන් සිතේ ඉපදීමට අර අදින මාගේ ආදරය ඔහුට දැනේවියැයි මා බිය වූ නිසාය.
මා වෙනුවෙන් ඔහුගේ සිතේ ඇති හැඟීම් දැන ගැනීමට මා අපමණ උත්සහ දැරීමි. සීයා පැවසූ පරිදි කිඳුරන් හා ගැවසෙන විට ඔවුන්ගේ සිතුවිලි අප හට ග්‍රහණය කල හැකි වුවද ඒඩ්‍රියන්ගේ සිතේ මා වෙනුවෙන් ඇත්තේ කුමන හැඟීමක් දැයි පැවසීමට මා හට තවමත් නොහැකිය. ඔහු කෙතරම් සුහදශීලි ලෙස මා හා හැසිරුනද ඔහු ළං වද්දි මා හට මද අපහසුතාවක් හා අනාරක්ෂිත හැඟීමක් ඇති වන්නේ ඇයි දැයි මා එම සිද්ධිය සිදුවන තුරු සැක නොකළෙමි.
8 comments:
කොටස් දෙකම අද තමයි බැලුවේ. මම මේ වගේ කතා කියවන්න කැමතිම නෑ.. ඒත් මේ කතාවට ගොඩාක් කැමතියි.. ඉතිරියත් ඉකමනට ලියන්න..
මම මොනවා කියන්නද..? ඒ තරමටම සුන්දර ලෝකයක්...
මේ කොටසත් අපූරුයි . .
කියන්න වචන නැහැ. ආයෙමත් සන්සුන් කතා විලාශයට ඇවිත් වගේ..........
good story i like it
ෂා ලස්සනයී
ඔයාගේ කතාව අද ඉදන් දිගටම මම කියවනවා
මුල් එවත් අද කියවලා ඉවර කලා....
තවත් ලස්සන කොටසක්...
මම නම් අසාවෙන් කියවනවා !! දිගටම ලියන්න
Post a Comment