Thursday, June 23, 2011

කින්නර අඩවිය … 10

acacia

මා නැවත නිවස කරා පැමිණියේ ඇරුණෝදයත් සමඟයි. අම්මා හෝ සියා අවදි වී නොසිටීමෙන් දහසක් ප්‍රශ්න වලට පිළිතුරු දීමෙන් වැලකී සිටිමේ අවස්ථාව මට උදා විනී. දෑත් දෙපා නිල් පැහැ ගැන්වී ඇත. බොහෝ වෙලා වතුරේ සීටිමෙන් විය යුතුය. මාගේ දිවියේ ප්‍රථම වරට උදාවූ ඒ සොඳුරුතම හෝරාවන් ගැන සිහින දකිමින් සිටියදී මා නින්දට පත් වූයෙමි..

බොහෝ ප්‍රමාද වී අවදිවූ මාහට සීයාත් අම්මාත් වාදයක පැටලි ඇති ආකාරය පහත මාලයෙන් ඇසෙන්නට විය. ඔවුන්ගේ වාදයට හේතුව බොහෝ විට මා විය හැක.. මා සාලයට පියනැඟුවේ අද මේ සියළු ගැටළුන්ට විසඳුම් ලබා දෙමියි සතිමිනි. සිතූ පරිදිම මා දුටු සැනින් එතෙක දොඩමළු අම්මා හා සීයා නිහඬ විය. ඔවුන් දෙදෙනා දෙස නෙත් හෙලූ මා හඬ අවධි කළෙමි..

“සීයා, අම්මා.. ඔයාලා කියපු විදියට කිඳුරු පරපුරේ අන්තිම පුරුක හැටියට මට මං කැමති තීරණයක් ගැනීමේ අයිතිය තියෙනවා. එහෙම නේද සීයා?”

සීයා මා වෙත පැමින දෑතින්ම අල්වා ගත්තේය.

“ඇකේෂියා! ඔව් මං එහෙම කිව්වා.. ඒත් ඔයා තාම ලාමකයි. මේ ප්‍රශ්න ඔයාට බර වැඩි වෙයි කියලා හිතන්නැතුවයි මම මේවා ඔයාට පැටලුවේ. මට සමාවෙන්න දුව.. අම්මා කියනවා ඔයාවත් එක්ක ගෙන මෙහෙන් සදහටම ඈතට යනවා කියලා.. දැන් තියෙන තත්වයේ හැටියට මට ඒකට හරස් වෙන්න බෑ…” සීයාගේ හඬ බොහෝ සේ බිඳී ගිය සිතැත්තෙකුගේ මෙන් විය. අම්මා ඉවත බලා සිටින්නේ දැඩි කරගත් සිතිනි.

“සීයා.. ඔයා එදා මට කිව්වා. අපි සුවිශේෂි පරපුරක් කියලා. ඇස්ට්‍රිය්ඩ් පරපුර සයිරින් කැස්පියන් යුවළගෙ විශේෂ ආශිර්වාදය හිමි වෙච්ච පරපුරක් කියලා. එහෙම උන පරපුරක් මගෙන් නවතිනවට සීයා කැමතිද?” ඉවත බලා සිටි සියා රහසින් මෙන් හිස දෙපසට සැලීය..

“ඒක තමයි! අම්මා සීයා මට සමාවෙන්න! මම ඊයේ රෑ ඔයාලට නොකිය ඒඩ්‍රියන් හමුවෙන්න ගියා..”

අම්මාගේ මුහුණේ හැඟීම් කියවීමට මා එදෙස නොබැලුවෙමි. ඇය කෝප වන බව මා මැනවින් දනිමි. එහෙත් මා මාගේ තිරණය ඔවුන්ට කිව යුතුව ඇත.

“සීයා, ඒඩ්‍රියන්ට පොඩි කාලෙ ඉඳන් අපිට වෛර කරන්න උගන්වලා තියෙන්නේ එයාගේ තාත්තා. එයාගේ තාත්තා හිර වෙලා ඉන්න හැටි දැක්කාම ඒඩ්‍රියන් අපිට වෛර කරන්න බොහොම ලේසියෙන් පෙළඹිලා තියෙනවා.. ඒත් සීයා මට පුළුවන් ඒඩ්‍රියන්ව වෙනස් කරන්න. මම ඒක කලා සීයා. මාව විශ්වාස කරන්න. ඒඩ්‍රියන් දැන් එයා කරපු වැරදි ගැන පසුතැවෙනවා. මට දැන් එයාගේ හිතේ තියෙන දේවල් දැනෙනවා. ඒ හිතේ අපි වෙනුවෙන් තවත් වෛරයක් ඉතුරු වෙලා නෑ සීයා, තියෙන්නේ පසුතැවීමකුත් මං වෙනුවෙන් ඇති වෙච්ච ආදරයක් විතරමයි සීයා……”

මා හුස්මගැනීමට අමතක වූවෙකු, වචන අමතක වේ යැයි බිය වූවෙකු සේ කියවාගෙන ගියෙමි.

“සීයා, අම්මා, මේ අහන්න! මම තීරණය කලා. මම, ඒඩ්‍රියන්, අපි දෙන්නා කිඳුරු පවුල් දෙකක පැවැත්ම ඉදිරියට ගෙනියන්න තවත් සටන් කරන්නේ නෑ. මේ මිස්ටික් ලේක් වල තවත් බලය වෙනුවෙන් එකිනෙකා මරාගන්න කවුරුත් ඉදිරියට ඇති වෙන්නෙ නෑ. අපි දෙන්නාගෙන් ඒ හැමදේම ඉවර වෙනවා.”

මවෙත මුව අයාගත් අම්මා හා සීයා පසුකරමින් මා සාලයේ ඉදිරි දොර වෙත පියමැන්නෙමි.. තවත් ඔවුන් කුතුහලයෙන් උමතු කල නොහේ.. දොරෙහි අගුල යන්තමින් විවර කරමින් මා නැවත ඔවුන් දෙස හැරී බැලූවෙමි. රසවත් කතාවක අවසන් කොටස ඇසීමට ඇස් කන් අයාගත් කුඩා ළදරුවන් දෙදෙනෙකු මෙන් ඔවුන් දෙදෙනා මදෙස බලා සිටී.

“මම ඒඩ්‍රියන්ට ආදරෙයි අම්මා! මිස්ටික් ලේක් වල මින් ඉදිරියට පැවතෙන්නේ ඇස්ට්‍රයිඩ් හෝ අසාzරියා පරපුර නෙමෙයි. ඒඩ්‍රියන් සහ ඇකේෂියා ගෙන් ඇති වන පරපුරක්!”

මාගේ තීරණය පැවසූ මා මිදුලට පිවිසියේ නිදහස් මනසකිනි..

-----------------------------------------------------------------------------

පසු සටහන – මාගේ බලවත් ඉල්ලීම මත නිදහස් කරන ලද ඒඩ්‍රියන්ගේ පියා හා ඔහුගේ අනෙකුත් කිඳුරු නෑදෑයින් කැස්පියන් විසින් මිස්ටික් ලේක් කෙරෙන් ඔවුන්ගේ මුල් නිවෙස් වූ මහා සාගරය කරා ගෙනයන ලදී. සීයා විසින් අපගේ ආදිතමයන්ගේ සවිස්තරාත්මක ග්‍රන්තයේ ඊළඟ පරිච්ඡේදය ලිවීම මා හට භාර කලේය. පසු කාලයේදී මා ගත් තීරණය අම්මාගේද පැහැදීමට ලක්විනි. දායාබර පාඨකය. මා එදින මාගේ තිරණය අම්මාට හා සීයාට පැවසු දිනට පසු සිද්ධීන් සියල්ල මෙහි සඳහන් කර ඔබ වෙහෙසීමට මා නොසිතමි. ඒ වෙනුවට ඉහත පැවසූ ග්‍රන්ථයේ මා විසින් රචිත පරිච්ඡේදෙය් සාරාංශය මෙසේ ඔබ වෙත ගෙන එමි…….

----------------------------------------------------------------------------------------------

පූර්ණ සඳවතිය අහස සතුවූ එක් රැයක මාද ඒඩ්‍රියන් සතු වූයෙමි. පුන් සඳින් ආ රැස් නහමින් මනුෂ්‍යයෙකු බවට පත් ඒඩ්‍රියන් පළමු වරට ඔහුගේ පියවි හඬින් මා කෙරෙහි ඔහුගේ ඇති සෙනෙහස පවසද්දී මා උමතු නොවූවා පමණි. ඉන් පසු ගතවූ සෑම රාත්‍රියකම අප සොබාදහම් මව් තුරුල්ලේ භාහිර ලෝකයෙන් සැඟවී ගොස් ඔවුනොවුන් ගේ ආත්ම හුවමාරු කරගැනීමේ සොඳුරු ක්‍රිඩාවේ නිරත වීමු. අප දෙදෙනා වෙන් කළ නොහැකි යදම් වැනි බැඳීමකින් සිත් වලින් වෙලී ගියෙමු. මිස්ටික් ලේක්හි හාත්පස පැතිර තිබූ මීදුම් පටලය කෙමෙන් ඉවත්ව යන්නට විය. හිරු රුස් පෙරට වඩා දීප්තිපත්ව බැබලෙමින් පොලෝ තලය සිප ගත්හ. ගම්වාසීන්ගේ දුක්මුසු ශෝකි පෙනුම තුරන්වී ඉමහත් පිබිදීමකින් ගොවිතැන් කටයුතු වල යෙදෙන්නට විය. එසේ සියල්ල සපිරි මා දිවියේ තවත් එක් අඩුවක් පිරවීමට මා කුළුදුල් පුත් ඒරීස් හා දියණිය අඋරෝරා මෙලොවට බිහිවිය. ළඳරු කිඳුරු දරුවන්ගේ උරුවම් හඬින් මුළු වැව් තලයම ගිගුම් දෙන්නට විය.. සතුට සැනසීම සාමය මිස්ටික් ලේක්හි නැවත රජයන්නට විය. එසේ මා නිවීගිය සිතෙන් යුතුව ලී වේදිකාවේ වූ කුළුණකට බර වි වැව් තාවුල්ල දෙස බලා සිටි මොහොතක ඈතින් හමා ආ සුළඟ මට මෙසේ පැවසීය.

“ඇකේෂියා! ඔබ එය කළා. මාගෙන් තුරන්ව ගිය සතුට සැනසීම ඔබ නැවත මිස්ටික් ලේක් වෙත ගෙන ආවා. ඔබ සැබෑම කිඳුරු රුධීරය ඇත්තියක් බව සනාථ කලා. අපගේ කිඳුරු පරපුර මෙහි රැඳී සිටින තාක් කල් මාගේ ආශිර්වාදය හා රැකවරණය ඔබලාට සැමදා ලැබෙනවා ඇති…”

එය මා මින් පෙර අසා නැති හඬක් වුවද මා එය හැඳින ගතිමි. මෝගන්! මා දයාබර පියාණෙනි, ඔබ ජීවත්ව සිටියා නම්ද වෛරය ඉවත ලා තෝරා ගන්නේ සදා අමරණීය සෙනෙහස බව මා දනිමි.. ඉඳින් මා තෝරා ගත්තේද ඒ මාවතයි.

කින්නර අඩවිය නිමි……………………!

Sunday, June 19, 2011

කින්නර අඩවිය … 9

සැබවින්ම ඒඩ්‍රියන්ට අවශ්‍ය වූයේ මා මරා දමා විලේ කිඳුරු අධිපති වීමටද? ඒ දෑස්වල ආකර්ෂණය තුලින් මා දුටු ලෙන්ගතු බව සැබෑවක් නොවේද? ඒ සීතල දෑත් වල ස්පර්ෂයෙ මා අත්දුටු උණුසුම සැබෑවක් නෝවේද? මා සිත තවමත් ඒඩ්‍රියන් මා හට විපතක් කල බව පිළිගන්නට සුදානම් නැත. ඒඩ්‍රියන් මා වෙත ළං වද්දී මා අනාරක්ෂිත බවක් අත්වින්ද බව සැබෑය. එනමුදු මට නොතේරෙන  ලෙංගතු බවක්ද මා හට දැනුනා නොවේද? අද දිනය ඇතුලත සිදුවූ සිද්ධි දාමයෙන් බොහෝ සෙයින් විඩාවට පත්ව සිටි මා හට සෝෆාවේම නින්ද ගොස් තිබිනි.  හදිසියේම ඇහැරුනේ සිහිනෙන් මෙන් දෙසවන් අද්දර යමෙකු මුමුණන හඬිනි. තිගැස්සී ඇහැරුණ මා හට මා අසළ කිසිවෙකුත් දැක ගත නොහැකි විය. ගිනි උඳුනද නිවි යාමට ආසන්නය. මාගේ කුටියට ගොස් සුවපහසු ලෙස නිදා ගැනිමේ උවමනාවෙන් මා සෝෆාවෙන් නැඟී සිට කුටිය දෙසට පිය මනින්නට වීමි..

එවිටම… නැවතත් දෙසවන් වලට යමෙකු ඉතා වේදනාවෙන් මෙන් මා හට ආමන්ත්‍රණය කරනා හඬ මට ඇසෙන්නට විය. ඒ ඔහුම විය යුතුය.. “ඇකේෂියා…..!” ඒ හඬේ වූයේ ඉතා බැගෑපැත් දුක්මුසු බවකි. එය ඒඩ්‍රියන්ගේ තවත් එක් උපායක් දැයි මම නොදනිමි.. එහෙත් මාගේ දෙපා මාගේ කුටියට යාමට සූදානම් නැති සෙයකි..  “ඇකේෂියා…..!” ඒ හඬෙහි වු වේදනාව මාගේ සිතටද දැනෙන්නට තරම් විය. මාගේ දෙපා ආපසු හැරුනි. මාර්තා විසින් පෙරවූ බ්ලැන්කට්ටුව ඇරෙන්නට මාගේ වතේ එකදු ඇඟළුමක් නැත. ගෙයින පිටතට වන් කල්හි එහි ගැවසීගත් සීතලෙන් මා වෙව්ලා ගියෙමි.. දෑතින්ම බ්ලැන්කට්ටුව වතට සිර කර ගත් මා ඔහුගේත් මාගෙත් රාජධානිය වෙතට පියනගන්නට වීමි..

අඳුරු පටු අඩිපාර කෙළවර.. අපටම සෑදුනු කුඩා පොකුණ.. හෙට දින පූර්ණ වීමට නියමිත සඳවතිය.. සියල්ල පසුබිම් කරගනිමින් ගල්තලාවේ ඔහුට සුපුරුදු ස්ථානයේ අසුන් ගෙන නිසලව වැව දෙස බලා සිටින ඒඩ්‍රියන්.. මටත් නොදැනීම පපුව පුරවා ගත් හුස්ම මහා සුසුමක්ව මුවෙන් ගිලිහී ගියේය.. ඒ හඬට ඔහු හිස හරවා සවන් දුන්නා පමණි.. පැමිණියේ මා වග ඔහුට දැනෙන්නට ඇත. මා හට මුහුණ දීමට ඔහු අකමැති වන්නට ඇත… මා සෙමින් සෙමින් ගල්තලාව දිගේ අවුත් ඔහු සිටි ස්ථානයට ඉහලින් වූ තැනක වාඩීවූයෙමි..

“ඇයි මට එහෙම කළේ ඒඩ්‍රියන්! ඔයාට ඕන මේ වැවේ රජකරන්නද? දැන් අම්මාවත් සීයාවත් නෑ.. ඔයාට පුළුවන් මට කැමති දෙයක් කරන්න..මාව මරලා ඔයා මේ කිඳුරු කොදෙව්වේ අධිපති වෙන්න. මං මුලදි ආඩම්බර උනා.. මං කිඳුරු පරපුරක ඉපදුන අසාමාන්‍ය සුවිශේෂි කෙනෙක් කියලා.. ඒත් දැන් මට තේරෙනවා සාමාන්‍ය මිනිස්සු කිඳුරෝ අතර වෙනසක් නෑ.. මිනිස්සු වගේම කිඳුරොත් කැමති බලයට. වෙන කෙනෙක්ගේ ජීවිතේ නැති කරලා හරි.. ඉස්සෙල්ලාම මගේ තාත්තා.. දැන් මාව.. ඉස්සරහට තව කීදෙනෙක්ව මරලා දාන්න ඔයාලා සැළසුම් කරගෙන ඉන්නවාද ඒඩ්‍රියන්..? මට මේ වැවේ අධිපති කමක් ඕන නෑ ඒඩ්‍රියන්.. මම අම්මා එක්ක කලින් හිටපු තැනටම යනවා..  මේ කිසි දෙයක් නොදැනයි මං ඔයාට ආදරේ කලේ ඒඩ්‍රියන්! (ඔහු ගැස්සී මාවෙත සවන් යොමු කරයි ) ඔයාගෙත් කිසිම සුවිශේෂිත්වයක් නැහැ ඒඩ්‍රියන්. මිනිස්සුන්ටත් වඩා අන්ත, නපුරු, තිරිසන් ගතිගුණ තියෙන…………”

වහා මවෙතට පැනගත් ඔහු මාගේ ගෙලෙන් අල්වා ගල් තලාවට තබා සිරකරගත්තේය… ඒ දෑස් වලින් කෝපය වැගිරේ.. දෙතොල් වෙව්ලීමේ වේගයෙන් ඔහු කොයි මොහොතක හෝ මා මරා දමනු ඇතැයි මා අනුමාන කලෙමි..

“ඔව්! ඔයාට ඒක කරන්න පුළුවන් ඒඩ්‍රියන්! මාව මරලා දාන්න.. මගේ තාත්තව මරලා දැම්මා වගේම..” මම කෝපයෙන් කෑගැසුවෙමි..

මදින් මද ඔහුගේ ග්‍රහණය ලිහිල් විය.. ඒ දෑතට සිරවී තිබූ මාගේ ගෙල රිදුම් දෙන්නට විය.. පසෙකට හැරුණ ඔහු ඔහුගේ හිස දෑතේ හොවාගෙන නිශ්චල විය. එහෙත් ඔහුගේ උරිස් ගැස්සීමෙන් ඔහු හඬනා බවක් මට පසක් විය. සිතේ මෙතෙක් කැකෑරෙමින් තිබූ කෝපය ගින්නෙහි ලූ ඉටිගුලියක් සේ දියවී වැගිරෙන්නට විය..  මා එය දැන සිටියෙමි.. මා මරන්නට තැත් කලද ඔහුගේ සිතේ කොහේ හෝ කොනක මා වෙනුවෙන් දැල්වුනු සෙනෙහසක් ඇති බව මා දැන සිටියෙමි.. වෛරයෙන් නොසන්සිඳුවන බොහෝ දෑ සෙනෙහසෙන් නිවාලිය හැකි බව මා දනිමි. වරද කලේ ඔහු නොව. මාගේ පියා මරණයට පත් කලේද ඔහු නොව. ඔහුට ඒ සඳහා පෙළඹවීම් කලේ ඔහුගේ සිරගතව සිටින පියාගෙන් බව මම වටහා ගතිමි.. දැන් ඔහු ඒ ගැන පසුතැවින් සිටියි. ඔහු දුර්වලව සිටින අවස්ථාවේ තවත් ඔහු රිදවීමට තරම් මා දුර්ගුණැත්තියක නොවේ..

ඔහු වෙත ලිස්සා ගිය මා දෑතින්ම මා ඔහු වෙතට හරවා ගත්තෙමි.. ඔහුගේ දෑසින් කඳුළු සේ ගලා ගොස් ඇත්තේ රුධිරයයි.. ඒඩ්‍රියන්! ඔබේ සිත මෙලෙක් වී ඇති තරම කියා පෑමට මට තවත් සාක්ෂ අවශ්‍ය නැත. ඔහුගේ හිස දෙපසින් දෑතින්ම අල්වා ගත් මා මාගේ කුළුදුල් ප්‍රථම හාදුව ඒ නළල් තලය මත සටහන් කෙරුවෙමි.. ඔහුගේ දෑස් වැසී ඇත. නළල් තලයේ ස්පර්ශ වූ දෙතොල් හරහා මට ඔහුගේ සිතිවිලි පෙරලිය දැනෙන්නට විය. ඒ සිත නිවෙන අයුරු, ඒ සිතුවිලි මෙලෙක් වන අයුරු මා අත්වින්ඳෙමි.. ඒ සොඳුරු නිමේෂයෙන් නික්මුණු මා හට ඔහුගේ දෙතොලේ ඒ වනවිටත් රැඳී තිබුනු මදහස නෙත් ගැටුනි. මාගේ ලැම හරහා රෑරා විත් ඔහු මාගෙ උකුල් තලයේ ඔහුගේ හිස සඟවා ගත්තේ කුඩා දරුවෙක් මෙනි. ස්වාමියාගේ උණුසුම් ස්පර්ශයට නතුවන කුඩා පූස් පැටවකුගේ සුරතලය මට සිහියට නැඟුනි.

කාලය විදුලි වේගයෙන් ගමන් කර ඇති බව මා දුටුවේ ඈත අහස් කුසේ යන්තමින් සැඟවී යන සඳ වතිය දැකීමෙනි. එහෙත් ඔහුගෙන් සමු ගැනීමට මට සිත් නොවේ. ඔහු ඔහුගේ කිඳුරු වල්ගය ලතාවකට සොලවමින් නිශ්චල දියේ මෘදු දිය රැළි ඇති කරමින් නිසොල්මනේ ඈත බලා සිටියදී මා ඔහු දෙස බැලුවෙමි. සැබවින්ම කෙතරම් ආශ්චර්ය ජනක ජීවියෙකුද? කුඩා කල කඟවේන් අශ්වයෙකු මා සතු කර ගැනිමට තිබූ ආශාව මට සිහි නැඟුනි. එහෙත් අද මාසතුවී ඇත්තේ කිඳුරෙකි. ඔහු මට පමණක් අයිති ජීවියෙකි.

මා සෙමෙන් මාගේ අත්ල දිගු කර ඔහුගේ හිස මත ඇඟිලි ස්පර්ශ කළෙමි. ඔහු හැරී නොබැලුවේය. ඉන් දිරිය ලද මා මාගේ ඇඟිලි තුඩු සෙමින් හිස දිගේ ඔහුගේ කන් පෙති හරහා කම්මුල තෙක් ස්පර්ශ කරමින් ගෙන ආවෙමි. මාගේ ඇඟිලි තුඩු එසේ තිබියදිම ඔහු හිස මා දෙසට හැරවීය. දැන් මාගේ ඇඟිලි ඔහුගේ දෙතොල මතය. මා ඉන්ද නොනැවතී ඒ මුහුණ පුරා මගේ ඇඟිලි ස්පර්ශ කරවූයෙමි. ඉන් ඔහු මදින් මද නොසන්සුන් වන ආකාරය ඔහුගේ කිඳුරු පාදය කැළතී ඇති වන දිය රැළි වලින් මට සිතා ගත හැකි විය.

Mermaidඑක්වරම මාගේ අත්ල සිර කර අල්වා ගත් ඔහු හිඳ හුන් තැනින් දියට බැස මාගේ පාදයෙන් අල්වා මා ඔහු කරා ඇද ගත්තේය. ගල් තලාවේ වූ දිය සීරාව නිසා මා පහසුවෙන්ම ලිස්සා ගොස් වතුරට වැටුනේ එතෙක් මා පොරවාගෙන සිටි බ්ලැන්කට්ටුව ගල් තලාවේ තනි කර දමාය. ගිලෙන්නට නොදී මා සිර කර බදා ගත් ඔහු මාගේ දෙපා ඔහුගේ ඉඟ වටා එති යන පරිදි මා ඔසවා තබාගත්තේය. ඔහුගේ ඒ ආකර්ෂනීය දෙනෙත් අඩවන් කර අයදින්නේ කුමක්දැයි මාදනිමි. නොඉවසිලි කාර ඒ දෙතොල් මදින් මද මා දෙතොල කරා ළං වන්නට විය. ඔබෙන් සැඟවිය යුතු නොවේ. එම රුවෙන් වශීකෘතව සිටි මාද මේ මොහොත හොර රහසේම සිතෙන් බලාපොරොත්තු වූ මොහොතකි.  තව දුරටත් මේ සොඳුරු අරුමැසිය ප්‍රමාද කිරීමට මැලි වූ මා දෑතින්ම ඒ ගෙල බදා ඔහුගේ දෙතොලට බර වූයෙමි.. අප දෙස බලා සිටින තුරු ලතාවන් ගෙන් සැඟවෙන්නට මෙන් ඔහු මා හා සිටි ඉරියව්වෙන්ම පොකුණු දිය පතුලට ගිලී ගියෙමු……

Thursday, June 16, 2011

කින්නර අඩවිය … 8

දෑස් හැර බලන කල්හි මා හිසට ඉහලින් නිල් අහසද මාගේ මවගේ මුහුණද දැක ගත හැකි විය. සිදුවූයේ කුමක්දැයි මෙනෙහි කර ගැනීමට මට මොහොතක් ගත විය. අවසන් වතාවට මා අඳුරු ජලතලයේ ගැඹුරු පත්ලට ඇදී යනවිට ඒඩ්‍රියන් මා ගිලී යාමට ඉඩහැර ඉහල වැව් තලයේ සිට බලා සිටියා මට මතකය. ඒ සමඟ මා අත්ලේ ගැටුණ යමක මා දැඩි ලෙස අල්වා ගත්තා මට මතකය. අම්මා හඬමින් සිනා සේ. කුමකට දැයි මා නොදනිමි.. යන්තම් හිස ඔසවා නැඟී සිටි කල්හි මා එතෙක් සැතපී සිටියේ අම්මාගේ උකුලේ බව මට වැටහුනි.. මාගේ කිඳුරු වල්ගය තවමත් එලෙසම පවති.. මම මහත් අපුලෙන් ඒ දෙස බලා සිටින්නට වූයේ එය මට දුන් වේදනවා සිහිවූ නිසාවෙනි.. අම්මාත් මමත් සිටියේ පොකුණු ඉවුරේය.. අම්මා හඬන්නේ මා හට විපතක් නොවී බේරුන බැවින් වන්නට ඇතැයි සිතූ මම ඇය සැනසීමට ඈ දෙසට හැරුනෙමි.

අද දින මට මෙතරම් කම්පනයන්ට මුහුණ දෙන්නට සිදු වන්නේ  ඇයි දැයි නොදනිමි.. මාගේ මව පොකුණ අද්දර ඉවුරේ මා හට නැවත සිහි එන තුරු මාගේ හිස සතපාගෙන සිට ඇත්තේ ඇගේ කිඳුරු උකුලේය.

“අම්මා……….! මේ මොකද?” මාගෙන් හඬක් පිට නොවුනි . එහෙත් එය අම්මාට ඇසී ඇත.  අම්මා හැඬිම නවතා මා දෙස බැලිය.. ඇගේ මුහුනේ වූ සන්තාපය ඉවත් වී කෝපය හො වෛරය පිරී යන ආකාරය මා දුටුවෙමි.. නොසීතු මොහොතක ඈ ඇගේ අත්ල වේගයෙන් මාගේ කම්මුල් හරහා යවා මට අතුල් පහර කිහිපයක් එල්ල කලේ වියරුවෙන් මෙනි.. ඒ අතර තුරම නගරයට ගොස් සිටි සීයාද අඩි පාර දිගේ දිව විත් අම්මා පසෙකට කර දැමීය..  අප දෙදෙනාගේම කිඳුරු වල්ග දුටු සීයා විපක්ෂිත වී අඩි කිහිපයක් පිටුපසට පිය මැනිය..

මා අතින් ඇදගෙනම වතුරට බැස ගත්තා අම්මා මාගේ දෑතින්ම අල්ලා දෙනෙත් වසා යාඥාවකදී පරිදි දෙතොල් සොලවා යමක් මුමුණන්නට විට.  සීයා මාර්තා හට අඬගසමින් අඩිපාර දිගේ නැවතත් නිවස වෙත පිය නගන්නට විය. මාගේ කිඳුරු වල්ගය දිගෙ යමක් එතී විත් එය දෙබෑ කර මාගේ සුපුරුදු මිනිස් දෙපා ඇති වන අයුරු මාහට ජලතලය විනිවිද දැක ගත හැකි විය. එය මා කිඳුරියක වූ මොහොතේ තරම් වේදනාත්මක අත් දැකීමක් නොවීය. මා හා සමාන්තරව අම්මාද කිඳුරු රුවෙන් මිනිස් භවය ලබමින් සිටියාය.. විශාල බ්ලැන්කට් දෙකක් අතැතිව දිව ආ මාර්තා පොකුණේ සිදුවන ඉන්ද්‍රජාලය දැක මුව අයා ගල් ගැසි මමත් අම්මාත් දෙස බලා සිටින්නට විය.. නිරුවතින්  සිටි අම්මාත් මාත් බ්ලැන්කට්ටුවෙන් පොරවා ගොඩට ගත් මාර්තා මා වත්තම් කරගනිමින් අම්මාද පෙරටු කරගෙන නිවස වෙත පිය නැගන්නට විය.

නිවසට ගොඩ වූ සැනින් මහා විප්ලවය ඇරඹිනි.

“Acacia, Don’t you ever do this again!” මහා හඬින් අම්මා මට බැන වදින්නට විය. මට බොහෝ දෑ සඟවමින් බැන වදින ඔවුන් කෙරේ මටද තරහක් ඇති විය. අම්මාත් සීයාත් දෙස ඔරවා බැලූ මා ගිනි උදුන ආසන්නයේ වූ පුටුවේ වාඩි වුයෙමි. “ මට දැන්වත් ඇත්ත කිව්වේ නැතිනම් මං ආයේ ඒ වැඩේ කරනවා මයි..” අම්මා ගැස්සී මදෙස බැලුවේ මා මෙතරම් මුරණ්ඩු වනු මින් පෙර දැක නොතිබි නිසා වන්නට ඇත. හිස වනා අම්මා සන්සුන් කල සීයා මා ඉදරියේ වූ පුටුවේ අසුන් ගත්තේය.

“ඇකේෂිය.. අපි ඔයාට සමහර දේවල් හැංගුව බව ඇත්ත. ඒත් ඒ ඔයාගේ හොඳට. ඒත් මේ දේවල් මේ විදියට සිද්ධ වෙනවා නම් අපිට තවත් ඒවා ඔයාගෙන් හංගන්න අවශ්‍ය නෑ.. ඔයාට මං එදා අපෙ අතීතයේ ලස්සන පැත්ත විතරයි කිව්වේ. ඒත් ඒ අතීතයේ අඳුරු යුගය තාමත් මේ මිස්ටික් ලේක් වල රජකරනවා. මම එදා ඔයාට අන්තිමට කිව්වා මතක ඇති අසZාරියා පරපුරේ අන්තිමට ඉපදුණූ කිඳුරුන් දෙදෙනා ගැන..”

“ඔව් මට මතකයි.. මෝගන් මගේ තාත්තා. සෙzන්, ඒඩියන්ගේ තාත්තා..”

“ඔව් ඇකේෂියා.. මේ විලේ කිඳුරු අධිපතිත්වයට බෙහෙවින්ම සුදුස්සා උනේ ඒ දෙන්නාගෙන් වැඩිමලා වුන ඔයාගේ තාත්තා.. මෝගන් ! ඒත් සෙzන්ට අවශ්‍ය උනා වැවේ කිඳුරු අධිපති වෙන්න. මෝගන්, සයිරින් හා කැස්පියන් යුවළගේ ආශිර්වාදය ලබාගෙන වැවේ අධිපති බවට පත් වෙන දවසේ මේ වැව මිහිපිට දිව්‍යලෝකයක් බවට පත්වෙලා තිබුනා. ස්වභාවධර්මයත් ඔයාගේ තාත්තගේ පදවිය ගැන බොහොම සතුටට පත් උනා. මල් වැහි වහින්න ගත්තා. මේ ගමේ හැම තැනම දීප්තිමත් හිරු රැසින් බැබලුනා. ගමේ මිනිස්සුන්ගේ ඇස්වැන්න පිරිලා ඉතිරිලා ගියා. හැමෝම හිටියේ සතුටෙන්! එක්කෙනෙක් ඇර. සෙzන්! එයා සැළසුම් කරා ඔයාගේ තාත්තව මරලා දාන්න. ඔව්! එදා රෑ වැව පතුලේ තිබුන සාදයකදි සෙzන් ඔයාගේ තාත්තගේ නෙළුම් යුෂ බඳුනට තරු මාළුවන් ගේ විෂ එකතු කරා. තරු මාළුවන්ගේ විෂ! එය ටිකෙන් ටික අපව දුර්වල කරලා අපේ හදවතේ සැගවෙලා තියෙන ජීව මුතු ඇටය වමාරන්න සලස්සවනවා. ජීව මුතු ඇටය වමාරපු ඊලඟ මොහොතේම කිඳුරන් මරණයට පත් වෙනවා ඇකේෂියා.. ආයේ සුව නොවෙන්නම ඔවුන්  ස්වභාවධර්මයා හා නොඑන ගමන් යනවා.. සාදයෙන් පහුවදා උදේ ඔයාගේ තාත්තත් ඒ වගේම සදහටම අපෙන් ඈත් උනා ඇකේෂියා..”

දෙපතුල් සීතල වන්නට ඇත. බොරළු කැටයක් උගුරේ සිරවී ඇත්තාක් සේ වේදනවකින් මම පෙළි ගියෙමි. දෑසින් රෑරා වැටෙන කඳුළු වලට මා බාධා කරන්නට නොගියෙමි..

“ඇකේෂියා.. සෙzන්ට ඒකට දඬුවම ලැබුනා.. කැස්පියන් ඔහුව බටහිර කඳු පැත්තේ තියෙන විශාල ඉතා ගැඹුරු අගාධයේ කාටවත්ම හොයාගන්න බැරි කුහරයක සිර කරා. ඔහු අදටත් එතන ඉන්නවා කියලයි අපි හිතන්නේ.. ඔහුගේ මුළු පවුලම සයිරින් මාතාවගේ ශාප ලද්දන් බවට පත් උනා. ඒත් ඒඩියන්! එයාව මම දන්නේ පොඩි කාලේ ඉඳලමයි. ඒඩ්‍රියන් මෙහෙම ඔයාව මරන්න උත්සහ ගනී කියලා මම කවදාවත් අනුමාන කලේ නෑ. මොකද ඔහු බොහොම පසුතැවිලි උනා එයාගේ තාත්තා කල දේ ගැන. ඇකේෂියා ඔයයි අම්මයි එන්න කලින් මම ඒඩ්‍රියන් එක්ක ගොඩාක් දේවල් කතා කරලා තියෙනවා. ඒඩ්‍රියන් මට පොරොන්දු උනා එයාගෙන් ඉදරියට අපේ පරපුරට කිසිම හානියක් නැති බව. මම එයාව විශ්වාස කලා.. ඒත් එයාගේ හිතෙත් මෙතෙක් කල් කැකෑරෙමින් තිබිලා තියෙන්නේ පළිගැනීමේ චේතනව විතරමයි.. ඒඩ්‍රියන් දැනගෙන ඉඳලා ඇති පළමු කිඳුරු රෑපාන්තරනයේදි එය කළ යුත්තේ නොගැඹුරු ජලයේ.. නැතිනම් අළුතින් උපන් කිඳුරු වල්ගය පාවිච්චි කරන්න දන්නැතිව අපි ගිලෙන්න පුළුවන්. අනික පලවෙනි රෑපාන්තරනයේදි මුහුණදෙන වේදනවා නිසා අපේ මතකය සිහිය විකෘති වෙනවා. එතකොට අපිට මොකද වෙන්නේ කියලා අපිට හිතා ගන්න බෑ. හොඳ වෙලාවට ඔයාට මොනවා හරි විපතක් වෙනවා කියලා අම්මට දැනිලා තියෙනවා. ඒකයි එයා කිඳුරු වෙස් අරන් ඔයාව හොයාගෙන ආවේ.. අම්මාව දැකලා ඒඩ්‍රියන් අතුරුදහන් වෙලා තියෙනවා.”

මා හට එය පිළිගැනීමට අපහසුය. ඒ දෑස්! ඒ සිනහව මට දැනුදු මැවී පෙනේ. එහෙත් ඒ අතරම මා දිගේ ගිලී යාමට ඉඩහැර ඔහු ඉහල සිට බලා සිටි අයුරු ද මට සිහි විය. අහෝ ඒඩ්‍රියන්.. මා ආදරය කලේ මාගේ පියාගේ ඝාතකයාගේ ලෙයින් උපන් ඔබටද? ඔබ මෙතෙක් කල් මා හට ලංවූයේ මා වෙනුවෙන් ඇතිවූ සෙනෙහසකට නොවේද? ඉවසා ගත නොහැකි තැන මම හිස දෙදනේ හොවා හඬන්නට වීමි..

“ඇකේෂියා, අඬන්න එපා.. මෝගන්ගේ මරණයත් එක්ක නැතිවෙලා ගිය සතුට සාමය නැවතත් ඔයා සහ ඒඩ්‍රියන් හරහා මේ මිස්ටික් ලේක් වලට ගෙන එන්නයි මට ඕනෑ උනේ.. ඒත් ඒඩ්‍රියන්, මට ද්‍රෝහි උනා. සයිරින් හා කැස්පියන්ගේ ආශිර්වාදය දැන් තියෙන්නේ ඔයාටයි.. මේ වැවේ අධිපතිනිය වෙන වරම තියෙන්නේ ඔයාටයි.. ඔයා එක වචනයක් කිව්වොත් ඒඩ්‍රියන් එක්ක එයාගේ මුළු පවුලම මේ වැවෙන් අන්තරස්දාන කරලා දාන්න කැස්පියන්ට පුළුවන්. ඉන් පස්සේ අපි! අපිම විතරයි මේ කිඳුරු කොදෙව්වේ සාමාජිකයන් වෙන්නේ.. ඇකේෂීයා. ඔයාගේ තිරණය මත තමයි හැමදෙනාගේ අනාගතය තීරණය වෙන්නේ ඇකේෂියා. හොඳට හිතන්න. බුද්ධිමත්ව හිතන්න, ඔයාගේ තාත්තා හරිම බුද්ධිමත්. මම හිතනවා ඒ ගුණම ඔයාටත් තියෙනවා කියලා. ඒ ඔස්සේ ගිහින් හිතන්න ඇකේෂියා. ඔයාට ඒ දේ කරන්න පුළුවන්“

මා සමීපයට ආ සීයා මාගේ හිස අතගා හැරී ඔහුගේ කාමරය වෙත පිය නැඟීය. මදෙස බලා සිටි අම්මාද දීර්ඝ සුසුමක් හෙලා මා තනිකර යන්නට ගියාය. ඉතුරු වුයේ මා පමණකි. සේ සා අත්දැකීම් සමූහයක් මා සිතට බර වැඩිය. කඳුළු පිසදාගත් මම අසුන් ගෙන සිටි පුටුවේ හාන්සි වී සිතන්නට පටන් ගතිමි…

Tuesday, June 14, 2011

කින්නර අඩවිය … 7

ඔහු හා ගෙවූ දින කිහිපය තුල මා කිඳුරුන් ගැන ඇතුලු බොහෝ දෑ ඉගෙන ගතිමි. එහෙක් ඔවුන් දෙදෙනාම පවසන දෙයින්ද අම්මාගේ අසාමාන්‍ය නිහඬතාවද මා නොදන්නා තව බොහෝ දෑ මේ කිඳුරු කොදෙව්වේ ඇති බව මට සිතේ. කිඳුරු පරපුරේ මිනිසුන් හටද කිඳුර වෙස් ගත හැකි බව සීයා පැවසුවා ඔබට මතක ඇත. ඒඩ්‍රියන් හා ගත කල දින කිහිපය තුල මා හටද කිඳුරු වෙස් ගැනිමේ අපමණ ආශාවක් ඇති වී ඇත. සීයාහට දහස් වතාවක් බැගෑපත් වුවද ඔහුගේ එකම පිළිතුර වූයේ එය ඉතා අසීරු කටයුත්තක් බවත් මා කිඳුරු වෙස් ගැනීමට ඔහුගෙන් කොහෙත්ම අවසර නොලැබෙන බවකි. එහෙයින් මා ඒඩ්‍රියන්ගේ පිහිට පතන්නට වීමි. මා ඔහු සොයා ගොස් මටද කිඳුරියක වීමට අවශ්‍ය බව පැවසූ මොහොතේ ඔහුගේ වතේ වූ හැඟීමට මට ඔබට වචනයෙන් විස්තර කල නොහැක. එය සතුටක්ද, තැති ගැන්මක්ද නැතහොත් කෝපයක්දැයි මහට තේරුම් කර ගත නොහැකි විය. කෙසේ නමුත් වැඩි දුර බැගෑපත් වීමකින් තොරව මාගේ කිඳුරු පෙරලියට  උදව් වීමට ඔහුගේ කැමැත්ත ලබාගැනීමට මට හැකි විය. ඒ අනුව අප තෝරා ගත්තේ සියා නගරය කරා යන දවසකි.

ඒඩ්‍රියන් පැවසූ ආකාරයට කිඳුරෙකු බවට පත් විම කුඩා කාලයේ සිට පුරුදු පුහුණු විය යුතු දෙයකි. මනස එක් තැන් කරගනිමින් කිඳුරෙකු වීමට ඇති වුවමනාව අප යටි සිතට දැනෙන ලෙස ඉතා බලවත් ලෙස සිතෙන් මෙනෙහි කල යුතු වේ. ආරමිභයේදි එය මදක් අසීරු වන අතර කල් ගත වද්දී  මනසෙන් අපගේ වෙස් පෙරළිය අප හට මැනවින් පාලනය කල හැකි වන්නේය. එහෙයින් මාගේ පළමු රෑපාන්තරන පාඩම වුයේ සිත එක් තැන් කර ගැනීමයි.. සීතල ජලයේ අඩක් ගිලී දෙනෙත් වසා සිත සන්සුන් කර ස්වභාවධර්මය හා සිතින් එක් වීම සැබවින්ම චමත්කාර ජනක අත්දැකීමක් විය. මොහොතකින් මාගේ හදගැස්මද වැවේ නැගෙන දියරැළි වල රිද්මයද එක හා සමානව නැගෙන්නට විට. එසේ සිට බොහෝ වේලාවකට පසු දෑස් හැර බැලු මා හට මා හා සමාන්තරව ජලයේ පාවෙමික් මදෙස බලා සිටි ඒඩ්‍රියන් දැක ගත හැකි විය. මද සිනා පෑ ඔහු ගල් තලාවෙන් එපිට වැව දෙසට අත පෑවේ එහි යායුතු බවක් කියා පාමිනි. පොකුණනෙන් පිට ජලතලයේ පිහිනීම නුපුරුදු වුවද ඒඩ්‍රියන් මා හා සිටින නිසාවෙන් මා අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නොවේ යැයි මා සිතුවෙමි.  මා ද කිඳුරියකි. එබැවින් මා බිය යුතු නොවේ. මේ වැවද මාගේ නිවහනකි. ඉඳින් මා ඒඩ්‍රියන් හට ඉඟිකර තරඟයට මෙන් ගල් කුලෙන් සෑදුනු විවරය හරහා වැව කරා පිහිනීමි.. මාගේ එම ක්‍රියාවෙන් මහත් සතුටට පත් ඒඩ්‍රියන්ද උරුවම් බාමින් මා පසුකර පිහිනීමට පටන් ගත්තේය. සැබවින්ම එය වෙනමම ලෝකයකි. ඉහලින් නිල් අහසද ඈතින් පෙනෙන ඉවුරද සීමා කරගත් වැව් තාවුල්ල මා මෙතක් සැළකිල්ලකට නොගත්තේ ඇයි දැයි මා හට පසුතැවීමක් ඇති විනි. තමා පසු පස හඹා එන සේ ඉඟි කල ඒඩ්‍රියන් වේගයෙන් ඉදිරියට ඇදී ගියෙන් මාද වෙහෙස නොබලා ඒ පසුපස පිහිනන්නට වීමි..

එසේ බොහෝ වේලාවක් පිහිනා මා හිස ඔසවා බැලූ කල්හි මා ඉදිරියෙන් පිහිනමින් සිටි ඒඩ්‍රියන් පෙනෙන්නට නොවූයෙක් මා මදක් පසුබාමින් ජලතලයේ පාවෙන්නට පටන්ගත්තේ විමසිලි දෑසින් වටපිට නිරීක්ෂණය කරන අතරතුරය. මෙම ස්ථානය මා මින් පෙර දැක නොතිබූ අතර වැවේ එහා කෙලවර වුයේ අඳුරු පෙනුමැති උස් කඳු යායකි. එහි වූ උසැති ගස් හා අඳුරු සෙවනැලි මා මහත් බිය ගැන්වීය.  මාගේ සිරුර කිලිපොලා යන්නට වූයේ මේ සීයා මා හට කිසිදාක නොයන ලෙස පැවසූ වැවේ බටහිර කඳු පෙදෙස බව පසක් වීමෙනි.. කුමක් හෝ අනතුරක සේයාවක් මාගේ සිත කොනක මා හට පීඩා කරන්නට විය. නම කියා කෑගැසුවද ඒඩ්‍රියන් පෙනෙන්ට හෝ නොවීය. ආපසු පිහිනීමට හැරෙත්ම ඒඩ්‍රියන් මා ඉදිරියේ පෙනී සිටියේ මා තවත් තිගැස්මට ලක් කරමිනි. නැවතත් ගුප්ත සිනාවක් පෑ ඔහු මා මෙහි කැඳවාගෙන ආවේ මාගේ කිඳුරු අභ්‍යාසයට පහසුවක් වීමට බවට ඔහු ඒත්තු ගැන්වීය. තවදුරටත් ඉඟි කරමින් ඔහු පැවසූයේ මා දැන් මාගේ කිඳුරු රෑපාන්තරනයට උත්සහකල යුතු බවකි. ඔහු නම් කිසි සේත් තේරුම් ගැනීමට නොහැකි කිඳුරෙකි. විටෙක මා බිය ගන්වන අතරම විටෙක මාගේ මිතුරෙක්ව මා හට උපකාර කරයි.

ඔහු පැවසූ ආකාරයට  නැවතත් ස්වභාවධර්මය හා මාගේ සිතුවිලි එක්තැන් කර මා දැන් කිඳුරියක් විය යුතු යැයි යටි සිතට ඇසෙන්නට සිතෙන් ජපකරන්නට පටන් ගතිමි. එසේ කාලය මදින මද ගෙවී යාමේදී සැබවින්ම මාගේ සිරුරේ යම් කිසි පෙරළියක් සිදුවෙමින් පවත්නා බව මා හට වැටහෙන්නට විය. ඇඟිලි කරු අතරෙ හට ගත් ඇදීමක් බඳු වේදනාවක් සමඟ ඒවා අතර ඒඩ්‍රියන්ගේ මෙන් සියුම් සමක් හට ගත්තේය.. මාගේ දෑගිලි අතර එසේ ජලජ මැඩියෙකුගේ මෙන් සම වැඩෙන්නට වූ කල්හි පළමු වරට මා කිඳුරු වෙස් ගැනීමේදි ඇති විය හැකි අපහසුතා ගැන බියක් මාගේ සිතේ ඇතිවිය. මාගේ හිස තුලද යම් කිසි වෙනසක් සිදුවන්නට යන බව කියා පාමින් දරුණු ලෙස පුපුරු ගසන්නට විට.. ඒත් සමඟම හිසේ පිටුපස දිගේ විහිද ගිය එම වේදනවා බෙල්ල හා පිට දිගේ වූ කශේරුකා කරා ගමන් කරන්නට විය. මාගේ හිනෙන් පහල පෙදෙසේ වූ සම යමෙකු උල්වූ පිහියකින් ඉරා දමන්නාක් වැනි වේදනවාකින් මා මිරීකි ගියෙන් නොදැනීම මා අම්මා යැයි හඬ ගසා කෑගසන්නට වීමි. ඒ වේදනවාට ඔබ එක්වරක් හෝ මුහුණ දුන්නේ නම් ඔබ නැවත කිසි දිනෙක කිඳුරියක වීමට සිහින නොදකින්නවා ඇත. හිරු එළියට නිරාවරණය වූ මා සිරුරේ සියළු තැන් ගින්නෙන් පිළිස්සෙන්නාක් බඳුය. දෑස් නීලංකාරවී මා සිහි නැති වීමට ආසන්නය. මාගේ සිරුරේ පහල පෙදෙස යමෙකු අමු අමුවේ සම ගලවා දමන්නාක් වැනි වේදනාවකින් පිරී ගිය අතර දෙපා එකට බැඳී කටු සහිත රළු පොරවනයකින් මාගේ දෙපා වැසී යන ආකාරය මා අත්වින්දෙමි.. පිට පෙදසින් සම පසාරු කර ගනිමින් තලයක් මතු වන්නා සේ වරල් මතු වන්නට විය. සිරුරේ තැනින් තැන මතුවූ කොරපොතු වලට කැපි ගිය මාගේ සියුම් ඇඳි පිලි ජලතලයේ තැනින් තැන පාවෙන්නට විය. 

මෙසේ මා මිහිපිට  නිරයක වේදනවා ලබමින් කිඳුරියකට පරිවර්තනය වෙමින් සිටින කල්හි ඒඩ්‍ර්යන් දෑසේ කිසිඳු හැගීමක් නොමැතිව දෑත් බැඳ එදෙස බලා සිටියා පමණි. දහසකුත් එකක් වේදනවා මැද මාගේ කිඳුරු වල්ගය සෑදෙමින් සිටින මොහොතේ මාගේ සමබරතාවය ගිලීහි පෙර මෙන් මා හට ජලතලයේ රැඳෙන්නට නොහැකි විය. දරුණූ වේදනවා නිසා මා හට පිහිනීමට අමතකව මා ජල තලය තුලට ගිලී යන්නට විමි. ජීවිතයේ කිසි දිනෙක මා මේසා විශාල වේදනවාක්, මරණ බියක් හා කම්පනයක් එකවර අත්වඳි නොතිබුනි. මාගේ දෑසින් කඳුර වැගිරෙන්නට විට. වතුර පෙවී මාගේ පෙනහළු පිපිරෙන්නට බඳුව රිදුම් දෙන්නට විය. අත් ගසමින් මට පාලනය කර ගත නොහැකි මාගේ කිඳුරු වල්ගය ගසමින් මා ජීවිතය සොයා මරු විකලෙන් දඟලන්නට වීමි. ඒඩ්‍රියන් හට අඬගසා කෑගසුවද මාගේ මුවින් වචන පිට නොවුනි. ඒ වෙනුවට මාගේ මුවින් පිට වුයේ මෘගයෙකුගේ වැනි වූ හැඬිමක් පමණි. මා ජීවිතයත් මරණයත් අතර දෝලනය වෙමින් සිටි ඒ මොහොතේ ඒඩ්‍රියන් පසෙකට වී මේ සියල්ල නරඹමින් සිටියි. ඒ මගේ අවසන් මොහොත වන්නට ඇත. කොතෙක් වැව් තලයේ ඉහලින් රැඳෙන්නට උත්සහ දැරුවද ඒ සියල්ල නිශ්ඵල වී මා දිය කඳෙන් පහලට ඇඳී යන්නට වීමි. හාත් පස අඳුරු විය. මාගේ සිතේ නොයෙක් මනෝ විකාර ඇඳනේනට විය. දෑස් පියවෙන්නට මත්තෙන් මා ඒ අඳුරු ජලතලයට ඉහලින් අඳුරු උමගක ඈත කෙළවර පෙනෙන දුර්වල එළියක් සේ පෙනෙන හිරුට අත පෑවෙමි. මාගේ පෙනහළු වල රැඳී තිබු අවසන් හුස්ම පොදද මුවින් ගිලිහී ජලතලයට එක් වද්දී මාගේ දෑස් වැසී ගියේය..

අම්මා………………………………….! මිය යමින් සිටි මාගේ සිත හඬගසා කෑගසන්නට විට. මා ජලතලයේ පතුලට අදෙමින් සිටි ඒ මොහොතේ යම් කිසිවෙකුගේ මෘදු දෑතක් වැනි දෙයක් ඉහලට එසවී තිබූ මාගේ අත්ලේ ගැටුනි. සිතේ කොනක ඉතිරිව තිබූ එකම එක බලාපොරොත්තුවකින් යුතුව හා ඒ අත දැඩිව අල්වා ගතිමි. 

Monday, June 13, 2011

කින්නර අඩවිය… 6

 

Dark Lake

මාගේ සිතේ ඇතිවි ඇති සතුටට නිමක් නොමැත. දෙපතුල් පොළවේ නොවැද පාවී යන්නාක් මෙන් මට දැනේ. සිනාවෙන් පිරී ඇති මුව වැසීමට අමතක වී ඇති සෙයකි. සුරංගනා කතා වලට අපමණ ප්‍රිය කල මාහට අද  එවැනිම සුරංගනා කතාවක කොටස්කාරියක් වීමට ඉරණම් වී ඇත. අඩිපාර දිගේ මා දිවගියේ නැවත ඔහු දැකීමේ නොඉවසිල්ලෙනි. සැනෙකින් මා අඩි පාර කෙළවර අඳුරු තුරු වියනින් ආවරණය වු කුඩා පොකුණ වෙත පැමිණියෙමි.. මේ මහා වැව් තලයේ ඔහු කොතැනක සිටිනවා ඇත්ද? මේ ළඟම එසේත් නැතිනම් බොහෝ ඈතක.. ඔහුට ඇමතිය හැක්කේ කෙසේද? සීයාගෙන් ඒ පිළිබඳ අසා නොගැනීම නිසා මට මා පිළීබඳවම සියුම් කෝපයක් ජනිත විය. පොකුණ වට කර ඇති ගල් කුළට නැගගත් මා පෙර දින ඔහු වාඩිවී සිටි ගල් පෙල වෙත පය නඟන්නට වීමි. තියුණුලෙස මතුවූ තිබූ දාර සහිත ගල නිසාවෙන් ගමන මදක් අසීරු වූ අතර ගල් කුළ වැවට විවෘතව ඇති ස්ථානවේ දිය සීරාව නිසා මා පැළඳ සිටි කැන්වස් සපත්තුවේ එක් පැත්තක් ලිස්සා ගොස් නොසිතූ මොහොතක මා පොකුණට ඇද වැටුනෙමි.. එසේ ඇද වැටීමේදි ගල් කුල අල්ලා ගැනීමට මා දිගු කල අතද බොහෝ සෙයින් තුවාල වී ඇඳ සිටි ගවුමේ පැත්තක්ද ඉරී මා සීතල දිය යටට ගිලී ගියෙමි..

පිහිනිය හැකි වුවද කලබලය නිසා මා හට ගත යුතු පියවරක් නැති තැන මා ගල් තලාවෙ මතු පිටට නෙරා ආ ස්ථානයකින් අල්වාගෙන නැවත එයට ගොඩ වීමට උත්සහයක් දැරීමි. එවිටම මාගේ පිටු පසින් ජල තලය සෙමින් කැලතෙමින් ජල තලය තුලින් යම් කිසිවෙකු මා හට ළං වෙමින් සිටින බව නැගෙන ජල තරංගවලින් මා දැන ගතිමි. මෙහි පැමිණීමේදී තිබු උනන්දුව සතුට පරයා මහත් භීතියක් ඇති වු බැවින් මම ගල් තලාවේ එල්ලි ගත් වනම මහ හඬින් කෑ ගසන්නට වීමි..

මා හට අඩි දෙකක පමණ දුරින් නැවතුන එම ඡායාව සෙමින් සෙමින් දියෙන් උඩට මතු වීමට පටන් ගත්තේය.. මුළින්ම තඹවන් කෙස්, ලිලී මලක පැහැයැති නළල් තලය නිල් දියමන්තියක් බඳුවූ දෙඇස්.. සෘජු දිගු නාසය. දම් පැහැති තොල් යුගල… ඒ ඔහුමය. පෙරදින මා බිය වැද්දුවා සේම අදද ඔහු මා බොහෝ සෙයින් බියට පත් කලේය.. ඔහුගේ හිසට පිටු පසින් වු වතුරෙන් ඔහුගේ කිඳුරු වල්ගය මතුවන්නට වුයෙන් මා නැවතත් බෙරිහන් දීමට පටන් ගතිමි.. මාගේ කෑගැස්මට ඔහුද සැලෙන්නට ඇත. දබරැගිල්ල දොතලට තබා මට නිශ්ශබ්ද වන ලෙස සන් කල ඔහු තවත් අඩියකින් මාවෙත ලං විය..

“ඇකේෂියා!” ඒ හඬ ඔබින්නේ ඔහු වන් කඩවසම් තරුණයෙකුට පමණී. පුදුමය නම් ඔහු කතා කිරීමට දෙතොල් භාවිතා නොකරයි. එහෙත් ඒ හඬ එන්නේ ඔහුගෙ බව මට විශ්වාසය..

“ඇයි ඔයා කතා නොකරන්නේ..?” දරුණු නිහඬතාවය හා ආත්මය පාසාරු කරගෙන යන ඔහුගේ බැල්ම දරා ගත නොහැකි තැන මම ඇසුවෙමි..  ඔහුගේ දෙතොල් මෑත් වී සිනහවක ඡායාවක් මතුවිය.. කිඳුරන්ට සිනහ විය හැක.. මා මාගේ කිඳුරු දැනුමට තවත් කරුණක් එකතු කර ගත්තෙමි..

ඒඩ්‍රියන් ! සීයා කියා දුන් නම මතක් වූ මා එයින් ඔහු ඇමතීමි.. ඒ ඇස් පියන් සැලි ගිය ආකාරයෙන් ඒ ඔහුම බව මා හඳුනා ගතිමි.. මාගේ තුවාලවී ලේ ගලට අත දුටු ඔහු මාගේ අත ඉල්ලා අත්ල පෑවේය.. මදක් ඔහු දෙස බලා සිටි මා මාගේ අත ඔහු වෙත පෑවෙමි. ඔහුගේ දෙඅත් ඉතා සීතලකින් යුක්ත විය. ඇඟිලි සාමාන්‍ය මනුෂ්‍යකුගේ මෙන් වුවද ඇඟිලි අතර තාරාවෙකුගේ පාද වල මෙන් සියුම් විනිවිද පේන සුළු සමකින් බැඳී තිබුනි. මාගේ අත තුවාල වූ තැනින් දැඩිව අල්වා ගත් ඔහු දෑස් පියා මද වේලාවකට පසු අතහැර දැමීය. පුදුමයකි. තුවාල වූ සළකුණක්ද නොමැතිව මාගේ අත සුවපත් වී තිබුනි..

“Wow! What was that ?”

සීයා මට කියා දී ඇත්තේ කිඳුරන් ගැන වූ සරළ පාඩමකි. මතුවට ඔහුගෙන් තව දුරටත් විස්තර අසා දැන ගත යුතු යැයි මා ඉටා ගතිමි. මම ආයාසයෙන් සිනහවක් මවාගෙව ඔහු දෙස බැලීමේ. කුමක් හෝ මායාවක් කර මේ තියුණු බැල්මෙන් ගැලවෙන්නට ඇත්නම්.. එක එල්ලේ ඒ දෑස් දෙස බලා සිටියහොත් ඔබ ඔහු කෙරේ නොකඩවා ආකර්ෂණය වීම ඔබට කොහෙත්ම නවත්වා ගත නොහැකි වනු ඇත. බොහෝ වේලා වතුරට වී සිටි බැවින්දෝ මා වෙව්ලීමට පටන් ගෙන ඇත.

“ඇකේෂ්‍යා , එන්න මං ඔයාව ඉවුරට ගිහින් දාන්නම්..” ඔහු නැවත මාහට අත පෑවේය. මට ඉවුරට යාමට අවශ්‍ය නැත. මට ඇවසි කර ඇත්තේ මොහු හා දොඩමළුව මා නොදන්නා කිඳුරු තොරතුරු සියල්ල ඔහුගෙන් දැන ගැනීමයි. එහෙත් මේ අවස්ථාවේ ඔහුට කීකරු වීම යෙහෙකැයි සිතූ මා ඔහු හට මාගේ අත දුන්නෙමි.. මා තමන් වෙත ඇද ගත් ඔහු මාගේ බඳ වට අත යවා මා ඒ සිරුරට තද කර අල්වා ගත්තේය.. මාගේ කෙටි ගවුමෙන් ආවරණය නොවූ දෙපා ඔහුගේ කඳින් පහලට දිව ගිය කිඳුරු වල්ගයේ ස්පර්ශ වන විට මා මහත් අපහසුතාවයකට පත් වූයෙමි. සර්පයෙකු හෝ මැඩියෙකු මාගේ සිරුරේ තැවරෙන්නාක් වැනි හිරිකිතක් දැනුනද මා එය මහත් ආයාසයෙන් මැඩ පවත්වාගත්තේ මාද කිඳුරු පවුලේ පුරුකක් බව සිහියට නැඟුන බැවිනි.

ඉවුරේ වු කුඩා පැතලි ගල් පොත්තේ මා හිඳවූ ඔහුද එහිම පහත් තැනකින් හිඳ ගත්තේය. මාගේ දැඩි බව මදක් ලිහිල් කර ඔහු හා සංවාදයේ යෙදෙන්නට මා තීරණය කලෙමි. කිඳුරන් මුවින් නොදොඩයි. එහෙත් ඔවුන් කියනා දෙය හෝ කීමට උත්සහා කරනා දෙය අපගේ සිතේ ඇති වන සිතුවිල්ලක් සේ අපට වැටහේ.. මෙතෙක් අප අතර සන්නිවේදනය සිදුවු ආකාරයෙන් මට එය වැටහුනි.

කිඳුරන්ගේ ආහාරය වන්නේ ගැඹුරු ආගාධ වල වැඩෙන්නාවූ විශේෂ පැලෑටි වර්ගයකි.. ඔහු එවන් පැලෑටියක් මාහට ගෙනැවිත් පෙන්වීමට තරම් කාරුණික විය. කිඳුරන් නිදා ගැනීමක් නොකරන අතර එහෙත් විවේකයක් අවශ්‍ය විටෙකදී දිය මතු පිට ගල්තලාවකට වී බොහෝ වේලාවක් නොසෙල්වී බලා සිටීමක් සිදු කරයි. ඔවුන් දැඩි හිරු රශ්මිය ප්‍රිය නොකලද ඔවුන්ගේ පැවැත්මට හිරු රශ්මිය අවශ්‍ය බැවින් උදේ කාලයේ හිරු රැස් නැම සිදු කරයි. කිඳුරන් හට සෑම ජලජ හා ගොඩබිම් ජීවියෙකු සමඟම සන්නිවේදනය කල හැක. කිඳුරන් නඟන හඬ බොහෝ වේලාවකට උරුවම් බෑමකට සමාන වන අතර සිය සහකාරිය හෝ සහකරුවා තමන් වෙතට කැඳවා ගැනීමට අවශ්‍ය විටෙකදී ඔවුන් ඉතා රමණීය ලෙස මෙම ශබ්දය නැඟීම සිදු කරයි.  මේ මා ඔහුගෙන් දැන ගත් කරුණු කිහිපයක් පමණි.. එසේ බොහෝ වේලාවක් තිස්සේ මා ඔහුගෙන් විශාල තොරතුරු සම්භාරයක් දැනගතිමි. කාලය විදුලි වේගයෙන් ගෙවි ගොස් ඇති බව මට වැටහුනේ මදකට අප කතාව නවතා ගල් තලාව අතරින් පෙනෙන වැව දෙස බලා සිටියදී තම කැදලි කරා ඇදෙන කුරුල්ලන් සමූහය දුටු  මොහොතේය.

එය මා මාගේ දිවියේ ගත කළ සුන්දරතම දිනයක් විය හැක. හිරු නැගෙන තෙක් නොඉවසිල්ලෙන් යහනේ පෙරෙළෙමින් සිටින මා ප්‍රථම හිරු කිරණ මාගේ කුටියට වඩින පමාවෙන් නැඟිට මාගේ සියළු සුපුරුදු වැඩකටයුතු අමතක කර දමා දිව යන්නේ ඔහුගේත් මාගෙත් කුඩා ලෝකය වූ ඒ නොගැඹුරු පුංචි පොකුණ වෙතයි. මාගේ නොනවතින් ප්‍රශ්න වැල අතර නිරුත්තර වන ඔහු හැකි සෑම අයුරින්ම මා හට කිඳුරු තතු පැහැදිලි කර දේ. මුවින් නොදඩා සිතුවිලි වලින් හා අංගෝපාංග චලනයෙන් ඔහු තතු පහදන ආකාරය බලා ඉන්නට ආසා සිතෙන සුළුය. විටෙකු ඔහු කොහෙන්දෝ සොයා එන සකුරා වැනි මල් සමූහයකින් පොකුණ පුරවයි. මල් පිරුණ පොකුණට වන් කල්හි මාද ඓතිහාසික කතා වල කියවෙන කුමාරිකාවක් වැනි යැයි මට සිතේ.. විටෙක අප විසිතුරු කුඩා මසුන් පසු පස එළවමින් පොකුණ පුරාවට පිහිනීමු. විටෙක මා ඔහුව ගල්තලාවේ හිඳුවා ඒ කිඳුරු සිරුර ගවේශණය කරමි. මොණරපිලක පැහැ ගත් කොරල් වලින් වැසී ගත් ඒ කිඳුරු වල්ගය ඇඟිලි තුඩු වලින් ස්පර්ශ කර බැලීමි. විටෙක අප ගල්තලාවේ දෙපසකට වී බැල්මෙන් එකිනෙකා පරදවන ක්‍රීඩාවක නිරත වීමූ. එහෙත් සැමදා පැරදුනේ මාය. ඒ මට එක එල්ලේ ඔහුගේ දෙනෙත් බලා සිටිය නොහැකි කමකට නොවේ. ඔහුගේ බැල්මෙන් අවදිවන මාගේ ඉඳුරන් දමනය කිරීමටය. මාගේ සිතුවිලි ඔහුට හැඟේවිදෝයි මා බිය වූයෙමි. ඔහු වෙනුවෙන් සිතේ ඉපදීමට අර අදින මාගේ ආදරය ඔහුට දැනේවියැයි මා බිය වූ නිසාය.

මා වෙනුවෙන් ඔහුගේ සිතේ ඇති හැඟීම් දැන ගැනීමට මා අපමණ උත්සහ දැරීමි. සීයා පැවසූ පරිදි කිඳුරන් හා ගැවසෙන විට ඔවුන්ගේ සිතුවිලි අප හට ග්‍රහණය කල හැකි වුවද ඒඩ්‍රියන්ගේ සිතේ මා වෙනුවෙන් ඇත්තේ කුමන හැඟීමක් දැයි පැවසීමට මා හට තවමත් නොහැකිය. ඔහු කෙතරම් සුහදශීලි ලෙස මා හා හැසිරුනද ඔහු ළං වද්දි මා හට මද අපහසුතාවක් හා අනාරක්ෂිත හැඟීමක් ඇති වන්නේ ඇයි දැයි මා එම සිද්ධිය සිදුවන තුරු සැක නොකළෙමි.

Friday, June 10, 2011

කින්නර අඩවිය … 5

මා හුන් තැනම ගල් ගැසී සීයාගේ කතාවට වශීකෘතව සවන් දෙන්නට වීමි. හම් බැම්මෙන් බැඳි තිබූ පොත ලිහා දැමූ සීයා එහි අපගේ පැරැන්ණන් විසින් සටහන් තැබූ අප පරපුරේ ඉතිහාසය මට ගෙන හැර දක්වන්නට විය.. මේ මා ඔබ වෙත ගෙන එන්නේ එම අතීතයයි.

Mermaid Kingdome

Syrin මුහුදු අධිපතිගේ හත්වන බිරිඳ! ඇය අනික් කුමාරිකාවන්ට වඩා ඉතා ලාබාල ඉතා සුරූපී ගුණ යහපත් කරුණාවන්ත කුමාරිකාවක්.. ඇයගේ මේ ගතිගුණ නිසාවෙන් මුහුදු අධිපති කැස්පියන්ගේ ආදරය අන් සියළු බිරින්දෑවරුන්ට වඩා ඇයට හිමි වුනා. මේ ගැන ඊර්ෂියාවෙන් හා කෝපයෙන් පසුවූ අනික් කුමාරිකාවක් සයිරින් මරා දැමීමට මුහුදේ විශාලතම හා ඉතා දරුණු සත්වයකු වන ක්‍රැකන් නම් බූවල්ලාට බාර කලා.. ඒ පිළිබඳ දැන ගත් කැස්පියන් සයිරින් සැඟවීමට ගැඹුරු සාගරයේ රහස් තැන් සෙවූවත් ක්‍රැකන්ට ළඟ විය නොහැකි තැනක් සොයා ගැනීමට ඔහු අපොහොසත් උනා.. එම නිසා ඔහු තීරණය කරා සියිරින් කුමාරිකාව මුහුදෙන් එපිට තැනක සඟවන්න.. එයට ඔහු තෝරාගත්තේ මෙම මිස්ටික් ලේක් නම් විල. ඉතා ගැඹුරු ආගාධ සහිත මෙම විලට කිසිම ජලාශයක් පිටින් සම්බන්ධ නොවිමෙන් එය ඉතා ආරක්ෂිත ස්ථානයක් හා සැඟවිමට ඉතා සුදුසු තැනක් වූවා.. එක් සඳ ඇති රැයක මහා කුණාටුවක වෙස් ගත් කැස්පියන් එවකට ගැබිණියක්ව සිටි සියරින් කුමරියව මිසිටික් ලේක් වෙත ගෙන ආවා..  දැඩි හිරු රැස් වැව් පතුලට ළං වීම වැලකීමට ඔහු වැව් දිය කළු පැහැ ගැන්වූව.. මිනිස් ආත්ම වලින් සයිරින් ආරක්ෂා කිරීමට නෙසී නැමති විශාල ජලජ සත්වයා වැවට මුදා හැරියා.. නෙසී ශාක භක්ෂක අහිංසක සත්වයෙකු වුවද ඌගේ බියකරු පෙනුම නිසා මිනිසුන් වැව ආසන්නයට ඒමට පැකිලුණා..

මිස්ටික් ලේක් හිදී සයිරින් කුමරියට දූ කුමරියන් තුන් දෙනෙක් ඉපදුනා.. ඇස්ට්‍රයිඩ්, ඇක්වාමරින් සහ අසාZරියා.. ඔවුන් තිදෙනාටද සිය මව මෙන් නොයෙක් ජලජ ජීවීන්ගේ වෙස් ගත හැකි වුවත් ඔවුන් ස්වභාවයෙන් දිය කිඳුරියන්.. දියකිඳුරන්ගේ ජීවිත කාලට අවුරුදු 300ක්.. එහෙත් ඔවුන්ට අවශ්‍ය නම් ඔවුන්ගේ හදවතේ සැඟව තිබෙන ජීව මුතු ඇටය වමාරා මරණයට පත් විය හැකියි.. පූර්ණ චන්ද්‍රයා නැඟෙන රාත්‍රීන් වලදි දියකිඳුරන් හට මිනිස් වෙස් ගෙන ගොඩබිම් හී ගැවසිය හැකි අතර එසේ මිනිස් වෙස් ගත් දියකිඳුරා හෝ කිඳුරිය ඊළඟ පූර්ණ චන්ද්‍රයාට පෙර විල කරා නොපැමිණියේ නම් ඔවුන් සදාකාලිකව මිනිස් ආත්මයේම ජීවත් විය යුතුයි. මිනිස් වෙස් ගත් දියකිඳුරන් හට මනුෂ්‍යන් සමග සහවාසයේ යෙදිමට හැකි වන අතර ඉන් උපදින දරුවන් අඩක් කිඳුරු හා අඩක් මිනිස් ගුණ වලින් හෙබි වූවන් වේ. එවිට මොවුන් ඉතා සුවීශේෂ වර්ගයක් වන්නේ ඔවුන් හට පූර්ණ චන්ඳ්‍රයාගේ බලපෑමක් ඇති නොවන බැවිනි. ඔවුනට අවශ්‍ය නම් කිඳුරු වෙස් හා මිනිස් වෙසට මාරු වීමේ හැකියාවද ලැබේ.

mermaids3

කාලය ගත වෙලා කිඳුරු කුමරියන් තරුණ වියට එළඹුනා.

මේ අතර මනුෂ්‍යයෙකු හා පෙමින් බැඳුන වැඩිමහල් කිඳුරු කුමරිය ඇස්ට්‍රයිට් හට එම මනුෂ්‍යාට දාව ඇරීනා නම් දියණික් උපන්නා.. ඈරීනාද තරුණ වියට එළඹුණු පසු ඇයගේ පියාගේම පවුලේ තරුණයෙකු හා එක්ව කිඳුරු මිනිස් පරපුරක් ජනනය කලා. තමන්ගේ  සුවිශේෂිත්වය මැනවින් වටහා ගත් මොවුන් කිසි දිනෙක මෙම රහස් හෙළි නොකර එම පරපුර ආරක්ෂා කර ගැනීම නිතරම බැඳී සිටියා..  එම නිසා කැස්පියන්ගේ හා සියිරින් මාතාවගේ ආශිර්වාදය නිතැතින්ම ඒ පරපුරට හිමි වුවා..

දෙවන කිඳුරු කුමරිය ඇක්වාමරීන් සඳ ඇති රැයක මිනිස් වෙස් ගෙන ගම්මානයට ගොස් එහිදී මිනිසෙකු හා පෙමින් බැඳී නැවත විල කරා පැමිනීම අමතක කර දැමුවා. ඊළඟ පුන් සඳ දින ඇය වැවට නොපැමිණි නිසා ඈ කිඳුරු ආත්මයෙන් මිදී සම්පූර්ණ මිනිස් ආත්මයක් ලැබුවා. එම නිසා ඇගෙන් ඇති වූ කිසිඳු දරුවෙකුට කිඳුරු ගුණ හිමිවූයේ නෑ..  මිනිසුන්ගෙන් ඇගේ සොයුරියන් හට හානියක් ඇතිවේයැයි සිතූ ඇය කිසි දිනෙක එම රහස ඇගේ ස්වාමිපුරුෂයාට හෝ කිසිඳු ගම් වැසියෙකුට පැවසීමෙන් වැළකුනා.. අදද ඇගෙන් ඇති වූ පරපුරේ කිසිවෙකු මේ සත්‍ය නොදන්නවා ඇත.

තුන්වන කිඳුරු කුමරිය අසාZරියා නිසි වයසට පැමිණීමේදි කැස්පියන් විසින් ඩෞගල් නැමති ශුද්ධ වූ රාජකීය රැධිරය සහිත කිඳුරා මිස්ටික් ලේක් වෙත මුදා හැරියා. ටික කලෙකින් අසාZරියා හා ඩෞගල්ට දාව කිඳුරු පරපුරක් මිස්ටික් ලේක් හි ඇති උනා. ශත වර්ශ ගනනාවකට පසු අසාZරියා පරපුරේ පවුල් දෙකක කිඳුරු කුමරුන් දෙදෙනෙකුගේ උපතක් සිදු වූවා. මෝගන් සහ සෙZන් . එයින් මෝගන් ඇස්ට්‍රයිඩ් පරපුරේ කිඳුරු මිනිස් යුවතියකට පෙම් බැඳි අතර සෙZන් තම වර්ගයේම කිඳුරු කුමරියක හා ආදරයෙන් වෙළුනා.

“ඇකේෂියා මෝගන් ආදරයෙන් බැඳුන ඒ ඇස්ට්‍රයිඩ් පරපුරේ යුවතිය තමයි ඔයාගේ අම්මා.. මෝගන් තමයි ඔයාගේ තාත්තා. කිඳුරන්ගේ ජීවන කාලය මිනිසුන්ගේ ජීවන කාලයට සාපේක්ෂව වැඩි නිසා ඔවුන්ගේ පරපුර පැතිරීම සිදුවන්නේ බොහොමත්ම සෙමින්. ඉතින් කාලයත් එක්ක මේ වෙන කොට ඇස්ට්‍රයිඩ් හා  අසාZරියා පරපුරේ නියෝජනයට ඉන්නේ දෙන්නෙක් විතරයි. ඇස්ට්‍රයිඩ් පරපුරේ අන්තිම සාමාජිකයා ඔයා.. අසාZරියා පරපුරේ අන්තිම සාමාජිකයා තමයි ඔයා ඊයේ රෑ දුටු කිඳුරා ඒඩ්‍රියන් !”

දෙසවන් අදහා ගත නොහැකි වුවද මේ කතාන්තරය විශ්වාස කල යුතුව ඇත. කිමද මේ දේවල් මට පවසන්නේ මාගේ සීයාය. ඔහු කිසි කලෙක මට අසත්‍ය දෑ පවසන්නෙකු නොව. එමෙන්ම සිතට කිසිදිනෙක නොදැනුන ලෙස මහත් උදාර සිතිවිල්ලක් දැනෙන්නට පටන් ගෙන තිබුනේ මා සාමාන්‍ය පුද්ගලයෙකු නොව ශතවර්ෂ ගණනාවක ඉතිහාසයක් ඇති අසාමාන්‍ය පරපුරක සාමාජිකාවක් බව දැනගත් නිසා වන්නට ඇත. සිතේ තවත් දැන ගැනීමට දහසක් කරුණු ඇත.. මෝගන්! මාගේ කිඳුරු පියා. විශාල දිය රැළ ඇති කරමින් වැවෙන් නැඟී සිටින ප්‍රතාපවත් පෙනුමැති කඩවසම් කිඳුරෙකු මට මැවී පෙනෙන්නට විය.

“සීයා ! මගේ තාත්තට මොකද උනේ?” මාගෙන් එම ප්‍රශ්නය බලාපොරොත්තු වූවා සේ සීයා බැරෑරුම් ලෙස හිස සෙලවිය. “ඇකේෂියා ! මෝගන් දැන් මේ ලෝකෙ නැති බව ඔයා දන්නවා ඇති.” එය අම්මා මට පවසා ඇති මුත් ඔහු මෙලොවෙන් සමුගත්තේ කෙලෙසකද යන්න අම්මා මට පවසා නැත.

“අද මම ඔයාට ගොඩාක් විස්තර කිව්වානේ.. අපි ඉතුරු ටික වෙන දවසක කතා කරමුනේද?” සීයා මා මඟ හරින බවක් මට දැනේ. එහෙත් හාරවුස්සා ඒ ගැන ඇසීමට සිත් නොවේ. කිමද මා දැන් දන්නා කරුණු මා හට තවත් දින කීපයක් සිතා බැලීමට තරම් ප්‍රමාණවත්ය. ඊටත් නොදෙවනි ලෙස මා හට වැවේ වූ කිඳුරන් සජීවීව දැක ගැනීමේ අවශ්‍යතාවක පැන නැඟී තිබුනි. එහෙයින් සියළු විමසීම් පසුවට කල් තැබූ මම හිඳ සිටි පුටුවෙන් නැඟී සිටියෙමි..

“සීයා.. මම වැවේ ඉන්න මගේ නෑදෑයොත් එක්ක කතා කරලා එන්නද?” මා නොඉවසිල්ලෙන් විමසුවෙමි.

මඳ සිනාවෙන් උපැස් යුවල ගලවා මේසයේ පසෙකින් තැබූ සීයා මාදෙස බැලීය. “යන්න. කතා කරන්න, හැබැයි එයාලට අපි වගේ කතාකරන්න බෑ.. ඒත් එයාලා කියන දේ නැතිනම් කියන්න උත්සහ කරන දේ ඔයාට දැනෙයි.. හරියට ඔයාගේ හිතේ ඇති වෙන සිතුවිල්ලක් වගේ.. නැතිනම් ඔයාගේ කණට කවුරු හරි කොඳුරනවා වගේ.. තේරුනාද?”

මාගේ නොඉවසිල්ල දැනටමත් මා පුස්තකාල දොර වෙත කැඳවාගෙන ගොස් අහවරය. එහෙත් සීයා පවසන දේටද කන්දිය යුතුවේ.. හිස සලා සියල්ල පිළිගෙන මා දුවන්න සැරසෙත්ම

“ඇකේෂියා!  වැව මැද්දට යන්න හිතන්න එපා.. විශේෂයෙන්ම බටහිර උස කඳු පැත්තට.. හැම කිඳුරෙක්ම එක වගේ නැහැ. ඔයාට ඒක තේරෙයි! එයාල ඔයාට ලං වෙනකොට එයාලගේ සිතුවිලි ඔයාට දැනෙයි. හැමදේම පරිස්සමින්” සීයා පැවසූ ප්‍රෙෙහලිකාව විසඳිම පසෙක තබා මා මිටින් හල කිරිල්ලයක ලෙස වැව දෙසට දිව යන්නට වීමි…

 

Thursday, June 9, 2011

කින්නර අඩවිය … 4

 

Mermaids

මුළුතැන් ගෙයි රැජින මාර්තාගේ ගී හඬින් අවදි වූ මා දෙනෙත් කරකවමින් අවට බැලීමි.

“ගුඩ් මෝනින් ඇකේෂියා ඩියර්, හියර්ස් යුඅ ටී“

“තැන්කිව් මාර්තා“

ඇය ගිය පසු මම තේ කෝප්පයද ගෙන කාමරයේ විවෘතව තිබූ ජනේලය දෙසට පියනැඟීමි. එය සුන්දර උදෑසනකි.. ජනෙල් පඩියට මාගේ සිරුර වාරු කර ගත් මා වැව දෙස බලාගත් වනම තේ පානය කරන්න පටන් ගතිමි.

එසැනින් පෙර දින රැයේ  මා මුහුණ පෑ අත්භූත සිද්ධිය මාගේ මතකයට ගලාගෙන එන්නට පටන් ගත්තේය. එය සැබෑවක්ද නැතිනම් මා දුටු භයංකාර සිහිනයක්ද? එය සැබෑවක් නම් ඉතා බියකරුය.. එහෙත් එය සිහිනයක් නම් ඉතා සුන්දර වනු ඇත. මා ඔහුගේ මුහුණ මවා බැලිමට වෑයම් කලෙමි. ඔහු ජලයෙන් මතුවී මා දෙස බලා සිටි අයුරු.. ඒ තියුණු දෑසේ රැඳී තිබූ ආකර්ෂනීය බැල්ම… මඳ සඳ එළියෙන් වුවද දීප්තියෙන් බැබලුන ඒ පැහැපත් සම. දිය බිඳු වැගිරෙමින් තිබූ ඒ දිගැති කෙස් කැරළි….. එතෙක් මා දැක තිබූ සියළු සුන්දර ගුණාංග එක්කාසු කොට නිර්මාණය වූ ඔහු ග්‍රීක දේවකතාවන් හි කියවෙන දේව පුත්‍රෙයකු අභිබවා යන රැවකින් යුක්ත විය...  සිහිනයේදි බිය ගෙන දුන්නද දැන් ඔහු ගැන සිතේ ඇති වන්නාවු සිතිවිලි වල බිය යන්න මට සොයා ගත නොහැකි විය.. ඒ රැවෙන් සිතේ කොනක නිදා සිටි හැඟුමක් විකසිතව මා හද කිති කවන චමත්කාරය නිසා මා දිගු හුස්මක් ගෙන දෑස වසා ගතිමි….

“ඇකේෂියා”… ඔබ විශ්වාස කරන්නේද?.. ඒ සිහිනෙන්ද ඇසුන හඬමය.. මාගේ පිටුපසින් නැතහොත් මාගේ දෙසවන් අද්දරම කෙරෙන ඒ ආමන්ත්‍රණය කොහෙන් කවුරුන් විසින් කරන ලද්දක් දැයි මට නොතේරේ.. දෑස් හැර බැලූ මා හට වැව් ඉව්රේ අඳුරු කොනක තිබූ හෝ සිටි යම් කිසිදෙයක් දියට පැනිමෙන් ඇතිවූ ශබ්දය හා දියරැළි දක්නට හැකි විය..

“සීයා.., “ මා සීයා සොයා ගියේ අද මේ සියළු අභිරහස් වලට තිත තබා සත්‍ය කුමක්දැයි සොයා ගනිමි යන අරමුණෙනි.. උදෑසන ආහාරය නිම කල සීයා දුම්පයිප්පයද කටේ රැවා ගිනිමින් නිවස ඉදරිපස මිදුලේ ඇවිදිමන් සිටියේය..  “සීයා!” මාගේ ඇමතිමට ඔහු හැරී බලා මද සිනා පෑවේය.. 

“සීයා! මම ඊයෙ රෑ බය හිතෙන හීනයක් දැක්කානේ.. ඔන්න මම නිදාගෙන හිටියා. වැව පැත්තෙන් විසිල් එකක් ඇහිලා මං ඒක බලන්න ඉනිමඟ දිගේ බැහැලා අර අඩි පාර දිගේ ගියා.. එතනදි…

“ඔයා දියකිඳුරෙක් දැක්කා” සීයා මාගේ කතාව නිම වීමට මත්තෙන් කියා දැමුවේය… 

“සීයා, ඔයා කොහොමද මං දැකපු හීනෙ….මං …” සීයාගේ පැවසුමෙන් විපක්ෂිත වී ගිය මා හට වචන පැටලෙන්නට විය.

“ඇකේෂියා! මේ අහන්න.. මං මේ දේවල් ඔයාට කවද හරි කියන්න ඕනා.. ඒත් ඔයා මෙහෙට ආපු ගමන්ම වගේ මේවා ඔයට කියලා ඔයාගේ හිත කලබල කරන්න මට අවශ්‍ය උනේ නැහැ.. අනික මම කලින්ම මේ ගැන කියන්න ගියොත් ඔයා මාව විශ්වාස කරන එකකුත් නෑ.. දැන් ඔයා ඇහැටම දැක්කා, මෙතන, ඔයාගේ මේ මහගෙදර, ඒ වටේට තියෙන මේ වැව හා සම්බන්ධ දිග කතාවක් මට ඔයාට කියන්න තියෙනවා.. එන්න.” ඔහු මා කැඳවාගෙන ගියේ ඔහු විසින් පුස්ථකාලයක් ලෙස භාවිතා කරන සාලයෙන් වම් අතට විහිඳුනු කොරිඩෝවෙ අග පිහිටි කාමරකටය. මා මෙහි පැමිණ නැත්තේ මෙහි සීයා විසින් එකතු කරන ලද ඉතා පැරණ ග්‍රන්ථ විනා මා හට ඇල්මෙන් කියවිය හැකි කිසිම දෙයක් මෙහි නොතිබෙනු ඇතැයි මා අනුමාන කල බැවිනි..  එසේ කාමරයට ඇතුළු වූ සීයා බිත්තියේ එල්ලා තිබූ විශාල සිතුවමක් ඉන් ඉවත් කර ඒ පිටිපස වූ තරමක් පුළුල් සේප්පුවක් විවෘත කර හම් බැම්මෙන් බඳින ලද පැරණි පොතක් ගෙන මේසය මත තැබීය. ඔහු වෙත එන ලෙසට හිසින් සන් කර ඔහු උපැස් යුවල සකස් කරමින් එහි වූ පුටුවක සැප පහසු ලෙස අසුන් ගත්තේය.

මාහටද අසුනක් පැනවූ ඔහු මා එහි හිඳගත් පසු මාගේ දෑතින්ම අල්වා ගත්තේය.

“ඇකේෂියා! මට පොරොන්දු වෙන්න අද මම ඔයාට මේ කියන දේවල් කවදාකවත් පවුලෙන් පිට කිසිම කෙනෙකුට නොකියන බව..”

“මට ඉන්නේ ඔයයි අම්මයි විතරනේ සීයා ..”

“ඒකත් ඇත්ත නේද?”

“ඇකේෂියා! ඔයා හැමදාම කණ්නාඩියෙන් මූණ බලනවා නේද? එතකොට ඔයා මොනවද දකින්නේ.. ලස්සන නිල් ඇස් තියෙන කැරලි ගැහුණු දිග කොණ්ඩයක් තියෙන ලිලී මලක පාට බොහොම හුරුබුහුටි ගැහැණු ළමයෙක්ව.. හරියටම එයාගේ තාත්තා වගේ..”

සීයාගේ වර්ණනාව අසා මාහට සිනහද නැගෙයි.. එය සැබෑය මා කොහෙත්ම අම්මාගේ කිසිදු හැඩරුවකට සමාන වුයේ නැති බව මට සිහියට නැඟුණි..

“ඔයාට මෙච්චර ලස්සනක් ලැබුනේ කාගෙන්ද? ඔයාගේ තාත්ගෙන්. ඇකේෂියා ඔයාගේ තාත්තා! මේ අපි වටේට ඉන්නවා වගේ සාමාන්‍ය මනුස්සයෙක් නෙමෙයි.. එයා බොහොම ප්‍රතාපවත්, හරිම කඩවසම් දියකිඳුරෙක්!”

දෙපතුලෙන් නැඟුන විදුලි කදම්බයක් හිස් කබලට ගමන් කර එහිදි පිපිරුවාක් මෙන් කම්පනයකින් මා ගල් ගැසි ගියෙමි. එසේ නම් මා දැක ඇත්තෙද සිහිනයක් නොවන්නට ඇත. මුව අයා සීයා දෙස බලා සිටිනවා ඇරෙන්නට වෙන යමක් කිරීමට මට නොසිතේ..

“මේ වැව දැනට අවුරුදු 500ක් විතර කාලෙක ඉඳන් මෙතන තියෙන වැවක්. කිසිම ග්‍රීශ්ම සෘතුවකට හිඳෙන්නැති කළු වතුර පිරිච්ච මේ වැවේ අභීරහස මොකද්ද දන්නවද? මේ වැවේ තවමත් දියකිඳුරෝ ජීවත් වෙනවා.. ඔව් ඇකේෂියා. ඔයා ඊයේ රෑ දැක්කේ එයාලගෙන් එක්කෙනක්ව.. ඇකේෂියා! ඔයාත් ඒ පවුලෙ කෙනෙක්. ඔයත් මමත් ඔයාගේ අම්මාත් අපි ඔක්කොම ඒ කිඳුරු පවුලේ සාමාජිකයෝ.. ශතවර්ෂ ගනනාවකට කලින් මේ වැවට ආපු කිඳුරන්ගෙන් ඇති වුන මිනිස් වෙස් ගත් දියකිඳුරෝ…….”

Wednesday, June 8, 2011

කින්නර අඩවිය…3

තප්පරයෙන් තප්පරය මොහොතින් මොහත ගතවී මැදියම් රැය උදා විය. මා දෙසවන් බලාපොරොත්තු වූ ජලතලය කැලතෙන හඬ ඈතක සිට වැව් ඉවුර දෙසට ළං වන හඬ මාගේ සවන් වැකුණි. මම සෙමින් ජනේලය කරා ඇදුනෙමි. තිර රෙද්ද යන්තමට මෑත් කල මා හට පෙරදා රැයේ දුටු පරිදිම මත්ස්‍යන් රංචුවක් ජලතලයේ එහා මෙහ පිහිනන අයුරු දැක ගත හැකි විය. ජනේලයේ අඟුල හෙමින් සීරුවේ හැර දැමූ මා එහි පියන හඬ නොනැඟෙන සේ තල්ලු කර දැමුවෙමි. විදුලි පන්දම අතින් ගත් මා ජනේල් පඩියට නැඟ ඉනිමඟට පා තබා සෙමින් එයින් බසින්නට පටන් ගතිමි.

තව දින කිහිපයකින් පුන්සඳ උදාවන බව කියා පාමින් අඩසඳ අහසේ මෝරා වැඩෙමින් සිටි. ඒ එළියෙන් මිදුලට බට මා හඬ නොනැගෙන්නට මදක් ඉදරියට නැමී ඉවුර කරා පිය මැන්නෙමි. හදිසියේම වියළි කොළ අත්තක් පෑගීමෙන් මතුවූ ශබ්දය නිසා කලබල වු මාළු රංචුව මහා ශබ්දයක් ඇති කරමින් ජලතලය කලත්තා නොපෙනි ගියේය. මාගේ නොසැලකිලිමත් බවට සිතින් දොස් පවරා ගත්  මා එතැනම වූ ගල් කුලට නිසාවෙන් ඇති වූ හෙවනැල්ලට මුවා වී බිම හිඳගතිමි. වැව දෙසින් හමා ආ සීතල සුළ‍ඟෙන් මා සිරුර කිලිපොලා යන්නට විය. මෙසේ කොපමණ වෙලා මෙතැනට වී හිඳින්නට සිදුවේදැයි මා නොදනිමි. යම් හෙයකින් ඒ හඬ අද වැව දෙසින් නොනැඟුනේ නම් මාගේ මෙම ප්‍රයත්න්‍ය අපතේ යන්නේ යැයි සිතමින් සිටියදීම……….. නැවතත් ඒ සුමියුරැ ඉතා කන්කළු උරුවම් බෑම. සියළු දුක් වේදනා සිතෙන් උකහා ගන්නා, සිත නැවුම් සිතුවිලි හා සන්තුෂ්ටියෙන් පුරවනා, බිය සන්ත්‍රාසය නොසන්සුන් බව දමනය කර මුළු ආත්මයම සුවපත් කරවන ඒ හඬට ඔබ එක් නිමේෂයක් කන් දුන්නේ නම් ඔබේ මුළු ආත්මයම ඉතා පවිත්‍ර ජීවයකින් පිරී යන ආකාරය ඔබට දැනෙනු ඇත..

මාගේ දෙපා මට නොදන්වාම ක්‍රියාත්මක වන්නට පටන් ගත්හ. හුන් තැනින් නැඟිට ගත් මා වැව් ඉවුරේ පිහිටි ලී වේදිකාවට යන අඩි පාර දිගේ ඉදරියට ඇදෙන්නට වීමි. මා දකින්නේ සැබෑවක්ද නැතිනම් මා සිහියක සැරි සරනවාද යන්න මට වෙන් කර හඳුනා ගත නොහැක. මා පය තබන වාරයක් පාසා අඩි පාරේ දෙපැත්තේ වූ කුඩා ගස් හා පඳුරු දෙපසට ඈත්වී මට මඟ සාදා දෙන්නා සේ මට දැනේ. හිත කුල්මත් කරමින් තවමත් ඇසෙන පෙර කී හඬ මා සඳහා පමණක් නැඟෙන්නක් බව මට දැනේ. කණාමැදිරියන් රොත්තක් මා ඉදිරියෙන් ඇදෙමින් මට මඟ පෙන්වන්නා සේ මට දැනේ. සැබෑ ඇකේෂියා නම් මෙවන් මැදියම් රැයක මෙතරම් හුදෙකලා වන ලැහැබක තනියෙන් ගමන් කරනවා යන්න කිසි සේත් විය නොහැක්කකි. මාගේ විපර්යාසය මටම පුදුමයකි. සිතේ බියක සේයාවක් වත් නැත. ඒ හඬ මේ පරිසරය මගේ ආත්මට හා බැඳී යන අපූරුව විඳමින් මා තවත් ඉදරියට ඇදෙමි.  දැන් මා ලී වේදිකාවද පසු කර අඩි පාරෙ  කෙලවරටම පැමින තිබේ. දියෙන් ඉහලට මතුවූ ගල් කුළු වලින් කවාකාරව වැවේ කුඩා කොටසක් වටවී ඉතා හුරුබුහුටි ලෙස නොගැඹුරු විලක් නිර්මණය වී ඇත. උරුවම් බෑම නැඟෙන්නේ එම ගල්කුළු පාමුලෙනි. මඳ ලෙස විහිදෙන සඳ එළිය මාගේ දෑසට පැහැදිලි දර්ශනයක් ගෙන දිමට අපොහොසත් වූ බැවින් මා විදුලි පන්දම දැල්වූයෙමි..

ගල්කුලේ පහත් තැනක මට පිටුපා වාඩි වී සිටි කිසිවෙකි. ඔහු ඇය හෝ එම සත්වයා දෙපා වැව්ට මුදා හැර සිටින්නට ඇත. වැව දෙසට මුහුණලා සිටි බැවින් මට පැහැදිලිව මුහුණ නොපෙනුනද මෙලොව වසන කිසිඳු ජීවියෙකුට නොපිහිටන ආකාරයේ අතිශය පැහැමත් රීදී පැහැති සමකින් ඒ සිරුර දිදුලන්නට විය. දිගු කෙස් කැරළි වලින් දිය බිඳු වෑහෙමින් පැවතුනේ මේ දැන් දියෙන් ගොඩ ආ සත්වයෙකුගේ මෙනි.  එක් වරම උරුවම් බෑම නවතා දැමු එම ජීවියා ක්ෂනිකයෙන් වැව් ජලයට පැන නොපෙනී ගියේය. මා දුටු දසුන මායාවක් නොවුන බවට ඇති එකම සාක්ෂිය වන්නේ වැව් ජලය මත ඇතීවු දිය රැළි පමණි… විපක්ෂිතව බලා සිටි මා හට ආපසු හැරී හිස් ලූ අත දිවයන්නට සිතුණු වාර ගනන අපමණය. එහෙත් අසරණ මාගේ දෙපා කිසිවෙකු විසින් තදින් අල්ලා ගෙන ඇති සෙයකි. කෑගැසීමට අවශ්‍ය මුත් දෙතොල් අඟුළු වැටී ඇති සෙයකි. කොටින්ම මා පණ ඇති ගල් පිළිමයක්ව බලා හිඳන්නට වීමි… 

එකවරම…… මා පිටි පසට විසි වී බිම හිඳගැනුනේ මා සමීපයෙන්ම ඉදරියේ වූ ජලතලයෙන් ඉහලට පැන්නාවූ විශාල සත්වයෙකු නිසාය. ඒ දසුන මා හට කෙදිනකවත් අමතක නොවනු ඇත..

දුබල අඩසඳ පසුබිම් කරගෙන ඉහල වා තලයේ කරණමක් ගසමින් සිටින හේ මිනිසෙකි.. සම්පූර්ණයෙන්ම වැඩුණු අතිශය රූමත් අඟපසඟ වලින් යුක්ත  ඔහු මිනිසෙකි. එහෙත් ඒ හිනෙන් ඉහල කොටසට පමණකි. හිනෙන් පහල මා නිරන්තරයෙන් බිය වූ ඉතා පිළිකුල් සහගත බූවල්ලෙකු, ආඳෙකු, හෝ මත්සයෙකුගේ මෙන් කොරපොතු සහිත දිගු වල්ගයකින් යුක්ත විය. මාගේ නිගමනය වැරදි බව ඔබට ඉන් වැටහෙනු ඇත. ඒ මිනිසෙකු නොව. මා කුඩා කල කියවා ඇති සුරංගනා කතා වල වූ මෙතෙක් කල්, මනඃකල්පිත ජීවියෙකු යැයි මා අසා තිබූ දිය කිඳුරෙක් මා ඉදිරියේ වූ ජලතලයෙන් ඔහුගේ කඳ පමණක් වතුරෙන් ඉහලට පෙනෙන සේ ඔසවා තමා තියුණු බැල්මකින් මා දෙස බලා සිටී. අවදි වන්න අවදි වන්න මාගේ සිත කන්නලව් කරන්නේ මා දකින්නේ සිහිනයක් යැයි සිතාය. එහෙත් මා දකින්නේ සිහිනයක් නොව සැබෑවක්  බව මාගේ බියපත්ව ගැහෙන අසරණ සිතට පහදන්නේ කෙසේද?

merman

“ඇකේෂියා!“  ඔව් එය පෙර දින වැව අසළ වු අත්භූත සිද්ධියේදි මට ඇසුන හඬමය.. එහෙත් ඔහු මා ඇමතූයේ දෙතොලින් නොව. ඒ හඬ මට දෙසවන් අද්දර ඇසේ.

“මම දන්නවා ඔයා කවද හරි මෙතනට එනවා කියලා“ නැවතත් ඒ හඬ.. මුවෙන් නොදොඩන ඔහු සිතනා දේ මට ඇසෙනවා විය හැක.

එපමණය. මාගේ සිතට තවත් දැරිය නොහැක. මේ සා අත්භූත භයංකාර ත්‍රාසජනක අත්දැකීමකට මා මේ ජීවිත කාලයටම මුහුණ දී නැත. මුව ගොළුව, හද ගැස්ම නතරවී තද පොලු පහරක් හිසට වැදුණු කලෙක මෙන් මා එතැනම ඇද වැටුනෙමි…

Tuesday, June 7, 2011

කින්නර අඩවිය…2

Girl sitting on the pier on a summer day 98472

එම සිදුවීමෙන් පසු කිහිප දිනකට මා ගෙයින් පිටත නොපැමිණිමට වග බලා ගතිමි. එහෙත් කොපමණ කාලයකටද? අපගේ ආගමනය මේ පරිසරයට නැතහොත් මෙහි වසන දෑසට නොපෙනන කාගේ හො නොසන්සුන්තාවයකට හේතුවී ඇති සෙයකි. අම්මා හෝ සීයා එදා වූ සිදුවීම ගැන මගෙන් ප්‍රශ්න කිරීමෙන් හෝ ඒ කිසිවකුත් පැවසිමෙන් වැළකී සිටියහ. මා මුහුණදුන් අත්දැකීම තවමත් මට අභිරහසකි. එහෙත් මෙසේ මුළුගැන්වී සිටිමෙන් පලක් නැති බව වටහාගත්මා හිරු උදා වූ විගස නිවසින් පිටවූයේ සිදුවන්නේ කුමක් උවත් එයට නිර්භීතව මුහුණ දෙමි යන අධිෂ්ඨනයෙනි. ආපසු හැරී බැලූ මාහට අම්මාත් සියත් සාලයේ වීදුරු ජනෙල් තුලින් මාදෙස බලා සිටිනු මා දුටුවෙමි..


උදය වරුවේම වැව අද්දර ගේ වටා ලදු ලැහැබේ පිටමන් කලද එදාමෙන් අමුතු සිදුවීමක් සිදු නොවුනි. බොහෝ සෙයින් ඇවිද විඩාපත්ව සිටි මා හට යන්තමින් කුසගිනි දැනෙමන් තිබූ හෙයින් මා නිවස දෙසට පිය මැන නිවස පිටුපසින් ඇති දොරටුවෙන් එයට ඇතුළු වීමි. මුළුතැන්ගෙයි සිටි මාර්තා ළහි ළහියේ දිවා ආහාරය සකස් කරමින් සිටී. ඇයට මද සිනා පෑ මා උඩුමහළට යෑමට තරප්පු පෙලට පය තබන්න සැරසුනා පමණි..


“එයා කවදාහරි ඇත්ත දැන ගන්න ඕනා දුව! සමහර විට ළඟදීම දැනගනියි!“


“ඒත් තාත්තා, මට බය ඇකේෂිටත් කවදාහරි මං වගේම තනිවෙන්න වෙයිද කියන එක“


“ඒක තීරණය කරන්න ඕනා ඇකේෂියාමයි දුව, මේ අහන්න අපි සුවිශේෂියි. ඇකේෂියා තමයි තීරණය කරන්න ඕනා අපේ වර්ගය එයාගෙන් නවතිනවද නැතිනම් තවදුරටත් මේ ගමන යනවද කියලා. ඔයා එයාට කිසිම බලපෑමක් කරන්න එපා. ස්වභාවධර්මයට විරුද්ධ වෙන්න කාටවත් බැහැ. කාලයට ඉඩ දෙන්න, හැමදේම හොඳින් විසඳෙයි..“


අම්මාත් සීයාගෙත් කතාබහ මා ගැන වුවද ඔවුන් පවසන දෙයක කිසිඳු තේරුමක් මට සිතා ගත නොහැකි විය. කතාවට සහභාගී වීමට මා සාලයට පිය මැන්නද මා දුටු සැනින් තිගැස්සුණ සීයා මා මඟඇරීමට මෙන් දොර හැර ඉන් පිටවි ගියේය. අම්මාගේ මුහුණ බැලූ මට ඇය දුකෙන් හෝ සන්ත්‍රාසයකින් පෙළන්නේ යැයි සිතා ගත හැකි විය. ඇය අසලින් මා වාඩිවූ වහාම ඇය මා බදා සිහින් හඩින් ඉකිබිඳින්නට පටන් ගත්තාය. ඇගේ සිත තවත් රිදේ යැයි මා සිතූ නිසා මේ සිදුවන කිසිවක් ගැන විමසීම මා පසුවට කල්තැබීමි.


දිවාකාලයේ බොහෝ සෙයින් ඇවිදීම නිසාද අම්මාගේ කඳුළු දැකීමෙන්ද ගත මෙන්ම සිතද විඩාපත්ව ඇති සෙයකි. මට කිසිවක් නොපවසන නමුඳ මා නොදන්නා කුමක් හෝ අභිරහසක් අම්මා හා සීයා මාගෙන් වසන් කරන බව මා දනිමි. ගිනි මැලය දල්වා මා විදුලි පහන නිවා දැමුවෙමි. බලාපොරොත්තු දහසක් එක්කාසු කරගෙන නගරයෙන් ගමට පැමිණයේ නගරයේ නොවිදි සැනසිල්ලක් සතුටක් සොයාගෙනය. ඒත් එයටද මග ඇහිරී ඇති සෙයකි. සියල්ලටම ඉක්මනින් පිළිතුරු ලැබේවායි ප්‍රාර්ථනා කර මා නින්දට ගියෙමි.


මා අවදි වුයේ ඇයි දැයි මට සිතාගත නොහැකි විය. ගිනි මැලයද නිවීගොස් රත්වූ අඟුරු පමණක් බියකරු සතෙකුගේ දෑස් මෙන් අඳුර මැද දීප්තිමත්ව පෙනෙන්ට විට. සැනෙකින් යහනෙන් බිමට බට මා විදුලි පහන දැල්වූයේ සිතේ ඇති වූ හදිසි තැතිගැන්මටය. මැදියම් රැයේ අහම්බෙන් අවදි විම ඉතා භයානක දඬුවමක් වැනිය. අනේක විධි ශබ්ද නඟන සතුන් හොල්මන් යකුන් පිළිබඳ සිතුවිලි අඳුරු මුලු වල වැනෙන සෙවනැලි බලමින් නොනිදා පහන් කිරීම කෙතරම් දුෂ්කර කටයුත්තක්දැයි ඔබ දන්නවා ඇත. එසේ මා දෑස් දල්වා කාමරයේ නොයෙක් අත බලමින් සිටින කල මා හට වැව දෙසින් කිසියම් ශබ්දයක් ඇසෙන්නට විට. විපරමෙන් සවන් දීමේදි එය මාළුවන් දිය මතුපිටට පැන නැවත දියට වැටෙන විට නැඟෙන ශබ්දය බව වැටහුනි. මෙසේ විනාඩි 15ක පමණ කාලයක් සවන් දෙමින් සිටි මාහට මා ජනේලයෙන් එබී බැලුවහොත් සැබවින්ම වැවේ සිදුවන්නේ කුමක්දැයි බලාගත හැකි බව මතක් විය. සෙමින් සෙමින් රාත්‍රි ඇඳුම දෑතින්ම ඔසවා මා ජනේලය කරා පිය මැන්නෙමි. පරිසරය කෙතරම් නිශ්ශබ්ද දැයි පැවසුවහොත් මාගේ හදවත වේගයෙන් ගැහෙන රාවය කන අද්දර බෙර වැයිමක් සේ මට ඇසෙන්නට විය. ජනේලය ආසන්නයටම පැමිණි මා සෙමින් තිර රෙද්ද මෑත් කලේ මගේ එක් ඇසක් පමණක් එළියට පෙනන සේ මුවා වෙමිනි.


1224047123FNUDE5l


මොහොතක් ගත වන තුරුම අඳුරට මාගේ නෙත් හුරු කර ගැනීමට එක එල්ලේ වැව දෙස බලා සිටීමට මට සිදුවිය. එසේ බලා සිටියදි කෙමෙන් කෙමෙන් මගේ දෑසට වැව් දිය මතුපිට විශාල රැලි ඇති කරමින් පිහිනන මත්ස්‍යන් එකෙකු හෝ කිහිප දෙනෙකු නෙත ගැටුනි. අහසේ පායා තිබු අඩසඳෙන් උන්ගේ සිරුරේ කොරපොතු නිසා ඇති වන දිලුම පවා මට අඳුර මැදින් පැහැදිලිව පෙනෙන්ට පටන් ගත්තේය..
එලෙස බලා සිටියදි එක වරම මා ගැස්සීමකට ලක්කරමින් වැව දෙසින් ඉතා මියුරු උරුවම් බෑමක් නැගෙන්නට විය. එය සැබෑ උරුවම් බෑමක්ද නැතහොත් බටනලාවකින් නැඟෙනා හඬක්දැයි පැහැදිලි නැත. ඒ කුමකින් වුවත් මාගේ සියළු තැති ගැන්වීම් බියගැන්වීම් පසෙකලා ඒ හඬ එන්නේ කොතැනකින්දැයි සොයා බැලීමට මා පෙළඹවීමට තරම් ඉතා සුමියුරු වු හඬකි.

පසුදින මා අවදි වූයේ දැඩි හිසරදයකින් පෙළෙමිනි. ඒ රාත්‍රිය පුරා නොනිදා සිටි බැවින් වන්නට ඇත. එහෙත් මා නින්දට ගියේ කොයි වෙලේ දැයි මට නිනව්වක් නොවීය. පෙර කී මිහිරි උරුවම් බෑමට කන් දෙමින් සිටි මට එතැනම නින්ද ගොස් තිබෙන්නට ඇත. එමෙන්ම මාගේ සිතිවිලි වලද දැඩි වෙනසක් සිදු වෙමින් පවතින බව මට දැනෙමින් තිබුනි. අඳුරට මාගේ තිබූ බිය, කළු වතුර සහිත වැවට තිබූ බිය , ඒ සියල්ල තුරන්වි මාගේ එකම අරමුණ පෙරදා රැයේ ඇසුන ඒ හඬ සොයා යෑම බවට පරිවර්තනය වී තිබුනි. ඒ හඬේ වූ ආකර්ෂනය මා කැඳවන සුළු බවට අනික් සියළුම හැඟීම් යටපත් කර වැඩෙන්නට ගෙන ඇත. මා තීරණයකට එළඹියෙමි. අද දින රාත්‍රිෙය්ද එම හඬ ඇසුනහොත් මා ඒ කරා යන්නෙමියි දැඩි අධිෂ්ඨානයක් සිතේ ඇති විය.  එහෙත් මා නිවසේ දොර පියන් හරහා ගමන් කලහොත් ඒ ශබ්දයට අම්මා හෝ සීයා විමසිලිමත් වන්නට ඉඩ ඇති බැවින් මා හට විකල්ප මාර්ගයක් සොයන්නට සිදුවිය.  එසේ විමසිලිමත්ව ගේ වටා ඇවිදිමින් සිටි මා හට සීයා විසින් ගිනිඋදුන් වල චිමිනි පිරිසිදු කිරීම සඳහා භාවිතා කරන උසැති ඉනිමග මුළුතැන්ගේ බිත්තියට හේත්තු කර තබා ඇති ආකාරය දැක ගත හැකි විය. එය මාගේ නිදන කාමරයේ ජනේලය අසළට කර තැබුහහොත් මට ජනේලයෙන් බැස වැව කරා යෑමට ඉතා පහසු බව මට වැටහුනි. සීයා අම්මා හා මාර්තා දිවා ආහාරයෙන් පසු මඳ වෙලාවක් නිදා ගන්නා බව දන්නා මා ඒ අවස්ථාවේදි ඉනිමග ඔසවාගෙන විත් මාගේ කුටියේ ජනේලයට පහලින් තබා සොරෙකුසේ ගෙට ඇතුලු වී රාත්‍රිය උදා වනතුරු කාමරයටම වී බලා සිටියෙමි.

Monday, June 6, 2011

කින්නර අඩවිය… 01

lakelouise
හදවතට දැනුනේ අපමණ සහනයකි. අඳින් පසු මාගේ වසර 18ක පමණ අධ්‍යාපන  දිවියට විරාමයක් ලැබෙනා සෘතුව ඇරඹේ. සිතේ උපන් උද්දාමයත් පෙරටු කරගෙන ගීතයකක් මුමුණමින් මා නිවසේ ඉදිරි දොර හැරියෙමි.


“සීයා!“  අම්මාගෙත් මාගෙත් එකම හිතවතා, එකම නෑදෑයා වන අම්මාගේ තාත්තා හෙවත් මාගේ සීයා මාස 6 කට පමණ පසු මාගේ නිවසේ සාලයෙන් මතු වීමෙන් මාගේ සතුට දෙගුණ තෙගුණ විය.  දුව ගොස් සීයා වැළඳ ගත් කල්හි සීයා ඉතා ස්නේහයෙන් මාගේ හි පිරිමදින්නට විය.


“ඇකේෂියා, ඔයාගේම ගෙදරට යන්න ලෑස්තිද?“  සතුට වැඩි කමට මාගේ දෙනෙත් දීප්තියෙන් බැබළෙන්නට ඇත.


මාත් අම්මාත් මේ නිවහනට පැමිණියේ මාගේ අධ්‍යාපන කටයුතු වල පහසුව පිණිසයි. එහෙත් අපගේ සැබෑම උපන් නිවහන් වූයේ මින් කි.මි 170 පමණ වූ දුරකින් වූ පිටිසර ගමකි.


“Mystic Lake” ඉතා පිටිසර වුවද අප පවුලට සමීප කීහිප දෙනෙතු හා ළමා කාලය ගැන සොඳුරු මතකයන් නිසාවෙන් මා එම ගම් පියසට බෙහෙවින් ආදරය කෙරුවෙමි. අවුරුදු 18ක් තිස්සේ අම්මාත් මාත් ගත කල මේ හුදෙකලා ජීවිතයට තිත තැබීම පිණිස මාගේ අධ්‍යාපන කටයුතු අහවර වූ විගසම එහි පදිංචි වීමට යාම අප තුන්දෙනා ඒකමතිකව තීරණයක කර සිටි දෙයකි. ඉඳින් ඒ දවස අදය. සීයා පැමිණියේ අප දෙදෙනා එහි කැඳවා ගෙන යාමටය. මාගේ සුපුරුදු පරිසරය නිවස යාහළුවන් අතහැරයාමේ කිසිඳු දුකක් සිතේ නූපන්නේ මා මේ ගමන කලක පටන් බලාපොරොත්තු වූවක් නිසා විය හැක. මාගේද අම්මාගේද සියළු බඩු බාහිරාදිය සීයාගේ වාහනයේ පටවා ගත් අප පසුදින උදෑසනම Mystic Lake කරා යෑමට පිටත් වීමු. ගමනාරම්භයට ප්‍රථම මා දෙස හැරී බැලූ සීයා “ඔයා එනකල් එහේ ගොඩාක් අය බලන් ඉන්නවා“ යැයි පවසා අම්මා දෙසද බලා ගුප්ත සීනාවක් පෑවේය. දන්නා තරමින් Mystic Lake හි නෑදෑයන් නොවන එහෙත් අප පවුලට සීමීප පවුල් කිහිපයක් ඇරෙන්න වෙනත් විශේෂ අය නොවුන හෙයින් සීයාගේ පැවසුම මට ප්‍රෙහෙලිකාවක්ම විය. ඒ ගැන සිතමින් වද නොවූ මා අයිපොඩ් යන්ත්‍රය ක්‍රියාත්මක කර අසුනට බරවී දීර්ඝ හුස්මක් පිට කලෙමි……


 හෝරා කිහිපයක දිගු ගමනකට පසු නින්දත් නොනින්දත් අතරන් අප ගමනාන්තයට ලං වී සිටියෙමු. සැබවින්ම ගුප්ත පරිසරයකින් හෙබි Mystic Lake ගම්මානයට මේ නම බෙහෙවින්ම සුදුසු වූයේ නිතරෝම මිහිඳුමෙන් වටවී අඳුරු පැහැ ගත් ජලයෙන් පිරි ගමේ අයිනකට වන්නට පිහිටි ඉතා විශාල වැවක් නිසාවෙනි. මාගේ සීයා පවසන පරිදි මෙම වැව ශත වර්ෂ ගනනාවක් මුලුල්ලේ මෙම ගම්පියස පෝෂණය කළ ඉතා පැරණි ඉතිහාසයක් ඇති වැවකි. ගම්බිමෙන් භාගයකට වැඩි ඉඩක පැතිරී ගිය මෙම වැව තුන් පැත්තකින්ම කඳු ගොඬැලි හා ඒ අතර වැඩුණු ගණ වන පියසකින් වට වී තිබුනි. එය විවෘතව පැවතුනේ ඉතා පුළුල් වපසරියක පැතිරුණ සීයාට අයත් ඉඩමේ මායිමට පමණි. මේ ඉඩම මැද්දට වන්නට පිහිටි සීයාගේ හා අපගේ මහගෙදර සාමාන්‍ය නිවසක නොව පැරණි බලකොටුවක ස්වරෑපය ගත්තේය. මෙතරම් කලක් ගත වුවද දැනුඳු මේ නිවස කිසිඳු ගරාවැටීමක් නොමැතිව ගමේ සියළු නිවාසයන් අභිබවා මහත් වූ ප්‍රෞඪත්වයෙන් අගතැන්මත්ව මහා පර්වතයක්මෙන් නැඟී සිටි ආකාරය දුටු මගේ සිත නිතැතින්ම මාගේ ළමාකාලයට ඇඳීයන්නට විය. එවකට කුඩා නිහඬ දැරියක වූ මාහට මෙම විශාල නිවසේ ගුප්ත බව ඉතා බිය ගෙනැදුන්නකි. එහෙත් හොඳින් හිරු එළිය ගැවසෙන කාලයන්හි මා මිටින් හල කිරිල්ලක ලෙස ගේ වටා දුව පැන සෙල්ලම් කල අයුරු මට ඇස් ඉදිරියේ මැවී පෙනෙන්නට විය. නිවස දෙසම බලා සිටි මා වෙත පැමිණී සීයා මාගේ පිටට අත තබා මද සිනහවකින් යුතුව මා නිවස අභ්‍යන්තරයට කැඳවා ගෙන ගියේය. ඉන් පසු එඳින දහවල් වරුවම අප ගෙනා බඩු බාහිරාදිය අස්පස් කිරීමටම ගතවී ගියේය.


මාගේ කුටිය ලෙස මා තෝරාගත්තේ ඉහළ මහලේ කෙළවරක පිහිටි වැව දෙසට හොඳින් නිරාවරණය වන ජනේල සහිත කුඩා එහෙත් ඉතා පියකරු කුටියකි. එය තෝරාගැනීමට තවත් හේතූවක් වූයේ කාමරය උණුසුම් කිරීමට තනවා තිබූ ගිණිඋඳුණයි. සීතල රැයක උණුසුම් කබායක් පොරවාගෙන ගිණි උඳුණ දල්වා ඒ අසළ පැද්දෙන පුටුවකට වී කල් මැරීමට මා සිහින දුටුවේ අද ඊයෙක නොව. ඉඳින් අද සිට මාගෙ එම සිහිනය සැබෑ වේ.


සියල්ල අවසානයේ මා නිවසින් එළියට විත් වටපිටාව පිරික්සන්නට වීමි. අසල්වැසියන්ගේ නිවාස එකිනෙකට ඉතා ඈතින් පිහිටි අතර එම නිවෙස් වල ප්‍රමාණය හා සැසඳීමේදි අප නිවසට වඩා ඉතා කුඩා ප්‍රමාණයනගෙන් යුක්ත විය. ඔවුන්ගේ ප්‍රධාන ජීවනෝපාය ලෙස ගොවි තැන වූ අතර ඉරිඟු, බාර්ලි, තිරිඟු ආදි ධන්‍ය වර්ග වගාකර විකිණිම ඉන් ප්‍රධාන විය. මෙතරම් විශාල වැවක් ගමේ පිහිටද්දී කිසිවෙකුත් වැවේ මත්ස්‍යන් ඇල්ලීමක් නොකරන බව දැකීම මට පුදුමයකට හේතු විය. මා වටපිටාව නරඹමින් ගේ පිටුපස වු අඩි පාර දිගේ වැව කරා පියනැඟූ අතර හිරු එළිය හොදින් පොළවට වැටෙද්දීත් වැව වටාවූ තුනී මිහිදුම් පටලය තුරන් වූයේ නැත. ඉවුරේ සිට වැවේ මද දුරක් දක්වා ඉදි කරණ ලද ලී වේදිකාවට නැඟි මා මද දුරක් ඉදිරියට ඇදුනෙමි..





පෙනෙන තෙක්මානය දක්වා විහිදුන කළුපැහැති ජලකඳ මා සිතට බියක් ගෙනදුන්නද මා සිතට දහිරිය ගෙන ලී කණුවක් බදා ජලතලයට එබී බැලුවෙමි. පතුලක් නොපෙනෙන අඳුරු ජලයෙන් පිරි මේ වැව කෙතරම් ගැඹුරදැයි මා නොදනිමි. කුඩා කාලයේ මා ජල ක්‍රීඩාවට ඉතා ප්‍රිය බව අම්මා මට පවසා ඇත. එහෙත් ක්‍රමයෙන් වැඩෙද්දි කුමක් දෝ හේතුවක් නිසා මම විශාල ජල තටාක වල බැසීමට ඉතා බිය වීමි. එය එසේ සිදුවීයේ මා එසේ දියනෑමට ප්‍රථම අවස්ථාවේ මුහුණදුන් අත්භූත සිදුවීමක් නිසාය. එදින මා යහළුවන් හා විනෝදය සඳහා නිවස අසළ පිහිටි කුඩා විලකට නෑමට ගියෙමි. සියල්ලන්ම වතුරට බැස කෙළිදලෙන් සිටියදී මා මදක් ඈතට ගොස් දිය යටට පිහිනා ගියෙමි. එසේ ගොස් මොහොතක් ගතවූ තැන දහස් සංඛ්‍යාත ජීවින් මා වටා රොක්ව මාගේ කණට යම් යම් දේවල් කොඳුරන්නාක් වැනි හැඟීමක් මා හට ඇති වන්නට විය. එමෙන්ම පියවි දෑසින් මට බොඳවීමකින් තොරව ඉතා පැහැදිලිව ජලය යට වූ දර්ශන දැකීමට පිළිවන් විය. බියෙන් හැකිළි ගිය මා නැවත දිය උඩට පැමිණියේ මට කුමක් වන්නේදැයි සිතා ගත නොහැකිවය. ජලතලය උඩට ආ වහාම පෙර ඇසුණු කෙඳිරිලි වැනි රහස් මට නෑසි ගියේය. මෙසේ ස්වභාවික ජලය පිහිටි සෑම තැනකදීම මාහට මෙම අත්දැකිම නොකඩවා විඳවන්නට වූ බැවින් මා ජලාශයන් වල දිය නෑම අතහැර දැමුවෙමි. එහෙත් එම සිදුවීම් වලින් ඇති වූ කම්පනයෙන් වතුර මලක් යට හිඳ වුවද මට දෑස් වසා ස්නානය කල නොහැකි විය. දෑස් වැසුණු වහාම මා විශාල ගැඹුරු ජලතලයක් පතුලේ සිටින අයුරුද කිසියම් පිරිසක් විසින් මාගේ දෙසවන් අද්දර කොඳුරන ආකාරයටද මට මැවි පෙනෙන්නට විය. මේ ගැන කිසිදිනක මා අම්මා හට නොපැවසුවේ ඇය කලබල වි මා වෛද්‍යවරයෙකු හමුවට මා කැඳවා යතැයි මා සිතු බැවිනි..


අදින් පසු කාලාන්තරයකට මාගේ දිවිය මෙහිම ගෙවෙනු ඇත. එබැවින් මාගේ බිය කෙසේ හෝ තුරන් කර ගත යුතු බව මාගේ සිත තරයේ මා හට බල කරමින් පැවසුවේය. එමෙන්ම මෙම සිදුවීම් අවසන් වරට මා අත්දුටුවේ බොහෝ කාලයකට පෙර බැවින් දැන් එම අපහුතාවය මා කෙරෙන් තුරන්වද තිබිය හැක. ඉඳින් බිය විය යුතු නොවේ. අනික මා දැන් කුඩා ළැදරියක හෝ නව යෞවනියකද නොවේ. සිත දැඩි කර ගත් මා ලී වේදීකාවේ කණුවකට බරවී එහි කෙළවරෙහි හිඳගෙන මාගේ දෙපා වතුරට වැටෙන සේ දිගහැරිමි.


ඉතා ශීතල වුවද සුවදායි හැඟිමක් දෙපා දිගේ විත් මාගේ හදවත වෙලාගන්නා සෙයක් මා අත්දුටු අතර එම සුවයට මා දෙනෙත් ඉබේ පියවි ගියේය. මාගේ හිසද ලී කණුවට බරවී ගියේය. දෙනෙත් වැසී තිබූ නිසාවෙන් දෝ පරිසරයේ විසින් නඟන සෑම කුඩා ශබ්දයක්ම මට ඇසන්නට විය. මද සුළඟ, තුරු මුදුන් එකිනෙක ගැටෙන හඬ, කුරුල්ලන්ගේ සොඳුරු ගි කියවිලි, ජලතලයේ නැඟෙන රැළි හඬ, ඒ අතරින් එක්වරම නැවතත් ඒ රහස්  කෙඳිරිලි හඬ. ඈත සිට ජීවින් සමූහයක් විවිධාකාර දේ පවසමින් නඟන රහස් කෙඳිරිලි, කෙමෙන් කෙමෙන් එය මා කරා ලංවන බව මට දැනුනි.. දෙපා ගල්වී හුස්ම වේගවත් වූ නමුදු මාගේ අතපය සොළවා ගත නොහී තැන මට සිදුවූයේ එම හඬ මා කරා ලංවන අයුරු අත්විඳීමට පමණි.


“ඇකේෂියා!“.. ඇඟ කිළිපොලා යන්නට වූයේ කණ අද්දරින්ම වාගෙ ඇසුන එම ආමන්ත්‍රණය නිසාය. දෑස් හැර බැලුවද කිසිවෙකු මා අසළ නොවූ අතර එම හඬ සුළඟ හා මුසුව ආ හඬක් බව මට ප්‍රත්‍යක්ශ විය. සැබවින්ම ඒ හඬ පැමිනියේ වා තලයෙන් නොව ගැඹුරු ජල තලයෙන් බව මට පසක් වීමට ටික මොහොතක් ගත විනි.. මා දෙපා එළෙසම වතුරේ තිබියදී එබි ජලය තුලට බැලීමි.. කළු පැහැ ජලයේ මා හට කිසිවක් නොපෙනුනනද ඒ තුලින් නැඟෙන හඬවල් මා දෙසවන් අද්දර රැව්පිළි රැව් දෙමින් ඇසේ. කිසිවෙකු මා ජලය තුලට ඇඳගැනීමට හෝ කැඳවාගැනීමට මෙන් කෙරෙන මේ ආමන්ත්‍රණයන්ගේ උච්චාරණයන් පැහැදිලි නොවුනද ඒවායේ අර්ථය මට හොඳින් පැහැදිලි විය.. දහසක් නෙතු ජලය තුල සිට මා නිරීක්ක්ෂනය කරන්නාක් වැනි හැඟීමකින් මා කිලිපොලා ගියෙමි.. ඒවායින් ඇතිවූ ආකර්ෂනයකින් දෝ මා ජල තලට තව තවත් එබෙන්නට වූ අතර තව මොහොතක් ගත වූවොත් මා වතුරට වැටෙන තරමට මා ඒ කරා ඇඳී යන්නට වීමි..


“ඇකේෂියා“….


එක්වරම මා ඒ ආකර්ශනයෙන් මිදි ලී වේදිකාවේ මැද්දට විසිවී ගියේ අම්මාගේ කැගැසිමෙනි. බියපත්ව හා දහඩියෙන් පෙඟී ගිය වෙව්ලන මාගේ සිරුර වාරු කරගත් අම්මා මා ලී වේදිකාවෙන් ඉවුර කරා මා වත්තම් කරගෙන යන්නට වූවාය.


හැරී බැලූ මාහට දැකිය හැකි වූයේ ජලතලයේ රැළි නැඟී කැළඹුමක් ඇති වී ආකාරය හා සීයා විමසිලිවත් දෑසින් ඒ දෙස බලා සිටින අයුරුය.

Friday, February 11, 2011

සිහින සිතුවමක් ! නිමි...8

 ඇකේෂියා සිහින සිතුවමක් හාත්පසින්ම ගොම්මන් අඳුර වෑහෙන්නට පටන්ගෙන ඇත. වැව් තාවුල්ල නිශ්චල වී ඇත. මාගේ කඳුළුද වියලී ‍බොහෝ වේලා ගතවී තිබුනි. එහෙත් මට ඒ තුරුලෙන් මිදෙන්නට සිත්නැත. මා තුරුල් කරගත් වනම ඔහු මීට බොහෝ වෙලාවක පෙර අවසන් වූ ගීතයකට තවමත් නැළවෙමින් සිටී. එසේ සිටියදීම ඔහු ඒ දෑත් වලින් මා ලිහිල් කර මාගේ බාහූන් දිගේ ගෙල පාමුලට ගෙනැවිත් ඒ දෙඅත්ල මගේ ‍හිසකෙස් තුලින් යවා මුළු මුහුණම ඒ දෝතට සිර කර ගත්තේය. දෑස් ඔසවා ඒ මුහුණ දෙස බැලූ මට මෙතෙක් මා ආදරය කළ සඳ තරු අතහැර දැමීමට කාලය සපැමිණි වග සිහිවිණි. මින් මතු මා සිත් අහසේ පායන එකම සඳ දැන් මා ඉදරියේ දිදුලමින් සිටී. මා සිත් අහ‍සෙන් බැස නොයන තරු කැට දෙකක් දැනටමත් මා හිස ඉහලින් බැබලෙමින් සිටී. ඒ තරු යුවල මදින් මද මා හට ළං වෙමින් පවතී. උණුසුම් වේගවත් සුසුම් රුළි මා වතේ ගැටී විසිරී ගත පුරා ගමන් කරන සෙයකි. ඒ උණුහුමට මෙතක් කල් නිදා සිටි යම් නුහුරු හැඟීමක් අවධි වෙන ආකාරය මට වැටහෙයි. ඔහුගේ අතැඟිලි මා පැන දුවතියි බියෙන් මෙන් මාගේ ගෙල හා දෙකන්පෙති සිර කරමින් විහිදී ඇත. තවත් ඒ තරු කැට බබලන දීප්තිය මට බලා සිටිය නොහැක. මම දෙනෙත් වසා ගතිමි. දෙතොල් පෙති වේගයෙන් සලිත වීම මට නවත්වාගත නොහැකිය.
එක් මොහොතකදී මුළු‍ ලෝකයම නතරවූවා සේ මට දැනුනි. රළු සොඳුරුතමයෙකුගේ දෙතොල් හා මාදෙතොල් උනුන් හඳුනාගනා ගැනීමට යෙදෙන උත්සහයෙන් අප වල්මත් වී ගියෙමු. සංසාර පුරුද්දකට මෙන්ම ඒ පහසට නතු වීමට මා දෙතොල් එක නිමේශයකුඳු පමා වූයේ නැත. පිටතින් නොපෙනෙනා අපූර්ව බන්ධනයක් ඒ හදවතෙන් පැන නැගී එකට යාවී තිබුනු තොල් පෙති හරහා විත් මාගේ හදවතට බද්ධ වන අපූරුව මා දෙනෙත් වසා ගෙනම අත්වින්‍ෙඳමි. තව දුරටත් අප අතර සිරුරු දෙකත් නොමැති විය. වෙනස් සිරුරු දෙකක සැඟව සිටි ආත්මයන් දෙකක් උනුන් හුවමාරු වෙන අපූරුව මට දැනේ. අප අතර අංශුවක හෝ පරතරයක් තිබුනි නම් එයද සුන්නද්ධූලි වී යාමට මා‍ගේ දෑතම ඔහුගේ බඳ වටා යවා ඔහුව දැඩිව සිර කරගතිමි.
එයින් පසුවදා අප දෙදෙනාට වූ ලබැඳියන් කිහිප දෙනෙකුගේ ආශිර්වාදය මැද සදා අපගේම වී ජීවත් වීමට සහතික වූයෙමු. මා ඔහුගේ සෙවනේ සිටි ඒ පුංචි නිවහන කරා අප හැරලූ සියළු දෙනා ආදරවන්තයින්ට හුදකලාව කොයි තරම් නම් ආශිර්වාදයක් දැයි වටහා ගත් කල මෙන් අප හැරදහා යන්නට ගියහ. නිවසේ දොරකඩ දී හැරී ඔහු මාවෙත පෑ සිනාව මා ජීවත්ව හිඳින තාක් කල් මගේ මතකයෙන් නොගිලිහෙනු ඇත. මා අත ගෙන සාලයටද ඉන් ඔහුගේ කුටියේ දොරටුව අසලටද පිය මැන්න ඔහු කාමරෙයේ දොරටුව හරින ලදී. පුරා අටමසක් තිස්සේ මේ නිවසේ මා විසුවද කෙදිනකවත් පය නොගැහූ ඒ කුටියට මම ඇතුළු වීමි. සියල්ල සැළසුම් කරන්නට ඔහුට කාලය ලැබුනේ කොයි වෙලේදැයි මා නොදනිමි. කෘතීම එළි වෙනුවට එහි වූයේ ඉටිපහන් වලින් විහිදුන සෞම්‍ය එළියයි. ආදරයේ සංකේතය වූ රතු රෝසමල් වලින් කාමරය සුවඳවත් විය.සියල්ල පෙරදා මෙන්මය. අඩුවකට තිබූ ආදරණීය සංගීතයද දුරස්ථ පාලකයකින් අවධි වී රුව් දෙන්නට විය.
Tonight I celebrate my love for you
It seems the natural thing to do
Tonight no one's gonna find us
We'll leave the world behind us
When I make love to you
Tonight I celebrate my love for you
And hope that deep inside you'll feel it too
Tonight our spirits will be climbing
To a sky filled up with diamonds
When I make love to you, tonight 
පෙරදා ඔහුගේ උණුසුම් හාදුවෙන් පණගැසූ යම් නාදුනන හැඟීමක් තවමත් මා ගත වටා දැවටෙමින් සන්තර්පනය නොවූ යමක් ඉල්ලා කැමොර දෙන්නට පටන් ගන්නා සෙයකි. එය ඔහුටද එසේම බව ඔහු මාවෙතට ළංවූ අයුරින් මා දැනගතිමි. තව දුරටත් මා බිය විය යුත්තේ කුමකටද? ඔහු දැන් මාගේය. ඉතිරිව ඇත්තේ මා ඔහු සතු වීම පමණි. මා සිර කර ගැනීමට මාන බලමින් සිටි දෑගිලි කිහිපයක් සැනෙන් මා වෙත ලං විය. මෙතෙක් ඔහුගේ පමණක් බර දැරූ මේ යහනට අද මාද බරක් විය. ඒ රළු දෑතට බියවූ මාගේ දුහුල් සළු පිළි තව දුරටත් ඔවුන්ගේ වගකීම අමතක කර දමා මා හැර යන්නට විය. දෙනෙත් වසාගෙන මේ සොඳුරු  අරුමැසිය සිතින් හා ගතින් දෙකෙන්ම විඳ ගනිමින් සිටියදී මාගේ සළු පිළි පැහැර හැරූ ඒ වගකීම ඉටු කිරීම ඔහුගේ උණුසුම් සිරුර භාරගත්තේය.. විටෙක කොපුල් වලද විටෙක දෙතොලේද විටෙක ගෙලහිද විටක ලැමැදින්ද  දිව යන ඒ දෙතොලේ තෙතමනය උසුලාගත නොහැකිව මගේ මුවින් අරුත් සුන්වු වදන් හා කෙඳිරිලි ගිලිහෙන්නය විය..


ඇකේෂියා සිහින සිතුවමක් නිමිTonight I celebrate my love for you
And that midnight sun is gonna come shining through
Tonight there'll be no distance between us
What I want most to do, is to get close to you
Tonight
Tonight I celebrate my love for you
And soon this old world will seem brand new
Tonight we will both discover how friends turn into lovers
When I make love to you



ඒ ඇසෙන්නේ මාගේ හිස ඇතුලින්ද නැතහොත් කාමරයේ වූ ගීත වාදන යන්ත්‍රයෙන් දැයි මම නොදනිමි.. ඒ දිගු කෙහෙරැළි අතර මාගේ ඇඟිලි තුඩු ඇඳී යද්දී දහදියෙන් තෙත් වී ගිය කෙස් ඇඟිලි අතරේ පැටලී යන්නට විට. මාගේ මුහුණේ හැඟීම් කියවන්නට මෙන් ඔහු මඳ වෙලාවක් දෙනෙත් එක එල්ලේ බලා සිටියේය. ඒ නලල් තලය දිගේ ගලා ආ දහඩිය බිඳක් මාගේ මුහුණට වැටුනි. කාලය සෙමින් ගෙවෙනවාද නැතහොත් වේගයෙන් ගෙවෙනවාද යන්න මට නොවැටහේ. මා සිටින්නේ සිහිනයකද සැබෑ ලෝකයේ දැයි මම නොතකමි. ඔහු මාගේ ආත්මයේ ආභ්‍යන්තරයකට කිඳා බසිමින් ආදරයේ හා අනුරාගයේ ගැළපීම මට කියා දෙමින් සිටී. වෙහෙස දැනුනද එය නොතකා මාද ඒ රිද්මයට සම වැදුනෙමි.
සඳ නැගී බැස යන්නට ඇත. හිරු සයුර පතුලේ සැතපෙන්නට ඇත. දහසක් තරු දිලී නිවී යන්නට ඇත. සිත තුල දහසක් සමනළයින් උපත ලබා පියඹා යන ආකාරයේ සිතුවිල්ලකින් මා පෙළෙන්නට වීමි. පියවි සිහියට වන් මොහොතක මා මතට කඩා වැටුනු ඔහු මාගේ ගෙලේ ඒ මුහුණ හොවා ගත්තේ නැවතත් මා කොපුල් තලයන් සිපගනිමින්. කවදාවත් ළංකර ගත නොහැකි යැයි මා සිතූ වස්තුවක් දැන් මා ලමැදේ නිදි සුව විඳිමින් පසුවේ. අපරිමිත වූ ආදරයකින් මා ඒ හිසකෙස් අතර සිරුවට ඇඟිලි තුඩු ගමන් කෙරෙව්වෙමි. දිවි ඇති තාක් ඔහුට මේ අයුරින්ම බිඳක්වත් අඩු නොකර ආදරය කරන බවට මා සිතින් මටම දිව්රුම් දුනිමි. ආදරයේ සොඳුරු ඇඳුරා වූ ඔහුව මහත් වූ ස්නේහයෙන් වැළඳගත් මා දෙනෙත් පියා ගත්තේ හෙටින් පසු ජීවිතය ගැන සිහින දැකීමේ බලාපොරොත්තු වෙනි.
නිමි………….. !

Thursday, February 10, 2011

සිහින සිතුවමක් ! සෙනෙහසින්..7

ඇකේෂියා සිහින සිකුවමක් සෙනෙ‍හසින් වැව් තාවුල්ල පිසගෙන එන මඳ නළට රිසිසේ මා මුහුණ සිප ගන්නට ඉඩහැර මා දෑස් වසා ගෙන මොහොතක් ගත කලෙමි. ඔහු ලී පාලම දිගේ මාවෙතට ඇවිද එන ශබ්දයට මම දෑස් හැර ඔහු එන මඟ බැලුවෙමි. ඔහුගේ එක අතක බොක්ස් ගිටාරයද අනෙක් අතෙහි තරමක් විශාල කූඩයක්ද විය. ඉන්පසු මොහු සැරසෙන්නේ කුමකටදැයි සිතා ගත නොහැකිව මම ලී වැටට පිටදී සිටගෙනම ඔහු කරනා දේ බලා සිටියෙමි. ලී වේදිකාවට පැමිණි ඔහු මුලින්ම කූඩයෙන් ගණකමැති බ්ලැන්කට්ටුවක් ගෙන බිම ඇතිරීය, පසුව කූඩයෙන් ඉවත‍ට ගන්නා ලද ෂැම්පේන් බෝතලය හා වීදුරු දෙක ඒ මත තැන්පත් විය. පසුව ඉවතට පැමිණියේ උසැති ඉටිපන්දම් රදවනයකි, ඒ මත ඔහු විසින්ම ඉටිපන්දම් සවි කර ඒවා දල්වන ලදී.. හමා එන සුළ‍‍‍ෙඟෙන් ඉටිපන්දම් දැල්ල බේරීමට ඔහු දරන තැත දුටු මට සිනා නැඟිනි. අවසානයේ කූඩයේ පැත්තකට කර පරිස්සමෙන් සඟවා තිබූ කුඩා රතු රෝස මල් පොකුරක් බ්ලැන්කට්ටුවේ කොනක ලැගුම් ගත්තේය. ඒ සියල්ල සකසා අවසානයේ ඔහු එක අතක් පිටු පසට බැඳ එක අතක් මා සිටි ඉසව්වේ සිට බ්ලැන්කට්ටුවට දිග හැර මට එහි හිඳ ගැනීමට අභිරූපනයෙන් ආරාධනා කලේය. ඔහු මෙසේ සැහැල්ලුවෙන් හා දඟකාරි ලෙස හැසිරෙනු දුටු මුල් වතාව බැවින් මටද ඒ හැඟීම මදක් කාන්දු වී තිබෙන්නට ඇත. ගවුම් කොන් දෙකෙන් අල්ලා එක් පයක් පිටු පසට නවා හිස පහත් කල මමද අභිරූපනයෙන්ම ඒ ආරාධනාව පිළිගෙන අතුරනයේ මතට ගොස් හිඳ ගතිමි. අප දෙදෙනාගේ ක්‍රියාවන් අපටම සිනා ඇති කල හෙයින් අප මහ හඬින් සිනාසෙන්නට වීමු. 

“ ඇකේෂි ! ” සිනහව නවතා බොහෝ වෙලාවක් ගතවීද මා තවමත් ඔහු දෙස බලා සිටින බව මට වැටහුනේ ඔහු හදිසියේම එසේ මා ඇමතූ හෙයිනි.  “ම්ම්ම්ම්ම්” මගේ හඬ බර වැඩි වූවාදෝ මට සිතෙයි…
“ මෙහෙම හිනා වෙලා ගොඩාක් කල් , ”මා එය දනිමි.  “අද මම ඔයාව මෙතනට එක්කගෙන ආවේ ඇයි දන්නවද?” මගේ ඉරණම අමුතුමු දෙයක් කිරීමට අරඅඳින බව මට වැටහේ, එහෙත් එය පිළිගන්නට මම බිය වීමි. මතක ඇති කාලෙක පටන් මා දන්නේ බිය, දුක, සැකය පමනී. මේ මා විඳින අලුත් අත්දෑකීම් වලට මා ලෝභ වී අවසන්ය. එහෙත් දෝතින්ම එය බදා වැළඳ ගැනීමට මම පසුබාමි.. එහෙයින් මා කිසිත් නොදන්නා බව ඇඟවීමට මම හිස සැලුවෙමි. 

“ කියන්න කතාවක් තියෙනවා, ඒත් අහන් ඉන්න ඔයාට බෝරිං වෙයිද දන්නෑ” ඔය දෙතොල් දොඩමලු වෙනවා දැකීමට මා කොතරම් ආසාද කියා දන්නේ මා පමණි… “ඉස්සෙල්ලා මම මං ගැන කියලා ඉන්නම්, මගේ නම කෙවින්, වයස 29 යි, රස්සාවක් නම් නෑ, විනෝදාංශය මියුසික් කම්පෝසින්ග්, ස්පෙෂලි අන්මැරීඩ්” “තනියම ජීවත් වෙන්නේ, හේතුව දැනට මට කියලා මේ ලෝකෙ කවුරුත් නැති එක! ” එතෙක් ඒ දෙතොල් සෙලවෙන ආකාරය බලා සිටි මා ගැස්සී ඔහුගේ දෙනෙත් වලට එබුනෙමි. මාගේ මුහුණේ වූ ප්‍රශ්නාර්තය වටහා ගත් බැවින් දෝ ඔහු….“නෑ නෑ නෑ, අනාථයෙක් නෙමේ, මගේ පේරන්ට්ලා සෙපරේට් වෙලා ඉන්නේ, අම්මා ඇමරිකා වල, තාත්තා ලංකාවේ, කොහේ ඉන්නවද දන්නෑ. ඒත් එයාලා එයාලගෙම ලෝකයක් හදා ගත්තා කියලා මම දන්නවා. මම පවුලේ එකම ළමයා. අවුරුදු 24 ඉඳලම තනියම ජීවත් වෙන්න පටන් ගත්තේ.. අම්මා කරපු වැඩේ නිසා ගෑණු එපා වෙලා හිටියේ.. ඔහොම ජීවිතේ ගලාගෙන යනකොට තමයි දවසක් චූටි ගෑණු ළමයෙක් ඇවිත් තව ටිකෙන් මගේ වාහනේට යට වෙන්න ගියේ..” මම ලැජ්ජාවෙන් බිම බලාගෙන බ්ලැන්කට්ටුවේ කොනක් නියපොත්තෙන් සූරන්නට වූයෙමි. “ එයා මට එයාගේ කතාව එදා රෑම කිව්වා.. දෙයියෝ මං වගේම කෙනෙක්ව මටම ගෙනත් දුන්නේ ඇයි කියලා මම හිතුවා ගොඩාක්, එයත් මං වගේ අම්මා තාත්තාගේ ආදරේ විඳගන්න බැරිව දුක් විඳින හැටි මට දැනුනා. කවදාවත් නැතිව මට ඒ ගෑණු ළමයා ගැන විතරක් විශ්වාසයක් ඇති උනා. ඉතින් මම එයාට මගේ ගෙදර නතර වෙන්න ඉඩ දුන්නා. මම පහුවදාම එයා කියපු දේවල් ඔස්සේ ගිහින් ඒ කියපු දේවල් වල ඇත්ත නැත්ත හොයලා බැලුවා. ඒ බැලුවම ඒ පුංචි ගෑණු ළමයා බොරු කාරියෙක් නෙවෙයි කියලා දැන ගත්තා.. ඔයා දන්නවද වැඩක් ! ඔයාගේ අම්මා දන්නවා ඔයා ඉන්නේ මාත් එක්ක කියලා..”  මට අදහාගත නොහැකි විය. මා ගෙදරින් පිටවි මාස ගානක් ගත වුවද මා නොසොයා අතහැර දැමූ අම්මා පිළිබඳ මම මහත් ශෝකයෙන් සිටියෙමි. එහෙත් මොහු පවසන අයුරින් නම් ඇය මා සිටින්නේ කොහෙදැයි දනී. ඒ දැන දැනද ඇය මා බලන්නට එක වරක් වත් නාවේ මන්ද? “ මම තමයි අම්මට කිව්වේ ටික කලක් ඔයාට පාඩුවේ ඉන්න අරින්න කියලා, අම්මා ගැන තරහා ගන්න එපා හො‍ෙඳේ ” ඒ ගමන ඔහු මගේ සිත කියවන්නටද ඉගෙන ගෙන ඇති සෙයකි.. “ ඉතින් ඔහොම ඉන්න කොට මට තේරුනා ඇකේෂි, මගේ ජීවිතේ අඩුවක් වෙලා හිස් වෙලා තිබුන කොහේ හරි තැනක් මේ චූටි කෙල්ල හරිම ලස්සනට පුරවාගෙන එනවා කියලා” මුහුණට ලේ උනා දෙකන් පෙති රතු වී යන්නට ඇත. හදගැස්ම වේගවත් වී ලේ නහරයක් පුපුරා යතැයි මට බිය සිතුනි. “ ඉන්නම බැරි තැන මම ඊයේ ගිහින් එයාගේ අම්මව හම්බවෙලා මගේ කතාව කිව්වා, එතකොට අම්මා කිව්වා ……” කතාව නිම නොකරම ඔහු ෂැම්පේන් බෝතලය විවෘත කර එය වීදුරු දෙකට වත්කලේය. මම තවමත් ඔහු දෙස දෑස් දල්වා බලා සිටිමි. මට අවශ්‍ය ෂැම්පේන් නොව අම්මා දුන් පිළිතුරයි..

“කතා කරලා මහන්සි ඇකේෂි ! ආ මේක බොන්න..” දැන් නම් සිතේ තිබුන සියළු හැගීම් යටපත් වී සියුම් කෝපයක්ද ජනිත වේ.. වීදුරුව ඔහු අතින් ගෙන දෙතොල් මත තමා එය පානය කරන අයුරින් මා රංගනයක යෙදුනෙමි. “ඇකේෂි ! සින්දුවක් අහමුද?” කළහැකි අන් දෙයක් නැති නිසාවෙන් එයටද මා හිස සැලුවෙමි.. බොක්ස් ගිටාරය හිඳගෙන සිටි ඉරියව්වෙන්ම උකුලට ගත් ඔහු එහි තත් අතර රඳවා තිබූ පිකය ගෙන වාදනය ඇරඹුවේය. මුල් තනුව වයද්දීම මා එය හඳුනා ගතිමි. එය මා ප්‍රියතම පැරණි ගායක බ්‍රයන් ඇඩම්ස් ගේ ගීතයකි..
To really love a woman
to understand her
you’ve got to know what deep inside
hear every thought see every dream
and give her wings when she wants to fly
and when you find yourself lying helpless in her arms
You know you really love a woman


යමක් සිහි වූවා සේ වාදනය නතර කල ඔහු ඩෙනිම් පොකට්ටුවේ වූ ඔහුගේ ජංගම දුරකතනය ගෙන මොහොතකට පසු ඔහු ගයමින් සිටි ගීතයම එයින් වාදනය කර වන්නට විට. නැඟිට මා වෙත ආ ඔහු මා  වෙත ඔහුගේ සුරත පෑවේය. කිසි වක් සිතා ගත නොහැකිව ඒ සුරත වෙත මා අත්ල ළං කල සැනින් මා ඔසවා ඔහුගේ සිරුරට ලං කරගත් ඔහු එක් අතක් මා බඳ වටා යවා මා ඔහු වෙතට තද කර ගත්තේය.. මට වඩා බෙහෙවින් උස් වූ නිසාවෙන් ඔහු දෙස බැලීමට මට මාගේ හිස සම්පූර්ණයෙන්ම උඩුබැලිව හරවන්නට විය. අනික් අතින් මාගේ අත්ල වටා යවා ගත් හේ වාදනය වන ගීතයේ තාලයට මාහා බාල් නර්තනයේ යෙදෙන්නට විය. කිසිවක් සිතා ගත නොහැකි වූ මා බෙහෙවින් කලබල වන්නට ඇත. එහෙත් ඔහු ඒ බැල්මෙන්ම මා දමනය කර ගත්තේය. තව දුරටත් මගේ සිරුර මාගේ පාලනයෙන් මිදි පිහාටුවක් මෙන් ඔහුගේ රිද්මය හා පාව යන්නට විය.. මොහොතක් මට මා අමතක විනි. වාදනය වන ගීතයේම වදන් මගේ දෙසවන් අද්දර මුමුණමින් ඔහු මා වෙනත් ලෝකයකට කැඳවාගෙන යන්නට විය.
when you can see your unborn children in her eyes
You know you really love a woman
එය එම ගීතයේ මා ඉතාමත් ප්‍රිය කරන කොටසකී. ඔබ ඔබේ නූපන් දරුවන් ඇයගේ දෑසෙන් දකින විටදී ඔබ සැබවින්ම ඇයට ආදරය කරන බව ඔබට වැටහෙනු ඇත. ඒ කොටසේ දී ඔහු ගායනා කලේ නැත. මා දෙස බලාගෙන සිටියා පමණි. එක් වරම ඔහු මාගේ කන්පෙත්ත ළඟටම දෙතොල් ලං කර “ Acaci , I think I can see them in your eyes!” යැයි පැවසීය. සිතේ උතුරා ගලා ගිය ඒ හැඟීමට තව දුරටත් වැට කඩොලු බැඳ තමා ගත නොහී තැන එය පුපුරා කඳුළු වී මාගේ දෑසෙන් රූරා වැටෙන්නට විය.. දරා ගත නොහැකි තරම උමතු වී යාමට ආසන්න යැයි සිතුන නිසාදෝ මම මාගේ හිස ඒ පුළුල් ලමැදේ සඟවා ගෙන මගේ කඳුළු ඔහේ ගලා යෑමට ඉඩ දුනිමි…….

Wednesday, February 9, 2011

සිහින සිතුවමක් ! 6

සිහින සිතුවමක්.. අළුයම තෙක් නිදි වැරූ නිසාවෙන් පාන්දර මට හොඳින් නින්ද ගොස් තිබුනි. මා ඇහැරෙද්දී එවිටත් ඔහු නිවසින් පිටවී ගොසිනි. ඔහුගේ උදෑසන තේ කෝප්පටය අතපසු කිරීම ගැන මට මා සමඟම තරහක් ඇති විය. සුපුරුදු පරිද දවසසෙන් භාගයක්ම වාගේ නිවසේ වැඩ කටයුතු වලට ගෙවී ගියෙන් හවස් යාමයේ ස්නායෙන් අනතුරුව ඔහු ගෙනදුන් පටි සහිත ගවුමක් තෝරා ගතිමි. සුදුපසුබිමේ රෝස පැහැති මල් වැටුනු ගවුම ඔහුට හොඳ තේරීම් කල හැකි බවට සාක්ෂියකි. පටි ගවුම් හැඳ නුපුරුදු නිසාම මා ඊට උඩින් රෝස පැහැතිම ස්වෙටරය දමා ගිතිමි. එසේ ඇඳුම් අඳිමින් සිටින මොහොතේ කාරයක් මිදුලේ නවත්වන ශබ්දය නිසාවෙන් මම විමසිල්ලෙන් දොරටුව වෙත පියමැන්නෙමි.. ඒ ඔහුමය. වෙනදාට වඩා වේලාසැනින් ඔහු පැමිණියේ කිමද යන ප්‍රශ්නාර්ථය සිතේ රුවාගෙනම මම මිදුල තෙක් ඇවිද ආමි. කාරයෙන් බැස පිටුපස දොර හැර යම් කිසි බෑගයක් ගනිමින් සිටි ඔහු මා දුටු වනම ඒ ඉරියව්වෙන්ම මා ‍දෙසම බලා ඉන්නට විය. මහත් වූ විලියකින් මා ඇඹරී ගියෙමි.
ගිටාරයත් ගමන් මළුත් දෝතින්ම ගෙන මවෙත ආ ඔහු මට සිනහවක් පෑවේය . “ඇකේෂි , හොඳ ළමයා වගේ කා එක ටිකක් වොෂ්කරලා දානවද ?”  ජීවිත කාලයටම නොකළ වැඩයකි. එහෙත් ඔහුට නොහැකියි කීමට දිව නොනැමේ. හිස සලා එය පිළිගත් මා මිදුලට බැස පසෙක ඇති ගරාජයෙන් ඇවැසි දේ ගෙන මාගේ කාර්යයේ නිරත වීමී. මදක් අසීරු වුවද එය විනෝදජනක වැඩකි. සබන් දියරයෙන් බුබුළු නංවමින් පෙණ ඇති කරමින් එය කාර් ‍බ‍‍ෙඳේ තවරමින් මා සිටියදී නිවසේ සිට ඔහු මට ආමන්ත්‍රණය කරන හඬ මට ඇසුණි. වතුර බටයෙන් අත් සෝදාගෙන කරාමයද වසා දමා මම නිවස තුලට දිව ගියෙමි. හවස් යාමයේ උවද නිවස තුල මඳ අඳුරක් පැවති නිසාවෙන් මම සාලයේ විදුලි පහන දැල්වන්නට ගියෙමි. එහෙත් එක වරම සාලය මැදින්……………….
“Happy Birthday to you !
“Happy Birthday to you !
කුඩා ටීපෝව මත දැල්වෙන ඉ‍ටි පන්දම් සහිත කුඩා හුරුබුහුටි කේක් ගෙඩියකි. ඊට පසු පසින් ඔහු බොක්ස් ගිටාරය ඔහු ගයන ගීතයේ තාලයට වාදනය කරමින් මා වෙනුවෙන් උපන්දින ගීතය ගයමින් සිටී..
“Happy Birthday Dear Acaci”
“Happy Birthday to you !
අද මාගේ උපන්දිනට බව සැබැවින්ම මට සිහියක් තිබුනේ නැත. කිමද මෙහි ආදා පටන් මට ගෙවෙන දවස් හෝ දිනයන් ගැන අවබෝධයක් නොතිබූ බැවිනිත දෙනෙතට කඳුළු ඉනීමට එතරම් වෙලාවෙක් නොගියේය. සෙමින් ඔහු වෙතට පැමිණී පසු ඉටිපන්දම් ටික නිවා දමන ලෙස ඔහු මට දෙනෙතින් සංඥා කලේය. පහත් වී ඉටිපන්දම් නිවන විට ම‍ම සිතෙන් එක් ප්‍රාර්ථනාවක් කලෙමි.  අපූරුවට දම්පැහැති රිබන් ඔතා සරසා තිබුනු කුඩා පිහියෙන් කේක් කෑල්ලක් කපා ගත් මම එය ඔහුගේ මුවට ළංකලෙමි.  මගේ දෑතම අල්ලා කේක් කෑල්ලෙන් කොටසක් මුවේ රුවාගෙන ඉතිරි ගෙන නැවතත් මා හට කැවුවේය. නැවතත් කතාබහකින් තොරවම අපි දෙදෙනා මුහුණට මුහුණ බලා සිටියදී කාලය දිව යන්නට විය.  “කොහොමද අද මගේ birthday එක කියලා දැන ගත්තේ ?” මම ඇසුවේ සැබවින් එය වූයේ කෙසේද යන්න දැන ගැනීමේ කුහුලෙනි.
“ එදා වැස්සේ මම ඔයාව උස්සන් ආවෙ. එදා මම ඔයාගේ පොකට් ටික බැලුවා. ඒවගෙ අයිඩෙන්ටිට කාඩ් එක තිබුනා නේ” සැබවින් ඒ කිසිවක් මා නිවසින් ගෙන ආ බවට මට මෙතෙක් සිහි නොවි තිබුනු හැටි. “ඇකේෂි ! තව Surprise එකක තියෙනවා. ඔයා කැමතිද මාත් එක්ක එළියට යන්න ? මෙතෙක් තිබුනේ ඔහු එය අසන පමාව පමණි. ඔහු හා නිවසින් පිට යාමේ ආශාවක් මා සිතේ තිබුනද එය මෙතෙක් ප්‍රකාශ නොකර සිටියේ ඔහුට කරදරයක් වීමට බියෙනි. එහෙත් අද ඔහුම එය යෝජනා කරද්දී එය ප්‍රතික්ෂේප කිරීමට මම සූදානම් නැත. ඉඳින් මා හිස සලා ඔහුගේ ආරාධනාව පිළිගත්තෙමි..
සිහින සිතුවමක්
කාරයට නඟින මොහොතේ මගේ සිතට තටු ලැබුනාක් වැනී හැඟීමකින් මා ඉපිලෙන්නට වීමි. ජනාකීර්ණ ප්‍රදේශ පසු කරමින් මඳින් මද අප නිසන්සල තුරු වදුලු පිරුන ප්‍රදේශයක් කරා ළං වෙමින් සිටියෙමු. මඳකින් ඔහු කාරය පටු අතුරු මාවතකට හරවා ගත්තේය. එයින්ද මද දුරක් ගමන් කළ පසු මා නෙත ගැටුනේ අමුතුම නිවාසයකි.. එය විදෙස් ඌරුවකට තනන ලද ඉතා කුඩා නිවසක් උවද එය වටා වූ උද්‍යානය මදක් පුළුල්ව විහිදුනි. මම පුදුම වූයේ ඔහු නිවසේ දොරටුව වෙත නොව නිවස පසු කර එය පසු පසට ගමන් කල නිසාවෙනි……… 
“මේක මගේ යාළුවෙක්ගේ ගෙදර, එයා මේ දවස් වල ඉන්නේ ඉතාලි වල. යතුර මට භාර දීලා ගිහින් තියෙන්නේ.. Come”. නිවස පිටුපස කොටසට ගිය මට නෙතු අදහා ගැනීමට නොහැකි විය. නිවස පිටුපස වූයේ කුඩා වැව් තාවුල්ලකි. පිටුපස මිදුලේ සිට වැවේ මද දුරක් තෙක් විහිදුනු පාලමකි. එය අවසන් වන තැන හතරුස් හැඩයට සෑදූ වේදීකාවක්ද එයින් වැවට බැසීමට සාදන ලද ලී පඩි වැටකි. උමතු වීමට ආසන්න ආශාවකින් මම ඔහුගෙන් මිදී එම පාලම දිගේ ලී වේදිකාවට දුව ආවෙමි. ලී වැටෙන් වැවට එබී නැවතත් ඔහු දෙස බලන කල ඔහු මිදුලේ සිට කුඩා දියණියක් දෙස බලා සතුටුවෙන පියෙකු සේ දෑත් ලැමදේ බැඳගෙන මා දෙස බලමින් සිනා සෙමින් උන්නේය.

Tuesday, February 8, 2011

සිහින සිතුවමක් ! තවමත් …5

ඇකේෂියා
එදින ඔහුගේ පොත් රාක්කය පිළිවෙලට අසුරමින් සිටියදී මට එහි තිබී ඡායාරෑප ඇල්බමයක් ඇස ගැටුණි. එය සීරුවට ගෙන පසෙක තබා මාගේ කාර්ය අහවර ‍කර ඇල්බමය ගෙන සෝෆාව වෙත ගොස් මා එහි පිටු එකින් එක පෙරළන්නට වීමි. කුඩා කාලයේ පටන් තරුණ වියට පාතබන තෙක් ඡායාරෑප ඇති එම ඇල්බමය ඔහුගේ ජීවිත කතාව ලියා තැබූ පොතක් වැනිය. එය නරඹමින් සිටියදී ඔහුගේ කාරයේ හඬ ඇසුන හෙයින් මා ඇල්බමය සෝෆාව යටට තල්ලු කර දමා දොරටුව වෙත දුව ගියෙමි. මා ඔහුවෙතින් වෙනස්ම සිනහවක් ලද බව මට දිවුරා පැවසිය හැක. සුපුරුදු ලෙසම ගිටාරය මා අතට පත් කල ඔහු ලාවට පෙන් මගේ හිස පිරිමැද ගෙන නිවසට ඇතුළු විය.
“හොඳ නෙස්කැෆේ එකක් බොමුද?” සෝෆාවේ ඇද වැටෙමින් මෙන් පවසද්දී අද ‍ඔහුට වෙහෙසදායි දිනයක් බව මට ඒත්තු ගැන්විනි. හනික මුළුතැන්ගෙට දිවගය මා අප දෙදෙනාටම කිරි‍කෝපි දෙකක් පිළියෙල කර සාලයට පියනැඟුවෙමි. එක කෝප්පයක් ඔහුට පිරිනමා ඒ අභියසම බිම වාඩි වූ මා සීරුවට ඔහුගේ සපත්තුවේ ලේස් ගැටය ලිහන්නට වීමි. මේ කාර්යය කෙරෙන අතර තුරම නෙස්කැෆේ කෝප්පය සිමින් තොලගෑ ඔහුගේ දෙනෙත මවෙතටම යොමු වී තිබෙන බව මා ඇස් කොණින් වාගේ මට පෙනේ. සපත්තු දෙක ඔහුගේ දෙපතුලෙන් ඉවත් කලද ඔහුගේ බැල්ම මගෙන් ඉවත් නොවුනි. එය දරා ගත නොහී තැන මාද එක ‍එල්ලේ ඔහු දෙස බැලුවේ එයින් වත් ඔහු මෙල්ල කිරීමට හැකි වේ දැයි බලන්නටය.
“හැමදාමත් මෙහෙමම ඉන්නද කල්පනාව?”
“ඔයා එලවනකල් !”
“පිස්සී…..” මගේ මුළුඇතුලාන්තයම සලිත කරවන ඒ මද සිනහව….
“ හැමදාම මගේ ට්‍රව්සර්ස් ෂර්ට්ස් අන්දලා තියා ගනී කියලා හිතුවද? ”
දෙවියනි! එසේනම් ඔහු මේ සැරසෙන්නේ මා මේ නිවසින් පිට කිරීමටද? කඳුළු පිරී ගිය දෙනෙත් ඔහුගෙන් සඟවනු වස් මම හිස බිමට නැඹුරු කලෙමි . එහෙත් නෙතට බරවූ කඳුළු කැට දෙකක් බුමුතුරුණ මතට වැටී ක්ෂනිකයෙන් ඒ අතර සැගවී ගියේය. නොසීතු මොහොතක දෝතින්ම මගේ මුහුණ ඒ දෙඅත්ලට ගෙන ඔහු වෙත හරවා ගත්තේය. මුහුණට මුහුණ බලා ගෙවුනු ඒ තප්පර කිහිපයක කාලයට මා සිතෙන් දහස් වර මැරි උපදින්නට ඇත. ඒ උණුසුම් සුසුම් මා මුහුණ පුරා දිව යද්දී සැනෙකින් පැන ඔහුගේ මුහුණ නොනවත්වා සිපගෙන යෑමේ වල්මත් ආශාව මම ඉමහත් ආයාසයකින් යටපත් කර ගතිමි.
“ මගේ ඇඳුම් අඳින්න දෙන්නෑ කියලා කිව්වේ අද ඉඳන්. මේ.. මම ඔයාට ඇඳුම් ගෙනාවා” මගේ මුහුණ දෝතින් මුදාහල ඔහු එතෙක් ඔහු පිටුපස සඟවා සිටි ඇඳුම් බෑගයක් මා වෙතට පෑවේය. හිතේ වූ මහා බරක් නිදහස් වෙද්දී මම එය පිළිගතිමි. “ හා හා දුවන්න, ගිහින් මොනා හරි ඇඳන් එන්න සයිස් ඇතිද බලන්න” ඒ අණට පිටින් යන්නට මම බිය වීමි. ඇඳුම් බෑගයද ගෙන නාන කාමරයට වැදුනු මා ඉතා කුහුලෙන් යුතුව බෑගය අවුස්සන්නට වීමි. රෝස පැහැයෙන් හෝ ඊට සමාන පාටකින් යුතු ඒ ඇඳුම් පොඩි ටික මට මහා වස්තු සම්භාරයක් පහළ වූවා සේ අගේ විය. එකිනෙක ගෙන ඇඟට තබා පරීක්ෂා කිරීමේදි ඒවා මම සාමානයෙන් අඳින ඇඳුම් වලට වඩා මදක් කෙටි බව මට පෙනුනි. එහෙත් ඒ බව ඔහුට පවසන්නේ කෙලෙසකද? කළයුතු දෙයක් නැති බැවින් මම හෙමින් සීරුවේ නැවතත් සාලයට පිය නැඟුවෙමි.
“ කෝ, ඇන්දේ නැද්ද?”
“ ඒවා ටිකක් කොටයි නේ”
ඔහුගේ මුහුණට බැරෑරුම් පෙනුමක් ආරූඪ විය… “ ඉතින් මොකද? මම බලන්නෑ ඔය මොකවත්, අනික ඒ ෂොප් එකේ දිගට තිබුනේ පාටි ‍ෆ්‍රොක්ස් විතරයි.. මම නැති වෙලාවට හරි අඳින්න”
“අනේ…” එවර නම් ඔහුගේ මුහුණ රතුවී වෙනස් වී ගිය අතර වේගයෙන් මවෙතට පැමිණ ඇඳුම් බෑගය උදුරාගෙන මුළුතැන්ගෙට පිය නැගුවේය.
“Fine! Then it all goes to garbage” මෙතරම් නපුරු කමක් මේ සොඳුරු මිනිසාට ඔබින්නේ නැත. මුළු ඇඳුම් බෑගයම කුණු කූඩයට විසි කල ඔහු කාමරයට වැදි දොර වේගයෙන් වසා ගත්තේය. දෙතොල නොපිට පෙරලීගෙන මතුවූ ඉකියක් සමඟ මා හට මහා මූසල හැඟිමක් ඇති විය. හඬමින්ම කුණු කූඩය වෙත ගොස් ඇඳුම් බෑගට ගෙන එතෙක් මා ඇඟලා සිටි ඔහුගේ පිඡාමාව ගලවා ඇඳුම් අතර තිබූ රෝස පැහැති ගවුම හැඳ ගතිමි. දනිස් තරමට කෙටිවූ ගවුම නිසා මට තරමක් අපහසුවක් ඇති වුවද ඔහු වෙනුවෙන් එය පුරුදු වීමට මම ඉ‍ටා ගතිමි. මවිසින් පිසූ ආහාර තවමත් ගෑස් උදුන මතය. අද ඔහු කාමරයෙන් එළියට පැමිණෙන සේයාවක්ද නැත. මද පසුබෑමකින් යුතුව ඔහුගේ කාම‍රයේ දොර වෙත පියනැගූ මා දොරට සෙමෙන් තට්ටු කලෙමි.
Please open the door !, මම ඒවා අඳින්නම්.. මේ බලන්න මම එකක් ඇන්ඳා. Open the door !” ඔහුට මෙතරම් දරදඬු විය හැකි බව මම මෙතෙක් නොදැන සිටි කරුණකි. ඉකිබිඳුම වැඩී වු හෙයින් මා සෝෆාවේ දිගා උනෙමි. අද නින්ද මා කරා නොඑනු ඇත. මහා හිස් හැඟීමකින් යුතුව සුසුම් ලමින් තවත් හෝරාවක් ගත විය. මැදියමට ආසන්න වීමේදී මට ඔහුගේ කාමරයේ දොර හැරෙන ශබ්දය ඇසුනි. වහා අනෙක් පසට හැරී ගුලි වූ මා දෑස් තදින් පියා ගතිමි. පා ගැටෙන හඬ ලංවම ඇසේ. අවසානයේ ඒ හඬ මා අසළටම විත් නැවතුනේය. නිදා සිටින බව ඇඟවීමට මා ගැඹුරින් හා සීරුවට හුස්ම ඉහල පහළ ගත්තෙමි. එහෙත් මාගේ හද ගැස්ම ඔහුට ඇසෙන තරමටම වේගවත්ව ගැහෙන්නට විය. හිමින් සිරු‍වේ ඔහු ළං වෙනු දැනුනෙන් මද චකිතයක් ඇති වූ නිසා මට නැඟී සිටින්නට සිතුනද එකෙනෙහිම වාගේ ඔහු විසින් මා වතට මාගේ බ්ලැන්කට්ටවු අතුරන ලදී. සිරුවට එය මා ගත වටා දැවටු ඔහු පහත් වී මාගේ හිස පිරිමැද ආපසු හැරී යන්නට ගියේය. මහත් සෙනෙහසකින් මගේ සිත උතුරා යන්නට වූ අතර එතෙක් සිතේ රැඳී තිබුනු ශෝකය හිරු දුටු පිණි කඳුලක් මෙන්ම අතුරුදන් වී ගියේය.

Monday, February 7, 2011

සිහින සිතුවමක් ! තවමත් දකිමි…4

25[1]
“But I have some conditions! ” ඔහු කිව්වා ඔබට මතක ඇත. එහෙත් ඊළග මොහොතේ ඔහු ඉදිරිපත් කල ගිවිසුම් වලට මට යටි සිතෙන් සිනා නොවී සිටීමට නොහැකි විය. “විශේෂයෙන්ම මගේ වැඩ වලට ඇඟිලි ගහන්න එපා, ගැහැණු ළමයි වගේ ප්‍රශ්න අහන්න එපා, ගෙදර තියෙන දේවල් වෙනස් කරන්න එපා, මොනම හේතුවකට වත් මගේ කාමරේට යන්න එපා, ඔයාගේ වැඩ ඔයාම කර ගන්න, වැඩිය එළියට යන්න එපා, මට නොකියා කොහෙවත් යන්න එපා, ඔක්කොටම වඩා මම කැමති නෑ වැඩිය කතා කරන මිනිස්සුන්ට, ඒ නිසා වැඩිය කතා එපා !”


“මම මෙහේ ඉන්න කැමතියි !”


එය මාගේ ජීවිතයේ මා ගත් හොඳම තීරණය බව මා එවෙලේ නොදැන සිටියෙමි. ඒ පිළිතුරත් සමඟ මාගේ ජීවිතයේ වසන්තය රහසේම උදාවූ බව මම එවෙලේ නොදැන සිටියෙමි. ඒ මොහෙතේ පටන් මගේ කඳුළු කතාව නිමවූ බව මම නොදැන සිටියෙමි. ඉඳින් මින් මතුවට මා ඔබට පවසන්නේ මාගේ කුඩා දිනපොත් මිතුරා පරිස්සමට රැකගත් මාගේ ඒ සොඳුරු දිවියයි.


මේ නිව‍සේ ඔහුගේ නිදන කාමරය හැර තවත් නිදන කාමර නොමැති විමෙන් මා හට රාත්‍රිය ගත කිරීමට වූයේ මා සැතපී සිටි සුවපහසු සොෆාවේය. නිදන යහනකට වඩා එයට මා ප්‍රිය කලෙමි. දිගු කාලයකට පසු මම සුව නින්දක් ලැබුවෙමි. පසුවදා මා අවදිවන විට යන්තම් හිරු කිරණ පොළවට වැටුනා පමණි. මම සෝෆාවේම වාඩි වී මදක් බලා සිටියේ එක් වරම මා සිටිනා ඉසව්වා හඳුනා ගත නොහැකිවය. සැනෙකින් මා සිතේ මහත් වූ ප්‍රබෝධයක් ඇති වු අතර එකෙනෙහිම නැඟිට ගත් මා ඇඳ සිටි ඔහුගේ පරණ දිගු කමිසයේ අත් නවමින් මුළුතැන්ගෙට පියනැගුවෙමි.

මා කැමති ආහාරයක් පානයක් සාදා ගැනීමට මට තහංචියක් නොමැත. ඔහුට අවශ්‍ය දෑ ඔහු විසින්ම පිළියෙල කර ගනී. කෘතගුණ දැක්වීම ඔහුගේ ඇඳුම් සේදීමට හා ආහාර පිසීමට මා ඉදිරිපත් වුවත් එයටද මට අවසර නොලැබුනි. එකම වහලක් යට නොහඳුනනා පුද්ගලයන් මෙන්න කල් ගෙවූයෙමු. දවසේ මා ප්‍රියතම වරුව වූයේ හවස් යාමයේ ඔහු බොක්ස් ගිටාරය ගෙන ඔහුගේම තනු නිර්මාණය කරන අවස්ථාවයි. එවිට මාද පොත් රාක්කයෙන් තෝරාගත් පොතක් ගෙන සෝෆාව පාමුල හොඳින් ඔහු ඇසගැටෙන සේ හිඳගනිමි. අතැඟිලි පොතේ පිටු පෙරළුවද දෑස ඔහු වෙතින් ඉවත් කර පොතේ පේලි දිගේ යැවීම මහත් අසීරු කටයුත්තකි. අවධාවමක් නැති සෑම මොහොමතක මගේ දෑස ඔහුගේ ගිටාරය වයමින් එය සටහන් කරන ආකාරය රස විඳීමට මට බල කරයි… දිනක් එසේ ඔහු දෙස බලා සිටි මොහොතක හදිසියේම ඔහුගේ දෑස මා දෙස යොමු විය. අවාසනාවකට මගේ දෙනෙත පොත දෙස යොමු කරන්නට මා පමා වූයෙමි. ගිටාරය පසෙක තබා මා දෙසට පිය මනින ඔහු දෙස මම විපක්ෂිතව බලා සිටියෙමි. මගේ හදගැස්ම වේගවත් වනු මට ඇසුනි.

“British Civilization හ්ම්ම්…… මම කවදාවත් මේ පොත කියවලා නෑනේ.. කතාව ලස්සනද? ආ… අනික් පාර පොත කියවද්දි මේ පැත්තට හරවලා කියවන්න OK!”
පොත උඩුබැලි කර මා අතට පත් කල ඔහු නැවත ඔහු සිටි තැනට පිය නැඟීය. මහපොළව දෙබෑකරගොස් කොහේ හෝ මුල්ලක සැඟවෙන්න තරම් මට සිතුනි. එහෙත් ඒ හැඟීම යටපත්ව සියුම් සතුටක් මා සිතේ උද්දීපනය වන අයුරක් මට දැනුනි. එයට හේතුව මා මෙහි සිටි කාලය තුල ඔහු සිනාසෙනු දුටු මුල් වතාව මෙය වීමයි.
තවත් දිනෙක ඔහු ගෙදරින් පිටව සිටි අවස්ථාවක් බලා ඔහුගේ අවසරය නොපතාම මම රාත්‍රී ආහාරය පිළියෙල කරමි. විශිෂ්ඨ කෝකියෙකු නොවුනද යම් පමණකට ආහාර පිසීමේ මා සතු හැකියාව මම උපරිමයෙන් මෙහිදී භාවිතයට ගත්තෙමි. කෑම මේසෙට පිළිවෙලින් සකසා මා ඔහු එනතුරු බලා සිටින්නට වීමි. මැදියම් රැයට ආසන්න වෙමින් තිබියදී ඔහුගේ කාරයේ හඬ සවනත වැකුනු අතර මා ඉදිරිපස දොර දෙසට දිව ගියෙමි. ඒ දෙතොලග මා දුටුවේ සිනහවක් යැයි මාගේ සිත කෑමොර දෙන්නට විය. බොක්ස් ගිටාරය මා අතට දුන් ඔහු කමිසයේ බොත්තම් ලිහිල් කරමින් නිවසට ඇතුලු විය. මාද ඔහු පසු පස ඇදුනේ ඔහුගේ අනවසරයෙන් ආහාර පිසීමට අනිවාරයෙන්ම බැනුම් ඇසීමේ බලාපොරොත්තුවද සිත ඇතුවය.


“ Wow, I was staving !” පොඩි එකෙකු සේ දිවගොස් මේස පුටුවක අසුන් ගත් ඔහු දෙඅත්ල වේගයෙන් පිරිමදිමින් මා දෙස නෙත් හෙළුවේය. බලාපොරොත්තු නොවූ ප්‍රතිචාරය නිසාම මා මදක් ගල් ගැසි ඔහු දෙස බලා ඉන්නට විය. සමහර විට මාගේ මුවද භාගෙට ඇරී පවතින්නට ඇත.


“ Are you not going to serve me?” අද පමණක් නොව අවසර දෙනවා නම් හැකි සෑම දිනෙකම මට එය ඔබ වෙනුවෙන් කළ හැක නුඹ නොදනී……
එදින පටන් මේ නිවස තුල මා හට යම් යම් කාර්යන් කිරීමට ඔහුගෙ අවසරය පැතීම අනවශ්‍ය විය. ආහාර පිසීම්, නිවස පිරිසිදු කිරීම, ඇඳුම් පැළඳුම් සේදීම ඇතුළු නිවස අභ්‍යන්තරයේ බොහෝ ක්‍රියාවන් මා අතින්ම සිදුවන්නට විය. එහෙත් ඒ කෙදිනකවත් ඔහුගේ නිදන කුටියට යෑමට මා පෙළඹුනේ නැත. ඒ වන විට මා මේ නිවසට පයගසා මාස දෙකක් හෝ තුනක් ගතවන්නට ඇත. එනමුදු ඒ කෙටි කාලය තුලදී මා මේ ආගන්තුකයාට බැඳී ‍ගියෙමි. ඔහු වෙනුවෙන් යමක් කල හැකි නම් එය ඉටුකිරීමට මා දෙවරක් නොසිතුවෙමි. මා හට මේ කලාවූ උපකාරයට ඔහුට කෙසේ නම් කෘතගුණ දක්වන්න දැයි මා සෑම විටෙකම විමසිල්ලෙන් සිටියෙමි. කල් යත්ම ඔහුගේ සංගීත සටහන් තබන පැන්සල පවා හොඳින් උල් කර තැබීව වැනි පුංචිම කාර්යක් පවා මා අතින්ම සිදු කිරීමට මා පුරුදු වූයෙමි. සැබවින්ම එය එසේ සිදුවූයේ  ඔහුට කළගුණ සැලකීමකටද නැති නම් ඔහු වෙනුවෙන් ඒක පාර්ශවික ආදරයක් මා සිත තුල දළු ලෑමට පටන් ගැනීමදැයි මම නොදනිමි.  ‍

හිරු නගින තුරුත් ඉන්පසු හිරු බසින තුරු මා හට ඉවසුමක් නැති විය. ඔහු නිවසේ නැති පාළුව මකා ගැනීමට දහවල් තිස්සේ ඔහු ඇඳ පසෙක ලූ කමිසයක් ඇඟ වටා දවටා ගෙන සාලයේ නටන්නට වීමි. ඔහුගේ ලොකු සපත්තු යුගල තුල මාගේ කුඩා දෙපතුල් රුවා නිවස පුරා ඇවිද්දෙමි. එහෙත් කතා බහකින් තොරව උවද ඔහු නිවසේ සිටින විට දැනෙන ඒ හැගීම ගෙන දෙන්නට මේ කිසිඳු ක්‍රියාවක් සමත් වුයේ නැත. දිනෙන් දින ඔහුගේ සිනහව මට තවදුරටත් දුර්ලභ දර්ශනයක් නොවුනි. අප අතර වූ කවදාවක වත් නැති නොවේ යැයි සිතූ පරතරය යන්තම් අඩු වෙමින් පවතින බව මට දැනෙන්නට පටන් ගෙන තිබුනි. එහෙත් උවමනාවට වඩා ඔහුට ලං වීමට හෝ ඔහුගේ ජීවිතය අත පත ගෑමට තරම් තවමත් මම නිර්භීත නොවුනෙමි. එහෙත් ඔහුගේ හුස්ම දැනෙන ඉසව්වේ, ඔහුගේ ආරක්ෂාව යටතේ ගෙවෙන මේ ජීවිතයට මා උපරිමයෙන් ලොබ බැඳීමී.