Showing posts with label ඇරඹුම. Show all posts
Showing posts with label ඇරඹුම. Show all posts

Thursday, September 23, 2010

සිහින දකින්නියගේ විකාර සටහන


ලෝකය එකම විකාරයකි. මට සිතෙන්නේ එහෙමය. රිදි තිරයෙන් පොත් පුවත් පත් වලින් කතන්දරවලින් සුන්දර ලොවක් මවමින් එහෙව් වූ ලෝකයක ජීවිත් වීමට ආසා කරවමින් දිනෙන් දින අප පැතුම් සුනු විසුණු කරමින් අපව කටුක සත්‍යයේ ජිවත් වෙන්නට ඉඩහැර මේ ලෝකය කුරිරු සතුටක් ලබයි. ඉන් සමහරෙක් පමණක් සත්‍ය තේරුම් ගෙන එයින් මිදේ.. සමහරෙක් සත්‍ය නොදැනම නොලැබෙන දේ කෙරෙහි බලාපොරොත්තු පොදි බැදගන ජිවිතය ගෙනයයි.. මා වැනි සමහරෙක් සත්‍ය තේරුම් ගෙනද ඉන් මිදීමට නොහැකිව සැබෑ නොවෙනා සිහින ලෝක වල ජීවත් වේ.
මම සිහින මැවීමට උපන් හපනෙක්මි. නිදා නොනිදා වුවද මට සිහින මැවිය හැක. ශරීර කෘතය නිම කිරීමට ගියද, නානකාමරයේ වතුර මල යටද, බසයක කවුළුවක් ආසන්නයේ අසුනක්ද මට සිහින මැවීමට තෝතැන්නක් විය.කම්මුගේ අත ගසා ගෙන හිස ඇළ කළ සැනින් මගේ කුඩා හිස්ගෙඩිය සිහින වලින් පිරීයයි.
වරෙක මා හුඟ කලක් තිස්සේ නොළඳ මව් උකුලේ සුවෙන් සැතපෙමි. වරෙක මා එඩ්වර්ඩ් කලන්ගේ තුරුලේ ඒ දෙතොල් පහස විඳිමින් සිටිමි. වරෙක මා ස්කූටි පෙප් රියක නැඟි කුරුල්ලෙකුසේ කොල්ලන්ද පරදවමින් මහපාර දිගේ ඇදී යයි..


සිහින නම් එමටය. සැබෑ වුවහොත් පුදුමය. සැබෑ නොවුනත් ඒ සිහින මියයායුතුද?
නැත. මාගේ සිතේ නැඟුන සාමාන්‍ය අසාමාන්‍ය ඒ සිහින බලාපොරොත්තු කිසිවක් මියයාමට මට ඉඩ දිය නොහැක. එහෙත් හැම සිහිනයක්ම එකතු කර මගේ කුඩා හිස් ගෙඩිය පුපුරවා හරින්නට මට උවමනා නැත. එහෙයින් මා දුටු සිහින මම මෙසේ සටහන් කරමි. කවදා හෝ ගූග්ල් සර්වරයට බර වැඩිවී මේ සටහන් දොට්ට දමන තුරු ‍මගේ සිහින මෙහි සැරිසරනු ඇත.
මගේ සිහින කියවන ඔබට සිනා නැගෙනු ඇත. දුක සිතෙනු ඇත. තරහා යනු ඇත. අනුකම්පා සිතෙනු ඇත. තවත් බොහෝදෑ සිතෙනු ඇත. මම වෘත්තීමය ලියන්නෙකු නොවේ.. ඉඳින් මගේ ලියමනෙහි දහසක් වැරදි ඔබට දැකිය හැකි වේවි. මම මගේ වචන කෙරෙහි සැළකිලි මත් නොවෙමි. මගේ ව්‍යාකරණ වල නිවැරදි බව ගැන මට වගක් නැත. උක්ත ආක්‍යාත සම්බන්ධය මට වැඩක් නැත.කරුණාකර මාව නිවැරදි කිරීමට උත්සහ නොගන්න. මේ මමය. අවසානය දක්වා මා මා ලෙසම සිටීමට කැමැත්තෙමි. හැකිනම් පමණක් මා සමඟ මගේ සිහින විඳින්න.