Tuesday, February 1, 2011

සිහින සිතුවමක්! 1

 ‍


ගෙදරින් එළියට බැස්ස මොහොතේ සිතේ වූ ධෛර්ය බිඳකුඳු දැන් මගේ සිතේ නොවෙයි. ජනේලයෙන් පැනීමට පෙර අවසන් වර හැරී මාගේ නිදන කාමරය දෙස බැලු අවස්ථාවේ කුඩා මේස ඔරලෝසුවේ වේලාව 11.15 ලෙස සටහන්ව තිබූ වග මට සිහියට නැඟුණි. එයට අනුව දැන් මා පැයක් පමණ වේලාවක් තිස්සේ මහමඟ ඉබාගාතේ ඇවිදිමින් සිටි. සිහින් පොදක්ව තිබූ වර්ෂාව නොසිතූ මොහොතක මහා වරුසාවක්ව ඇද හැළුනේ විශාල වැහි බින්දු වලින් මගේ මුහුණ රිදවමිනි. තවත් නම් ඇවිදීමට පණක් වත් මින් ඉදිරියට අඟලක් වත් සෙලවීමට සිතේ හයියක් වත් මට නැත. ඈතින් මිනිස් පුළුටක සේයාවක් දුටු ම‍ගේ සිත බියෙන් කීරි ගැසී ගියේය. පන්ති නිමවී යන්තම් විනාඩි පහක් පමා වූවද මා සොයා එන අම්මා අද ඇගේ කෙලි පැටික්ක මහ රෑ වැස්සට අසුවී නාඳුනන මිනිසුන් අතර ගේ අතහැර ඉබාගාතේ ඇවිදිමින් සිටින බව දැනගත හොත් කුමක් වනු ඇත්ද? අනේ අම්මා........ ඉවසා දරා ගත නොහී මගේ සිත වර්ෂාවේ ශබ්දය තරමටම විලාප දෙන්නට විට. වැහි බිඳු තරමටම සුවිසල් කඳුලු කැට ඇසෙන් ගලා විත් වැසි දියටම සෝදා ගෙන යන්නට විය. මහත් වූ අසරණ කමකින් සිත වෙලී ගොස් ඉබේටම මා දෙපා අසල වූ කුඩා බස් නැවතුම් පළට ඇදී ගියේය.


මුල්ලකට වී ගුලී වී මා හිස දණහිස් අතර සඟවා ගත්තේ තව දුරටත් කඳුළු සඟවාගත නොහැකිවය. වර්ෂාවේ ශබ්දය නිසාවෙන් මා‍ගේ ඉකිබිඳුම කිසිවෙකුගේ සවනත නොවැකෙන බව මට විශ්වාසය. නැවත ගෙදර යාමට මට පාර සොයා ගත නොහැකිය. ඉඳින් මා කුමක් කරම්ද? ඉඳ හිටි පාරේ වාහන ගියද ඒවායේ පිහිට පැතීම මේ වෙලාවේ සුදුසු දැයි මා නොදනිමි. මහා අසරණ කමකින් මෙන්ම බියකින් මා සිත වෙලී ගියේය.


එසේ බියෙන් වැළපෙමින් සුසුම් ලමින් මා හෝරා කිහිපයක්ම එම බස් නැවතුමේම ගෙවා දමන්නට ඇත. වර්ෂාව මදකුදු අඩු නොවී තිබුන මා සිටියේ මාගේ ජීවිතයේ දීර්ඝතම රාත්‍රිය ගෙවමිනි.


යන්තම් හිස ඔසවා පාර දෙස බැලූවිට ඈතින් දිප්තිමත් ආලෝකයක සේයාවක් මා දෙනෙතට හසුවිය. ක්ෂනිකයෙන් හිසට ඇතුළු වූ අදහසක් මත මම හුන් තැනින් නැඟිට පාර දිගේ ඒ ආලෝකය දෙසට දුවන්නට වීමි. වර්ෂාව, සීතල, තැති ගැන්ම, බිය, බඩගින්න මේ සියල්ල මා උමතු කලාක් වැනි හැඟීමකින් ඔල්දදව මම මහ මඟ දිගේ ඔහේ දිව ගියෙමි. බොඳවූ දෑස් අතරින් මා පෙර දුටු ආලෝකය වාහනයකින් දැල්වූ එළියක් බව එය වඩ වඩාත් ළංවූ විට මට පෙනී ගියේය. එය වඩාත් පැහැදිලිව මා අභියස පෙනෙන්නට වූ මොහොතේ තව දුරටත් දරා ගත නොහී කම්පනයකින් මා ඇදවැටුනි..............

 ඒ මොහොතේ පටන් මා හට කුමක් වූවාදැයි දන්නේ රාත්‍රී අඳුර පමණී........................

1 comment:

dinesh said...

නඟා....,කලු ගතිය ටිකක් අඩු කරන්න පුළුවන්නම් ගොඩක් හොඳයි.