Tuesday, February 8, 2011

සිහින සිතුවමක් ! තවමත් …5

ඇකේෂියා
එදින ඔහුගේ පොත් රාක්කය පිළිවෙලට අසුරමින් සිටියදී මට එහි තිබී ඡායාරෑප ඇල්බමයක් ඇස ගැටුණි. එය සීරුවට ගෙන පසෙක තබා මාගේ කාර්ය අහවර ‍කර ඇල්බමය ගෙන සෝෆාව වෙත ගොස් මා එහි පිටු එකින් එක පෙරළන්නට වීමි. කුඩා කාලයේ පටන් තරුණ වියට පාතබන තෙක් ඡායාරෑප ඇති එම ඇල්බමය ඔහුගේ ජීවිත කතාව ලියා තැබූ පොතක් වැනිය. එය නරඹමින් සිටියදී ඔහුගේ කාරයේ හඬ ඇසුන හෙයින් මා ඇල්බමය සෝෆාව යටට තල්ලු කර දමා දොරටුව වෙත දුව ගියෙමි. මා ඔහුවෙතින් වෙනස්ම සිනහවක් ලද බව මට දිවුරා පැවසිය හැක. සුපුරුදු ලෙසම ගිටාරය මා අතට පත් කල ඔහු ලාවට පෙන් මගේ හිස පිරිමැද ගෙන නිවසට ඇතුළු විය.
“හොඳ නෙස්කැෆේ එකක් බොමුද?” සෝෆාවේ ඇද වැටෙමින් මෙන් පවසද්දී අද ‍ඔහුට වෙහෙසදායි දිනයක් බව මට ඒත්තු ගැන්විනි. හනික මුළුතැන්ගෙට දිවගය මා අප දෙදෙනාටම කිරි‍කෝපි දෙකක් පිළියෙල කර සාලයට පියනැඟුවෙමි. එක කෝප්පයක් ඔහුට පිරිනමා ඒ අභියසම බිම වාඩි වූ මා සීරුවට ඔහුගේ සපත්තුවේ ලේස් ගැටය ලිහන්නට වීමි. මේ කාර්යය කෙරෙන අතර තුරම නෙස්කැෆේ කෝප්පය සිමින් තොලගෑ ඔහුගේ දෙනෙත මවෙතටම යොමු වී තිබෙන බව මා ඇස් කොණින් වාගේ මට පෙනේ. සපත්තු දෙක ඔහුගේ දෙපතුලෙන් ඉවත් කලද ඔහුගේ බැල්ම මගෙන් ඉවත් නොවුනි. එය දරා ගත නොහී තැන මාද එක ‍එල්ලේ ඔහු දෙස බැලුවේ එයින් වත් ඔහු මෙල්ල කිරීමට හැකි වේ දැයි බලන්නටය.
“හැමදාමත් මෙහෙමම ඉන්නද කල්පනාව?”
“ඔයා එලවනකල් !”
“පිස්සී…..” මගේ මුළුඇතුලාන්තයම සලිත කරවන ඒ මද සිනහව….
“ හැමදාම මගේ ට්‍රව්සර්ස් ෂර්ට්ස් අන්දලා තියා ගනී කියලා හිතුවද? ”
දෙවියනි! එසේනම් ඔහු මේ සැරසෙන්නේ මා මේ නිවසින් පිට කිරීමටද? කඳුළු පිරී ගිය දෙනෙත් ඔහුගෙන් සඟවනු වස් මම හිස බිමට නැඹුරු කලෙමි . එහෙත් නෙතට බරවූ කඳුළු කැට දෙකක් බුමුතුරුණ මතට වැටී ක්ෂනිකයෙන් ඒ අතර සැගවී ගියේය. නොසීතු මොහොතක දෝතින්ම මගේ මුහුණ ඒ දෙඅත්ලට ගෙන ඔහු වෙත හරවා ගත්තේය. මුහුණට මුහුණ බලා ගෙවුනු ඒ තප්පර කිහිපයක කාලයට මා සිතෙන් දහස් වර මැරි උපදින්නට ඇත. ඒ උණුසුම් සුසුම් මා මුහුණ පුරා දිව යද්දී සැනෙකින් පැන ඔහුගේ මුහුණ නොනවත්වා සිපගෙන යෑමේ වල්මත් ආශාව මම ඉමහත් ආයාසයකින් යටපත් කර ගතිමි.
“ මගේ ඇඳුම් අඳින්න දෙන්නෑ කියලා කිව්වේ අද ඉඳන්. මේ.. මම ඔයාට ඇඳුම් ගෙනාවා” මගේ මුහුණ දෝතින් මුදාහල ඔහු එතෙක් ඔහු පිටුපස සඟවා සිටි ඇඳුම් බෑගයක් මා වෙතට පෑවේය. හිතේ වූ මහා බරක් නිදහස් වෙද්දී මම එය පිළිගතිමි. “ හා හා දුවන්න, ගිහින් මොනා හරි ඇඳන් එන්න සයිස් ඇතිද බලන්න” ඒ අණට පිටින් යන්නට මම බිය වීමි. ඇඳුම් බෑගයද ගෙන නාන කාමරයට වැදුනු මා ඉතා කුහුලෙන් යුතුව බෑගය අවුස්සන්නට වීමි. රෝස පැහැයෙන් හෝ ඊට සමාන පාටකින් යුතු ඒ ඇඳුම් පොඩි ටික මට මහා වස්තු සම්භාරයක් පහළ වූවා සේ අගේ විය. එකිනෙක ගෙන ඇඟට තබා පරීක්ෂා කිරීමේදි ඒවා මම සාමානයෙන් අඳින ඇඳුම් වලට වඩා මදක් කෙටි බව මට පෙනුනි. එහෙත් ඒ බව ඔහුට පවසන්නේ කෙලෙසකද? කළයුතු දෙයක් නැති බැවින් මම හෙමින් සීරුවේ නැවතත් සාලයට පිය නැඟුවෙමි.
“ කෝ, ඇන්දේ නැද්ද?”
“ ඒවා ටිකක් කොටයි නේ”
ඔහුගේ මුහුණට බැරෑරුම් පෙනුමක් ආරූඪ විය… “ ඉතින් මොකද? මම බලන්නෑ ඔය මොකවත්, අනික ඒ ෂොප් එකේ දිගට තිබුනේ පාටි ‍ෆ්‍රොක්ස් විතරයි.. මම නැති වෙලාවට හරි අඳින්න”
“අනේ…” එවර නම් ඔහුගේ මුහුණ රතුවී වෙනස් වී ගිය අතර වේගයෙන් මවෙතට පැමිණ ඇඳුම් බෑගය උදුරාගෙන මුළුතැන්ගෙට පිය නැගුවේය.
“Fine! Then it all goes to garbage” මෙතරම් නපුරු කමක් මේ සොඳුරු මිනිසාට ඔබින්නේ නැත. මුළු ඇඳුම් බෑගයම කුණු කූඩයට විසි කල ඔහු කාමරයට වැදි දොර වේගයෙන් වසා ගත්තේය. දෙතොල නොපිට පෙරලීගෙන මතුවූ ඉකියක් සමඟ මා හට මහා මූසල හැඟිමක් ඇති විය. හඬමින්ම කුණු කූඩය වෙත ගොස් ඇඳුම් බෑගට ගෙන එතෙක් මා ඇඟලා සිටි ඔහුගේ පිඡාමාව ගලවා ඇඳුම් අතර තිබූ රෝස පැහැති ගවුම හැඳ ගතිමි. දනිස් තරමට කෙටිවූ ගවුම නිසා මට තරමක් අපහසුවක් ඇති වුවද ඔහු වෙනුවෙන් එය පුරුදු වීමට මම ඉ‍ටා ගතිමි. මවිසින් පිසූ ආහාර තවමත් ගෑස් උදුන මතය. අද ඔහු කාමරයෙන් එළියට පැමිණෙන සේයාවක්ද නැත. මද පසුබෑමකින් යුතුව ඔහුගේ කාම‍රයේ දොර වෙත පියනැගූ මා දොරට සෙමෙන් තට්ටු කලෙමි.
Please open the door !, මම ඒවා අඳින්නම්.. මේ බලන්න මම එකක් ඇන්ඳා. Open the door !” ඔහුට මෙතරම් දරදඬු විය හැකි බව මම මෙතෙක් නොදැන සිටි කරුණකි. ඉකිබිඳුම වැඩී වු හෙයින් මා සෝෆාවේ දිගා උනෙමි. අද නින්ද මා කරා නොඑනු ඇත. මහා හිස් හැඟීමකින් යුතුව සුසුම් ලමින් තවත් හෝරාවක් ගත විය. මැදියමට ආසන්න වීමේදී මට ඔහුගේ කාමරයේ දොර හැරෙන ශබ්දය ඇසුනි. වහා අනෙක් පසට හැරී ගුලි වූ මා දෑස් තදින් පියා ගතිමි. පා ගැටෙන හඬ ලංවම ඇසේ. අවසානයේ ඒ හඬ මා අසළටම විත් නැවතුනේය. නිදා සිටින බව ඇඟවීමට මා ගැඹුරින් හා සීරුවට හුස්ම ඉහල පහළ ගත්තෙමි. එහෙත් මාගේ හද ගැස්ම ඔහුට ඇසෙන තරමටම වේගවත්ව ගැහෙන්නට විය. හිමින් සිරු‍වේ ඔහු ළං වෙනු දැනුනෙන් මද චකිතයක් ඇති වූ නිසා මට නැඟී සිටින්නට සිතුනද එකෙනෙහිම වාගේ ඔහු විසින් මා වතට මාගේ බ්ලැන්කට්ටවු අතුරන ලදී. සිරුවට එය මා ගත වටා දැවටු ඔහු පහත් වී මාගේ හිස පිරිමැද ආපසු හැරී යන්නට ගියේය. මහත් සෙනෙහසකින් මගේ සිත උතුරා යන්නට වූ අතර එතෙක් සිතේ රැඳී තිබුනු ශෝකය හිරු දුටු පිණි කඳුලක් මෙන්ම අතුරුදන් වී ගියේය.

3 comments:

සෝරෝ said...

ලස්සනයි.. සුභ පැතුම්....!!

තාරා said...

ලස්සනට ලියලා තියෙනවා. මටත් දුක හිතුනා.. මේක ඇත්තම කතාවක් වගේ..... දිගටම ලියන්න. මගේ සුභපැතුම්...

නිම්ශා said...

හ්ම්ම්ම්ම්ම්..... වෙනදා වගේම ඉතුරු ටිකත් ඉක්මනට දානකම් බලන් ඉන්නවා....