Thursday, June 23, 2011

කින්නර අඩවිය … 10

acacia

මා නැවත නිවස කරා පැමිණියේ ඇරුණෝදයත් සමඟයි. අම්මා හෝ සියා අවදි වී නොසිටීමෙන් දහසක් ප්‍රශ්න වලට පිළිතුරු දීමෙන් වැලකී සිටිමේ අවස්ථාව මට උදා විනී. දෑත් දෙපා නිල් පැහැ ගැන්වී ඇත. බොහෝ වෙලා වතුරේ සීටිමෙන් විය යුතුය. මාගේ දිවියේ ප්‍රථම වරට උදාවූ ඒ සොඳුරුතම හෝරාවන් ගැන සිහින දකිමින් සිටියදී මා නින්දට පත් වූයෙමි..

බොහෝ ප්‍රමාද වී අවදිවූ මාහට සීයාත් අම්මාත් වාදයක පැටලි ඇති ආකාරය පහත මාලයෙන් ඇසෙන්නට විය. ඔවුන්ගේ වාදයට හේතුව බොහෝ විට මා විය හැක.. මා සාලයට පියනැඟුවේ අද මේ සියළු ගැටළුන්ට විසඳුම් ලබා දෙමියි සතිමිනි. සිතූ පරිදිම මා දුටු සැනින් එතෙක දොඩමළු අම්මා හා සීයා නිහඬ විය. ඔවුන් දෙදෙනා දෙස නෙත් හෙලූ මා හඬ අවධි කළෙමි..

“සීයා, අම්මා.. ඔයාලා කියපු විදියට කිඳුරු පරපුරේ අන්තිම පුරුක හැටියට මට මං කැමති තීරණයක් ගැනීමේ අයිතිය තියෙනවා. එහෙම නේද සීයා?”

සීයා මා වෙත පැමින දෑතින්ම අල්වා ගත්තේය.

“ඇකේෂියා! ඔව් මං එහෙම කිව්වා.. ඒත් ඔයා තාම ලාමකයි. මේ ප්‍රශ්න ඔයාට බර වැඩි වෙයි කියලා හිතන්නැතුවයි මම මේවා ඔයාට පැටලුවේ. මට සමාවෙන්න දුව.. අම්මා කියනවා ඔයාවත් එක්ක ගෙන මෙහෙන් සදහටම ඈතට යනවා කියලා.. දැන් තියෙන තත්වයේ හැටියට මට ඒකට හරස් වෙන්න බෑ…” සීයාගේ හඬ බොහෝ සේ බිඳී ගිය සිතැත්තෙකුගේ මෙන් විය. අම්මා ඉවත බලා සිටින්නේ දැඩි කරගත් සිතිනි.

“සීයා.. ඔයා එදා මට කිව්වා. අපි සුවිශේෂි පරපුරක් කියලා. ඇස්ට්‍රිය්ඩ් පරපුර සයිරින් කැස්පියන් යුවළගෙ විශේෂ ආශිර්වාදය හිමි වෙච්ච පරපුරක් කියලා. එහෙම උන පරපුරක් මගෙන් නවතිනවට සීයා කැමතිද?” ඉවත බලා සිටි සියා රහසින් මෙන් හිස දෙපසට සැලීය..

“ඒක තමයි! අම්මා සීයා මට සමාවෙන්න! මම ඊයේ රෑ ඔයාලට නොකිය ඒඩ්‍රියන් හමුවෙන්න ගියා..”

අම්මාගේ මුහුණේ හැඟීම් කියවීමට මා එදෙස නොබැලුවෙමි. ඇය කෝප වන බව මා මැනවින් දනිමි. එහෙත් මා මාගේ තිරණය ඔවුන්ට කිව යුතුව ඇත.

“සීයා, ඒඩ්‍රියන්ට පොඩි කාලෙ ඉඳන් අපිට වෛර කරන්න උගන්වලා තියෙන්නේ එයාගේ තාත්තා. එයාගේ තාත්තා හිර වෙලා ඉන්න හැටි දැක්කාම ඒඩ්‍රියන් අපිට වෛර කරන්න බොහොම ලේසියෙන් පෙළඹිලා තියෙනවා.. ඒත් සීයා මට පුළුවන් ඒඩ්‍රියන්ව වෙනස් කරන්න. මම ඒක කලා සීයා. මාව විශ්වාස කරන්න. ඒඩ්‍රියන් දැන් එයා කරපු වැරදි ගැන පසුතැවෙනවා. මට දැන් එයාගේ හිතේ තියෙන දේවල් දැනෙනවා. ඒ හිතේ අපි වෙනුවෙන් තවත් වෛරයක් ඉතුරු වෙලා නෑ සීයා, තියෙන්නේ පසුතැවීමකුත් මං වෙනුවෙන් ඇති වෙච්ච ආදරයක් විතරමයි සීයා……”

මා හුස්මගැනීමට අමතක වූවෙකු, වචන අමතක වේ යැයි බිය වූවෙකු සේ කියවාගෙන ගියෙමි.

“සීයා, අම්මා, මේ අහන්න! මම තීරණය කලා. මම, ඒඩ්‍රියන්, අපි දෙන්නා කිඳුරු පවුල් දෙකක පැවැත්ම ඉදිරියට ගෙනියන්න තවත් සටන් කරන්නේ නෑ. මේ මිස්ටික් ලේක් වල තවත් බලය වෙනුවෙන් එකිනෙකා මරාගන්න කවුරුත් ඉදිරියට ඇති වෙන්නෙ නෑ. අපි දෙන්නාගෙන් ඒ හැමදේම ඉවර වෙනවා.”

මවෙත මුව අයාගත් අම්මා හා සීයා පසුකරමින් මා සාලයේ ඉදිරි දොර වෙත පියමැන්නෙමි.. තවත් ඔවුන් කුතුහලයෙන් උමතු කල නොහේ.. දොරෙහි අගුල යන්තමින් විවර කරමින් මා නැවත ඔවුන් දෙස හැරී බැලූවෙමි. රසවත් කතාවක අවසන් කොටස ඇසීමට ඇස් කන් අයාගත් කුඩා ළදරුවන් දෙදෙනෙකු මෙන් ඔවුන් දෙදෙනා මදෙස බලා සිටී.

“මම ඒඩ්‍රියන්ට ආදරෙයි අම්මා! මිස්ටික් ලේක් වල මින් ඉදිරියට පැවතෙන්නේ ඇස්ට්‍රයිඩ් හෝ අසාzරියා පරපුර නෙමෙයි. ඒඩ්‍රියන් සහ ඇකේෂියා ගෙන් ඇති වන පරපුරක්!”

මාගේ තීරණය පැවසූ මා මිදුලට පිවිසියේ නිදහස් මනසකිනි..

-----------------------------------------------------------------------------

පසු සටහන – මාගේ බලවත් ඉල්ලීම මත නිදහස් කරන ලද ඒඩ්‍රියන්ගේ පියා හා ඔහුගේ අනෙකුත් කිඳුරු නෑදෑයින් කැස්පියන් විසින් මිස්ටික් ලේක් කෙරෙන් ඔවුන්ගේ මුල් නිවෙස් වූ මහා සාගරය කරා ගෙනයන ලදී. සීයා විසින් අපගේ ආදිතමයන්ගේ සවිස්තරාත්මක ග්‍රන්තයේ ඊළඟ පරිච්ඡේදය ලිවීම මා හට භාර කලේය. පසු කාලයේදී මා ගත් තීරණය අම්මාගේද පැහැදීමට ලක්විනි. දායාබර පාඨකය. මා එදින මාගේ තිරණය අම්මාට හා සීයාට පැවසු දිනට පසු සිද්ධීන් සියල්ල මෙහි සඳහන් කර ඔබ වෙහෙසීමට මා නොසිතමි. ඒ වෙනුවට ඉහත පැවසූ ග්‍රන්ථයේ මා විසින් රචිත පරිච්ඡේදෙය් සාරාංශය මෙසේ ඔබ වෙත ගෙන එමි…….

----------------------------------------------------------------------------------------------

පූර්ණ සඳවතිය අහස සතුවූ එක් රැයක මාද ඒඩ්‍රියන් සතු වූයෙමි. පුන් සඳින් ආ රැස් නහමින් මනුෂ්‍යයෙකු බවට පත් ඒඩ්‍රියන් පළමු වරට ඔහුගේ පියවි හඬින් මා කෙරෙහි ඔහුගේ ඇති සෙනෙහස පවසද්දී මා උමතු නොවූවා පමණි. ඉන් පසු ගතවූ සෑම රාත්‍රියකම අප සොබාදහම් මව් තුරුල්ලේ භාහිර ලෝකයෙන් සැඟවී ගොස් ඔවුනොවුන් ගේ ආත්ම හුවමාරු කරගැනීමේ සොඳුරු ක්‍රිඩාවේ නිරත වීමු. අප දෙදෙනා වෙන් කළ නොහැකි යදම් වැනි බැඳීමකින් සිත් වලින් වෙලී ගියෙමු. මිස්ටික් ලේක්හි හාත්පස පැතිර තිබූ මීදුම් පටලය කෙමෙන් ඉවත්ව යන්නට විය. හිරු රුස් පෙරට වඩා දීප්තිපත්ව බැබලෙමින් පොලෝ තලය සිප ගත්හ. ගම්වාසීන්ගේ දුක්මුසු ශෝකි පෙනුම තුරන්වී ඉමහත් පිබිදීමකින් ගොවිතැන් කටයුතු වල යෙදෙන්නට විය. එසේ සියල්ල සපිරි මා දිවියේ තවත් එක් අඩුවක් පිරවීමට මා කුළුදුල් පුත් ඒරීස් හා දියණිය අඋරෝරා මෙලොවට බිහිවිය. ළඳරු කිඳුරු දරුවන්ගේ උරුවම් හඬින් මුළු වැව් තලයම ගිගුම් දෙන්නට විය.. සතුට සැනසීම සාමය මිස්ටික් ලේක්හි නැවත රජයන්නට විය. එසේ මා නිවීගිය සිතෙන් යුතුව ලී වේදිකාවේ වූ කුළුණකට බර වි වැව් තාවුල්ල දෙස බලා සිටි මොහොතක ඈතින් හමා ආ සුළඟ මට මෙසේ පැවසීය.

“ඇකේෂියා! ඔබ එය කළා. මාගෙන් තුරන්ව ගිය සතුට සැනසීම ඔබ නැවත මිස්ටික් ලේක් වෙත ගෙන ආවා. ඔබ සැබෑම කිඳුරු රුධීරය ඇත්තියක් බව සනාථ කලා. අපගේ කිඳුරු පරපුර මෙහි රැඳී සිටින තාක් කල් මාගේ ආශිර්වාදය හා රැකවරණය ඔබලාට සැමදා ලැබෙනවා ඇති…”

එය මා මින් පෙර අසා නැති හඬක් වුවද මා එය හැඳින ගතිමි. මෝගන්! මා දයාබර පියාණෙනි, ඔබ ජීවත්ව සිටියා නම්ද වෛරය ඉවත ලා තෝරා ගන්නේ සදා අමරණීය සෙනෙහස බව මා දනිමි.. ඉඳින් මා තෝරා ගත්තේද ඒ මාවතයි.

කින්නර අඩවිය නිමි……………………!

Sunday, June 19, 2011

කින්නර අඩවිය … 9

සැබවින්ම ඒඩ්‍රියන්ට අවශ්‍ය වූයේ මා මරා දමා විලේ කිඳුරු අධිපති වීමටද? ඒ දෑස්වල ආකර්ෂණය තුලින් මා දුටු ලෙන්ගතු බව සැබෑවක් නොවේද? ඒ සීතල දෑත් වල ස්පර්ෂයෙ මා අත්දුටු උණුසුම සැබෑවක් නෝවේද? මා සිත තවමත් ඒඩ්‍රියන් මා හට විපතක් කල බව පිළිගන්නට සුදානම් නැත. ඒඩ්‍රියන් මා වෙත ළං වද්දී මා අනාරක්ෂිත බවක් අත්වින්ද බව සැබෑය. එනමුදු මට නොතේරෙන  ලෙංගතු බවක්ද මා හට දැනුනා නොවේද? අද දිනය ඇතුලත සිදුවූ සිද්ධි දාමයෙන් බොහෝ සෙයින් විඩාවට පත්ව සිටි මා හට සෝෆාවේම නින්ද ගොස් තිබිනි.  හදිසියේම ඇහැරුනේ සිහිනෙන් මෙන් දෙසවන් අද්දර යමෙකු මුමුණන හඬිනි. තිගැස්සී ඇහැරුණ මා හට මා අසළ කිසිවෙකුත් දැක ගත නොහැකි විය. ගිනි උඳුනද නිවි යාමට ආසන්නය. මාගේ කුටියට ගොස් සුවපහසු ලෙස නිදා ගැනිමේ උවමනාවෙන් මා සෝෆාවෙන් නැඟී සිට කුටිය දෙසට පිය මනින්නට වීමි..

එවිටම… නැවතත් දෙසවන් වලට යමෙකු ඉතා වේදනාවෙන් මෙන් මා හට ආමන්ත්‍රණය කරනා හඬ මට ඇසෙන්නට විය. ඒ ඔහුම විය යුතුය.. “ඇකේෂියා…..!” ඒ හඬේ වූයේ ඉතා බැගෑපැත් දුක්මුසු බවකි. එය ඒඩ්‍රියන්ගේ තවත් එක් උපායක් දැයි මම නොදනිමි.. එහෙත් මාගේ දෙපා මාගේ කුටියට යාමට සූදානම් නැති සෙයකි..  “ඇකේෂියා…..!” ඒ හඬෙහි වු වේදනාව මාගේ සිතටද දැනෙන්නට තරම් විය. මාගේ දෙපා ආපසු හැරුනි. මාර්තා විසින් පෙරවූ බ්ලැන්කට්ටුව ඇරෙන්නට මාගේ වතේ එකදු ඇඟළුමක් නැත. ගෙයින පිටතට වන් කල්හි එහි ගැවසීගත් සීතලෙන් මා වෙව්ලා ගියෙමි.. දෑතින්ම බ්ලැන්කට්ටුව වතට සිර කර ගත් මා ඔහුගේත් මාගෙත් රාජධානිය වෙතට පියනගන්නට වීමි..

අඳුරු පටු අඩිපාර කෙළවර.. අපටම සෑදුනු කුඩා පොකුණ.. හෙට දින පූර්ණ වීමට නියමිත සඳවතිය.. සියල්ල පසුබිම් කරගනිමින් ගල්තලාවේ ඔහුට සුපුරුදු ස්ථානයේ අසුන් ගෙන නිසලව වැව දෙස බලා සිටින ඒඩ්‍රියන්.. මටත් නොදැනීම පපුව පුරවා ගත් හුස්ම මහා සුසුමක්ව මුවෙන් ගිලිහී ගියේය.. ඒ හඬට ඔහු හිස හරවා සවන් දුන්නා පමණි.. පැමිණියේ මා වග ඔහුට දැනෙන්නට ඇත. මා හට මුහුණ දීමට ඔහු අකමැති වන්නට ඇත… මා සෙමින් සෙමින් ගල්තලාව දිගේ අවුත් ඔහු සිටි ස්ථානයට ඉහලින් වූ තැනක වාඩීවූයෙමි..

“ඇයි මට එහෙම කළේ ඒඩ්‍රියන්! ඔයාට ඕන මේ වැවේ රජකරන්නද? දැන් අම්මාවත් සීයාවත් නෑ.. ඔයාට පුළුවන් මට කැමති දෙයක් කරන්න..මාව මරලා ඔයා මේ කිඳුරු කොදෙව්වේ අධිපති වෙන්න. මං මුලදි ආඩම්බර උනා.. මං කිඳුරු පරපුරක ඉපදුන අසාමාන්‍ය සුවිශේෂි කෙනෙක් කියලා.. ඒත් දැන් මට තේරෙනවා සාමාන්‍ය මිනිස්සු කිඳුරෝ අතර වෙනසක් නෑ.. මිනිස්සු වගේම කිඳුරොත් කැමති බලයට. වෙන කෙනෙක්ගේ ජීවිතේ නැති කරලා හරි.. ඉස්සෙල්ලාම මගේ තාත්තා.. දැන් මාව.. ඉස්සරහට තව කීදෙනෙක්ව මරලා දාන්න ඔයාලා සැළසුම් කරගෙන ඉන්නවාද ඒඩ්‍රියන්..? මට මේ වැවේ අධිපති කමක් ඕන නෑ ඒඩ්‍රියන්.. මම අම්මා එක්ක කලින් හිටපු තැනටම යනවා..  මේ කිසි දෙයක් නොදැනයි මං ඔයාට ආදරේ කලේ ඒඩ්‍රියන්! (ඔහු ගැස්සී මාවෙත සවන් යොමු කරයි ) ඔයාගෙත් කිසිම සුවිශේෂිත්වයක් නැහැ ඒඩ්‍රියන්. මිනිස්සුන්ටත් වඩා අන්ත, නපුරු, තිරිසන් ගතිගුණ තියෙන…………”

වහා මවෙතට පැනගත් ඔහු මාගේ ගෙලෙන් අල්වා ගල් තලාවට තබා සිරකරගත්තේය… ඒ දෑස් වලින් කෝපය වැගිරේ.. දෙතොල් වෙව්ලීමේ වේගයෙන් ඔහු කොයි මොහොතක හෝ මා මරා දමනු ඇතැයි මා අනුමාන කලෙමි..

“ඔව්! ඔයාට ඒක කරන්න පුළුවන් ඒඩ්‍රියන්! මාව මරලා දාන්න.. මගේ තාත්තව මරලා දැම්මා වගේම..” මම කෝපයෙන් කෑගැසුවෙමි..

මදින් මද ඔහුගේ ග්‍රහණය ලිහිල් විය.. ඒ දෑතට සිරවී තිබූ මාගේ ගෙල රිදුම් දෙන්නට විය.. පසෙකට හැරුණ ඔහු ඔහුගේ හිස දෑතේ හොවාගෙන නිශ්චල විය. එහෙත් ඔහුගේ උරිස් ගැස්සීමෙන් ඔහු හඬනා බවක් මට පසක් විය. සිතේ මෙතෙක් කැකෑරෙමින් තිබූ කෝපය ගින්නෙහි ලූ ඉටිගුලියක් සේ දියවී වැගිරෙන්නට විය..  මා එය දැන සිටියෙමි.. මා මරන්නට තැත් කලද ඔහුගේ සිතේ කොහේ හෝ කොනක මා වෙනුවෙන් දැල්වුනු සෙනෙහසක් ඇති බව මා දැන සිටියෙමි.. වෛරයෙන් නොසන්සිඳුවන බොහෝ දෑ සෙනෙහසෙන් නිවාලිය හැකි බව මා දනිමි. වරද කලේ ඔහු නොව. මාගේ පියා මරණයට පත් කලේද ඔහු නොව. ඔහුට ඒ සඳහා පෙළඹවීම් කලේ ඔහුගේ සිරගතව සිටින පියාගෙන් බව මම වටහා ගතිමි.. දැන් ඔහු ඒ ගැන පසුතැවින් සිටියි. ඔහු දුර්වලව සිටින අවස්ථාවේ තවත් ඔහු රිදවීමට තරම් මා දුර්ගුණැත්තියක නොවේ..

ඔහු වෙත ලිස්සා ගිය මා දෑතින්ම මා ඔහු වෙතට හරවා ගත්තෙමි.. ඔහුගේ දෑසින් කඳුළු සේ ගලා ගොස් ඇත්තේ රුධිරයයි.. ඒඩ්‍රියන්! ඔබේ සිත මෙලෙක් වී ඇති තරම කියා පෑමට මට තවත් සාක්ෂ අවශ්‍ය නැත. ඔහුගේ හිස දෙපසින් දෑතින්ම අල්වා ගත් මා මාගේ කුළුදුල් ප්‍රථම හාදුව ඒ නළල් තලය මත සටහන් කෙරුවෙමි.. ඔහුගේ දෑස් වැසී ඇත. නළල් තලයේ ස්පර්ශ වූ දෙතොල් හරහා මට ඔහුගේ සිතිවිලි පෙරලිය දැනෙන්නට විය. ඒ සිත නිවෙන අයුරු, ඒ සිතුවිලි මෙලෙක් වන අයුරු මා අත්වින්ඳෙමි.. ඒ සොඳුරු නිමේෂයෙන් නික්මුණු මා හට ඔහුගේ දෙතොලේ ඒ වනවිටත් රැඳී තිබුනු මදහස නෙත් ගැටුනි. මාගේ ලැම හරහා රෑරා විත් ඔහු මාගෙ උකුල් තලයේ ඔහුගේ හිස සඟවා ගත්තේ කුඩා දරුවෙක් මෙනි. ස්වාමියාගේ උණුසුම් ස්පර්ශයට නතුවන කුඩා පූස් පැටවකුගේ සුරතලය මට සිහියට නැඟුනි.

කාලය විදුලි වේගයෙන් ගමන් කර ඇති බව මා දුටුවේ ඈත අහස් කුසේ යන්තමින් සැඟවී යන සඳ වතිය දැකීමෙනි. එහෙත් ඔහුගෙන් සමු ගැනීමට මට සිත් නොවේ. ඔහු ඔහුගේ කිඳුරු වල්ගය ලතාවකට සොලවමින් නිශ්චල දියේ මෘදු දිය රැළි ඇති කරමින් නිසොල්මනේ ඈත බලා සිටියදී මා ඔහු දෙස බැලුවෙමි. සැබවින්ම කෙතරම් ආශ්චර්ය ජනක ජීවියෙකුද? කුඩා කල කඟවේන් අශ්වයෙකු මා සතු කර ගැනිමට තිබූ ආශාව මට සිහි නැඟුනි. එහෙත් අද මාසතුවී ඇත්තේ කිඳුරෙකි. ඔහු මට පමණක් අයිති ජීවියෙකි.

මා සෙමෙන් මාගේ අත්ල දිගු කර ඔහුගේ හිස මත ඇඟිලි ස්පර්ශ කළෙමි. ඔහු හැරී නොබැලුවේය. ඉන් දිරිය ලද මා මාගේ ඇඟිලි තුඩු සෙමින් හිස දිගේ ඔහුගේ කන් පෙති හරහා කම්මුල තෙක් ස්පර්ශ කරමින් ගෙන ආවෙමි. මාගේ ඇඟිලි තුඩු එසේ තිබියදිම ඔහු හිස මා දෙසට හැරවීය. දැන් මාගේ ඇඟිලි ඔහුගේ දෙතොල මතය. මා ඉන්ද නොනැවතී ඒ මුහුණ පුරා මගේ ඇඟිලි ස්පර්ශ කරවූයෙමි. ඉන් ඔහු මදින් මද නොසන්සුන් වන ආකාරය ඔහුගේ කිඳුරු පාදය කැළතී ඇති වන දිය රැළි වලින් මට සිතා ගත හැකි විය.

Mermaidඑක්වරම මාගේ අත්ල සිර කර අල්වා ගත් ඔහු හිඳ හුන් තැනින් දියට බැස මාගේ පාදයෙන් අල්වා මා ඔහු කරා ඇද ගත්තේය. ගල් තලාවේ වූ දිය සීරාව නිසා මා පහසුවෙන්ම ලිස්සා ගොස් වතුරට වැටුනේ එතෙක් මා පොරවාගෙන සිටි බ්ලැන්කට්ටුව ගල් තලාවේ තනි කර දමාය. ගිලෙන්නට නොදී මා සිර කර බදා ගත් ඔහු මාගේ දෙපා ඔහුගේ ඉඟ වටා එති යන පරිදි මා ඔසවා තබාගත්තේය. ඔහුගේ ඒ ආකර්ෂනීය දෙනෙත් අඩවන් කර අයදින්නේ කුමක්දැයි මාදනිමි. නොඉවසිලි කාර ඒ දෙතොල් මදින් මද මා දෙතොල කරා ළං වන්නට විය. ඔබෙන් සැඟවිය යුතු නොවේ. එම රුවෙන් වශීකෘතව සිටි මාද මේ මොහොත හොර රහසේම සිතෙන් බලාපොරොත්තු වූ මොහොතකි.  තව දුරටත් මේ සොඳුරු අරුමැසිය ප්‍රමාද කිරීමට මැලි වූ මා දෑතින්ම ඒ ගෙල බදා ඔහුගේ දෙතොලට බර වූයෙමි.. අප දෙස බලා සිටින තුරු ලතාවන් ගෙන් සැඟවෙන්නට මෙන් ඔහු මා හා සිටි ඉරියව්වෙන්ම පොකුණු දිය පතුලට ගිලී ගියෙමු……