Monday, February 7, 2011

සිහින සිතුවමක් ! තවමත් දකිමි…4

25[1]
“But I have some conditions! ” ඔහු කිව්වා ඔබට මතක ඇත. එහෙත් ඊළග මොහොතේ ඔහු ඉදිරිපත් කල ගිවිසුම් වලට මට යටි සිතෙන් සිනා නොවී සිටීමට නොහැකි විය. “විශේෂයෙන්ම මගේ වැඩ වලට ඇඟිලි ගහන්න එපා, ගැහැණු ළමයි වගේ ප්‍රශ්න අහන්න එපා, ගෙදර තියෙන දේවල් වෙනස් කරන්න එපා, මොනම හේතුවකට වත් මගේ කාමරේට යන්න එපා, ඔයාගේ වැඩ ඔයාම කර ගන්න, වැඩිය එළියට යන්න එපා, මට නොකියා කොහෙවත් යන්න එපා, ඔක්කොටම වඩා මම කැමති නෑ වැඩිය කතා කරන මිනිස්සුන්ට, ඒ නිසා වැඩිය කතා එපා !”


“මම මෙහේ ඉන්න කැමතියි !”


එය මාගේ ජීවිතයේ මා ගත් හොඳම තීරණය බව මා එවෙලේ නොදැන සිටියෙමි. ඒ පිළිතුරත් සමඟ මාගේ ජීවිතයේ වසන්තය රහසේම උදාවූ බව මම එවෙලේ නොදැන සිටියෙමි. ඒ මොහෙතේ පටන් මගේ කඳුළු කතාව නිමවූ බව මම නොදැන සිටියෙමි. ඉඳින් මින් මතුවට මා ඔබට පවසන්නේ මාගේ කුඩා දිනපොත් මිතුරා පරිස්සමට රැකගත් මාගේ ඒ සොඳුරු දිවියයි.


මේ නිව‍සේ ඔහුගේ නිදන කාමරය හැර තවත් නිදන කාමර නොමැති විමෙන් මා හට රාත්‍රිය ගත කිරීමට වූයේ මා සැතපී සිටි සුවපහසු සොෆාවේය. නිදන යහනකට වඩා එයට මා ප්‍රිය කලෙමි. දිගු කාලයකට පසු මම සුව නින්දක් ලැබුවෙමි. පසුවදා මා අවදිවන විට යන්තම් හිරු කිරණ පොළවට වැටුනා පමණි. මම සෝෆාවේම වාඩි වී මදක් බලා සිටියේ එක් වරම මා සිටිනා ඉසව්වා හඳුනා ගත නොහැකිවය. සැනෙකින් මා සිතේ මහත් වූ ප්‍රබෝධයක් ඇති වු අතර එකෙනෙහිම නැඟිට ගත් මා ඇඳ සිටි ඔහුගේ පරණ දිගු කමිසයේ අත් නවමින් මුළුතැන්ගෙට පියනැගුවෙමි.

මා කැමති ආහාරයක් පානයක් සාදා ගැනීමට මට තහංචියක් නොමැත. ඔහුට අවශ්‍ය දෑ ඔහු විසින්ම පිළියෙල කර ගනී. කෘතගුණ දැක්වීම ඔහුගේ ඇඳුම් සේදීමට හා ආහාර පිසීමට මා ඉදිරිපත් වුවත් එයටද මට අවසර නොලැබුනි. එකම වහලක් යට නොහඳුනනා පුද්ගලයන් මෙන්න කල් ගෙවූයෙමු. දවසේ මා ප්‍රියතම වරුව වූයේ හවස් යාමයේ ඔහු බොක්ස් ගිටාරය ගෙන ඔහුගේම තනු නිර්මාණය කරන අවස්ථාවයි. එවිට මාද පොත් රාක්කයෙන් තෝරාගත් පොතක් ගෙන සෝෆාව පාමුල හොඳින් ඔහු ඇසගැටෙන සේ හිඳගනිමි. අතැඟිලි පොතේ පිටු පෙරළුවද දෑස ඔහු වෙතින් ඉවත් කර පොතේ පේලි දිගේ යැවීම මහත් අසීරු කටයුත්තකි. අවධාවමක් නැති සෑම මොහොමතක මගේ දෑස ඔහුගේ ගිටාරය වයමින් එය සටහන් කරන ආකාරය රස විඳීමට මට බල කරයි… දිනක් එසේ ඔහු දෙස බලා සිටි මොහොතක හදිසියේම ඔහුගේ දෑස මා දෙස යොමු විය. අවාසනාවකට මගේ දෙනෙත පොත දෙස යොමු කරන්නට මා පමා වූයෙමි. ගිටාරය පසෙක තබා මා දෙසට පිය මනින ඔහු දෙස මම විපක්ෂිතව බලා සිටියෙමි. මගේ හදගැස්ම වේගවත් වනු මට ඇසුනි.

“British Civilization හ්ම්ම්…… මම කවදාවත් මේ පොත කියවලා නෑනේ.. කතාව ලස්සනද? ආ… අනික් පාර පොත කියවද්දි මේ පැත්තට හරවලා කියවන්න OK!”
පොත උඩුබැලි කර මා අතට පත් කල ඔහු නැවත ඔහු සිටි තැනට පිය නැඟීය. මහපොළව දෙබෑකරගොස් කොහේ හෝ මුල්ලක සැඟවෙන්න තරම් මට සිතුනි. එහෙත් ඒ හැඟීම යටපත්ව සියුම් සතුටක් මා සිතේ උද්දීපනය වන අයුරක් මට දැනුනි. එයට හේතුව මා මෙහි සිටි කාලය තුල ඔහු සිනාසෙනු දුටු මුල් වතාව මෙය වීමයි.
තවත් දිනෙක ඔහු ගෙදරින් පිටව සිටි අවස්ථාවක් බලා ඔහුගේ අවසරය නොපතාම මම රාත්‍රී ආහාරය පිළියෙල කරමි. විශිෂ්ඨ කෝකියෙකු නොවුනද යම් පමණකට ආහාර පිසීමේ මා සතු හැකියාව මම උපරිමයෙන් මෙහිදී භාවිතයට ගත්තෙමි. කෑම මේසෙට පිළිවෙලින් සකසා මා ඔහු එනතුරු බලා සිටින්නට වීමි. මැදියම් රැයට ආසන්න වෙමින් තිබියදී ඔහුගේ කාරයේ හඬ සවනත වැකුනු අතර මා ඉදිරිපස දොර දෙසට දිව ගියෙමි. ඒ දෙතොලග මා දුටුවේ සිනහවක් යැයි මාගේ සිත කෑමොර දෙන්නට විය. බොක්ස් ගිටාරය මා අතට දුන් ඔහු කමිසයේ බොත්තම් ලිහිල් කරමින් නිවසට ඇතුලු විය. මාද ඔහු පසු පස ඇදුනේ ඔහුගේ අනවසරයෙන් ආහාර පිසීමට අනිවාරයෙන්ම බැනුම් ඇසීමේ බලාපොරොත්තුවද සිත ඇතුවය.


“ Wow, I was staving !” පොඩි එකෙකු සේ දිවගොස් මේස පුටුවක අසුන් ගත් ඔහු දෙඅත්ල වේගයෙන් පිරිමදිමින් මා දෙස නෙත් හෙළුවේය. බලාපොරොත්තු නොවූ ප්‍රතිචාරය නිසාම මා මදක් ගල් ගැසි ඔහු දෙස බලා ඉන්නට විය. සමහර විට මාගේ මුවද භාගෙට ඇරී පවතින්නට ඇත.


“ Are you not going to serve me?” අද පමණක් නොව අවසර දෙනවා නම් හැකි සෑම දිනෙකම මට එය ඔබ වෙනුවෙන් කළ හැක නුඹ නොදනී……
එදින පටන් මේ නිවස තුල මා හට යම් යම් කාර්යන් කිරීමට ඔහුගෙ අවසරය පැතීම අනවශ්‍ය විය. ආහාර පිසීම්, නිවස පිරිසිදු කිරීම, ඇඳුම් පැළඳුම් සේදීම ඇතුළු නිවස අභ්‍යන්තරයේ බොහෝ ක්‍රියාවන් මා අතින්ම සිදුවන්නට විය. එහෙත් ඒ කෙදිනකවත් ඔහුගේ නිදන කුටියට යෑමට මා පෙළඹුනේ නැත. ඒ වන විට මා මේ නිවසට පයගසා මාස දෙකක් හෝ තුනක් ගතවන්නට ඇත. එනමුදු ඒ කෙටි කාලය තුලදී මා මේ ආගන්තුකයාට බැඳී ‍ගියෙමි. ඔහු වෙනුවෙන් යමක් කල හැකි නම් එය ඉටුකිරීමට මා දෙවරක් නොසිතුවෙමි. මා හට මේ කලාවූ උපකාරයට ඔහුට කෙසේ නම් කෘතගුණ දක්වන්න දැයි මා සෑම විටෙකම විමසිල්ලෙන් සිටියෙමි. කල් යත්ම ඔහුගේ සංගීත සටහන් තබන පැන්සල පවා හොඳින් උල් කර තැබීව වැනි පුංචිම කාර්යක් පවා මා අතින්ම සිදු කිරීමට මා පුරුදු වූයෙමි. සැබවින්ම එය එසේ සිදුවූයේ  ඔහුට කළගුණ සැලකීමකටද නැති නම් ඔහු වෙනුවෙන් ඒක පාර්ශවික ආදරයක් මා සිත තුල දළු ලෑමට පටන් ගැනීමදැයි මම නොදනිමි.  ‍

හිරු නගින තුරුත් ඉන්පසු හිරු බසින තුරු මා හට ඉවසුමක් නැති විය. ඔහු නිවසේ නැති පාළුව මකා ගැනීමට දහවල් තිස්සේ ඔහු ඇඳ පසෙක ලූ කමිසයක් ඇඟ වටා දවටා ගෙන සාලයේ නටන්නට වීමි. ඔහුගේ ලොකු සපත්තු යුගල තුල මාගේ කුඩා දෙපතුල් රුවා නිවස පුරා ඇවිද්දෙමි. එහෙත් කතා බහකින් තොරව උවද ඔහු නිවසේ සිටින විට දැනෙන ඒ හැගීම ගෙන දෙන්නට මේ කිසිඳු ක්‍රියාවක් සමත් වුයේ නැත. දිනෙන් දින ඔහුගේ සිනහව මට තවදුරටත් දුර්ලභ දර්ශනයක් නොවුනි. අප අතර වූ කවදාවක වත් නැති නොවේ යැයි සිතූ පරතරය යන්තම් අඩු වෙමින් පවතින බව මට දැනෙන්නට පටන් ගෙන තිබුනි. එහෙත් උවමනාවට වඩා ඔහුට ලං වීමට හෝ ඔහුගේ ජීවිතය අත පත ගෑමට තරම් තවමත් මම නිර්භීත නොවුනෙමි. එහෙත් ඔහුගේ හුස්ම දැනෙන ඉසව්වේ, ඔහුගේ ආරක්ෂාව යටතේ ගෙවෙන මේ ජීවිතයට මා උපරිමයෙන් ලොබ බැඳීමී.

5 comments:

said...

නියමයි!!
ඉකමනින් අනික් කොටසුත් දාන්න :-)

නිම්ශා said...

හැමදාම මම ලස්සනයි කියනවා අදත් කියන්නම් උපරිම ලස්සනයි..ඊලග කොටසුත් ඉක්මනනට දානකම් බලන් ඉන්නවා..

තාරා said...

ලස්සනයි. හරිම රසවත්. අනික් කොටස් ඉක්මනින්???

මකුළු පැංචි said...

අද පමණක් නොව අවසර දෙනවා නම් හැකි සෑම දිනෙකම මට එය ඔබ වෙනුවෙන් කළ හැක නුඹ නොදනී……
එදින පටන් මේ නිවස තුල මා හට යම් යම් කාර්යන් කිරීමට ඔහුගෙ අවසරය පැතීම අනවශ්‍ය විය. ආහාර පිසීම්, නිවස පිරිසිදු කිරීම, ඇඳුම් පැළඳුම් සේදීම ඇතුළු නිවස අභ්‍යන්තරයේ බොහෝ ක්‍රියාවන් මා අතින්ම සිදුවන්නට විය. එහෙත් ඒ කෙදිනකවත් ඔහුගේ නිදන කුටියට යෑමට මා පෙළඹුනේ නැත. ඒ වන විට මා මේ නිවසට පයගසා මාස දෙකක් හෝ තුනක් ගතවන්නට ඇත. එනමුදු ඒ කෙටි කාලය තුලදී මා මේ ආගන්තුකයාට බැඳී ‍ගියෙමි. ඔහු වෙනුවෙන් යමක් කල හැකි නම් එය ඉටුකිරීමට මා දෙවරක් නොසිතුවෙමි. මා හට මේ කලාවූ උපකාරයට ඔහුට කෙසේ නම් කෘතගුණ දක්වන්න දැයි මා සෑම විටෙකම විමසිල්ලෙන් සිටියෙමි. කල් යත්ම ඔහුගේ සංගීත සටහන් තබන පැන්සල පවා හොඳින් උල් කර තැබීව වැනි පුංචිම කාර්යක් පවා මා අතින්ම සිදු කිරීමට මා පුරුදු වූයෙමි.....

මගේ හදවතේ පුංචිම පුංචි එළි බිඳුවක් ඉපිළෙමින් නටයි..මාද අනවසරයෙන් කෙනෙකුගේ ජීවිතයේ සුළු සුළු දෙය කිරීමට පටන් ගත්තෙමි..ඔව්,එය කුමන හැඟුමක් දැයි වචනයෙන් කියන්නේ කොහොමද...මා දන්නා එකම දෙය නම්... ඒ එකල්හී මගේ හදවත පිරී ඉතිරී යන බැව් පමණෙකි,දෙනෙත දිළිසෙන්නට පටන්ගන්නා බව පමණෙකි...නොදැනූවත්වම මගේ දෙතොල'ග මදහසක් තැවරී යන වග පමණෙකි.... :))))))

ඇකේෂියා...සුන්දරයි... :))

ireshasy said...

පව් කෙල්ල!