Monday, June 6, 2011

කින්නර අඩවිය… 01

lakelouise
හදවතට දැනුනේ අපමණ සහනයකි. අඳින් පසු මාගේ වසර 18ක පමණ අධ්‍යාපන  දිවියට විරාමයක් ලැබෙනා සෘතුව ඇරඹේ. සිතේ උපන් උද්දාමයත් පෙරටු කරගෙන ගීතයකක් මුමුණමින් මා නිවසේ ඉදිරි දොර හැරියෙමි.


“සීයා!“  අම්මාගෙත් මාගෙත් එකම හිතවතා, එකම නෑදෑයා වන අම්මාගේ තාත්තා හෙවත් මාගේ සීයා මාස 6 කට පමණ පසු මාගේ නිවසේ සාලයෙන් මතු වීමෙන් මාගේ සතුට දෙගුණ තෙගුණ විය.  දුව ගොස් සීයා වැළඳ ගත් කල්හි සීයා ඉතා ස්නේහයෙන් මාගේ හි පිරිමදින්නට විය.


“ඇකේෂියා, ඔයාගේම ගෙදරට යන්න ලෑස්තිද?“  සතුට වැඩි කමට මාගේ දෙනෙත් දීප්තියෙන් බැබළෙන්නට ඇත.


මාත් අම්මාත් මේ නිවහනට පැමිණියේ මාගේ අධ්‍යාපන කටයුතු වල පහසුව පිණිසයි. එහෙත් අපගේ සැබෑම උපන් නිවහන් වූයේ මින් කි.මි 170 පමණ වූ දුරකින් වූ පිටිසර ගමකි.


“Mystic Lake” ඉතා පිටිසර වුවද අප පවුලට සමීප කීහිප දෙනෙතු හා ළමා කාලය ගැන සොඳුරු මතකයන් නිසාවෙන් මා එම ගම් පියසට බෙහෙවින් ආදරය කෙරුවෙමි. අවුරුදු 18ක් තිස්සේ අම්මාත් මාත් ගත කල මේ හුදෙකලා ජීවිතයට තිත තැබීම පිණිස මාගේ අධ්‍යාපන කටයුතු අහවර වූ විගසම එහි පදිංචි වීමට යාම අප තුන්දෙනා ඒකමතිකව තීරණයක කර සිටි දෙයකි. ඉඳින් ඒ දවස අදය. සීයා පැමිණියේ අප දෙදෙනා එහි කැඳවා ගෙන යාමටය. මාගේ සුපුරුදු පරිසරය නිවස යාහළුවන් අතහැරයාමේ කිසිඳු දුකක් සිතේ නූපන්නේ මා මේ ගමන කලක පටන් බලාපොරොත්තු වූවක් නිසා විය හැක. මාගේද අම්මාගේද සියළු බඩු බාහිරාදිය සීයාගේ වාහනයේ පටවා ගත් අප පසුදින උදෑසනම Mystic Lake කරා යෑමට පිටත් වීමු. ගමනාරම්භයට ප්‍රථම මා දෙස හැරී බැලූ සීයා “ඔයා එනකල් එහේ ගොඩාක් අය බලන් ඉන්නවා“ යැයි පවසා අම්මා දෙසද බලා ගුප්ත සීනාවක් පෑවේය. දන්නා තරමින් Mystic Lake හි නෑදෑයන් නොවන එහෙත් අප පවුලට සීමීප පවුල් කිහිපයක් ඇරෙන්න වෙනත් විශේෂ අය නොවුන හෙයින් සීයාගේ පැවසුම මට ප්‍රෙහෙලිකාවක්ම විය. ඒ ගැන සිතමින් වද නොවූ මා අයිපොඩ් යන්ත්‍රය ක්‍රියාත්මක කර අසුනට බරවී දීර්ඝ හුස්මක් පිට කලෙමි……


 හෝරා කිහිපයක දිගු ගමනකට පසු නින්දත් නොනින්දත් අතරන් අප ගමනාන්තයට ලං වී සිටියෙමු. සැබවින්ම ගුප්ත පරිසරයකින් හෙබි Mystic Lake ගම්මානයට මේ නම බෙහෙවින්ම සුදුසු වූයේ නිතරෝම මිහිඳුමෙන් වටවී අඳුරු පැහැ ගත් ජලයෙන් පිරි ගමේ අයිනකට වන්නට පිහිටි ඉතා විශාල වැවක් නිසාවෙනි. මාගේ සීයා පවසන පරිදි මෙම වැව ශත වර්ෂ ගනනාවක් මුලුල්ලේ මෙම ගම්පියස පෝෂණය කළ ඉතා පැරණි ඉතිහාසයක් ඇති වැවකි. ගම්බිමෙන් භාගයකට වැඩි ඉඩක පැතිරී ගිය මෙම වැව තුන් පැත්තකින්ම කඳු ගොඬැලි හා ඒ අතර වැඩුණු ගණ වන පියසකින් වට වී තිබුනි. එය විවෘතව පැවතුනේ ඉතා පුළුල් වපසරියක පැතිරුණ සීයාට අයත් ඉඩමේ මායිමට පමණි. මේ ඉඩම මැද්දට වන්නට පිහිටි සීයාගේ හා අපගේ මහගෙදර සාමාන්‍ය නිවසක නොව පැරණි බලකොටුවක ස්වරෑපය ගත්තේය. මෙතරම් කලක් ගත වුවද දැනුඳු මේ නිවස කිසිඳු ගරාවැටීමක් නොමැතිව ගමේ සියළු නිවාසයන් අභිබවා මහත් වූ ප්‍රෞඪත්වයෙන් අගතැන්මත්ව මහා පර්වතයක්මෙන් නැඟී සිටි ආකාරය දුටු මගේ සිත නිතැතින්ම මාගේ ළමාකාලයට ඇඳීයන්නට විය. එවකට කුඩා නිහඬ දැරියක වූ මාහට මෙම විශාල නිවසේ ගුප්ත බව ඉතා බිය ගෙනැදුන්නකි. එහෙත් හොඳින් හිරු එළිය ගැවසෙන කාලයන්හි මා මිටින් හල කිරිල්ලක ලෙස ගේ වටා දුව පැන සෙල්ලම් කල අයුරු මට ඇස් ඉදිරියේ මැවී පෙනෙන්නට විය. නිවස දෙසම බලා සිටි මා වෙත පැමිණී සීයා මාගේ පිටට අත තබා මද සිනහවකින් යුතුව මා නිවස අභ්‍යන්තරයට කැඳවා ගෙන ගියේය. ඉන් පසු එඳින දහවල් වරුවම අප ගෙනා බඩු බාහිරාදිය අස්පස් කිරීමටම ගතවී ගියේය.


මාගේ කුටිය ලෙස මා තෝරාගත්තේ ඉහළ මහලේ කෙළවරක පිහිටි වැව දෙසට හොඳින් නිරාවරණය වන ජනේල සහිත කුඩා එහෙත් ඉතා පියකරු කුටියකි. එය තෝරාගැනීමට තවත් හේතූවක් වූයේ කාමරය උණුසුම් කිරීමට තනවා තිබූ ගිණිඋඳුණයි. සීතල රැයක උණුසුම් කබායක් පොරවාගෙන ගිණි උඳුණ දල්වා ඒ අසළ පැද්දෙන පුටුවකට වී කල් මැරීමට මා සිහින දුටුවේ අද ඊයෙක නොව. ඉඳින් අද සිට මාගෙ එම සිහිනය සැබෑ වේ.


සියල්ල අවසානයේ මා නිවසින් එළියට විත් වටපිටාව පිරික්සන්නට වීමි. අසල්වැසියන්ගේ නිවාස එකිනෙකට ඉතා ඈතින් පිහිටි අතර එම නිවෙස් වල ප්‍රමාණය හා සැසඳීමේදි අප නිවසට වඩා ඉතා කුඩා ප්‍රමාණයනගෙන් යුක්ත විය. ඔවුන්ගේ ප්‍රධාන ජීවනෝපාය ලෙස ගොවි තැන වූ අතර ඉරිඟු, බාර්ලි, තිරිඟු ආදි ධන්‍ය වර්ග වගාකර විකිණිම ඉන් ප්‍රධාන විය. මෙතරම් විශාල වැවක් ගමේ පිහිටද්දී කිසිවෙකුත් වැවේ මත්ස්‍යන් ඇල්ලීමක් නොකරන බව දැකීම මට පුදුමයකට හේතු විය. මා වටපිටාව නරඹමින් ගේ පිටුපස වු අඩි පාර දිගේ වැව කරා පියනැඟූ අතර හිරු එළිය හොදින් පොළවට වැටෙද්දීත් වැව වටාවූ තුනී මිහිදුම් පටලය තුරන් වූයේ නැත. ඉවුරේ සිට වැවේ මද දුරක් දක්වා ඉදි කරණ ලද ලී වේදිකාවට නැඟි මා මද දුරක් ඉදිරියට ඇදුනෙමි..





පෙනෙන තෙක්මානය දක්වා විහිදුන කළුපැහැති ජලකඳ මා සිතට බියක් ගෙනදුන්නද මා සිතට දහිරිය ගෙන ලී කණුවක් බදා ජලතලයට එබී බැලුවෙමි. පතුලක් නොපෙනෙන අඳුරු ජලයෙන් පිරි මේ වැව කෙතරම් ගැඹුරදැයි මා නොදනිමි. කුඩා කාලයේ මා ජල ක්‍රීඩාවට ඉතා ප්‍රිය බව අම්මා මට පවසා ඇත. එහෙත් ක්‍රමයෙන් වැඩෙද්දි කුමක් දෝ හේතුවක් නිසා මම විශාල ජල තටාක වල බැසීමට ඉතා බිය වීමි. එය එසේ සිදුවීයේ මා එසේ දියනෑමට ප්‍රථම අවස්ථාවේ මුහුණදුන් අත්භූත සිදුවීමක් නිසාය. එදින මා යහළුවන් හා විනෝදය සඳහා නිවස අසළ පිහිටි කුඩා විලකට නෑමට ගියෙමි. සියල්ලන්ම වතුරට බැස කෙළිදලෙන් සිටියදී මා මදක් ඈතට ගොස් දිය යටට පිහිනා ගියෙමි. එසේ ගොස් මොහොතක් ගතවූ තැන දහස් සංඛ්‍යාත ජීවින් මා වටා රොක්ව මාගේ කණට යම් යම් දේවල් කොඳුරන්නාක් වැනි හැඟීමක් මා හට ඇති වන්නට විය. එමෙන්ම පියවි දෑසින් මට බොඳවීමකින් තොරව ඉතා පැහැදිලිව ජලය යට වූ දර්ශන දැකීමට පිළිවන් විය. බියෙන් හැකිළි ගිය මා නැවත දිය උඩට පැමිණියේ මට කුමක් වන්නේදැයි සිතා ගත නොහැකිවය. ජලතලය උඩට ආ වහාම පෙර ඇසුණු කෙඳිරිලි වැනි රහස් මට නෑසි ගියේය. මෙසේ ස්වභාවික ජලය පිහිටි සෑම තැනකදීම මාහට මෙම අත්දැකිම නොකඩවා විඳවන්නට වූ බැවින් මා ජලාශයන් වල දිය නෑම අතහැර දැමුවෙමි. එහෙත් එම සිදුවීම් වලින් ඇති වූ කම්පනයෙන් වතුර මලක් යට හිඳ වුවද මට දෑස් වසා ස්නානය කල නොහැකි විය. දෑස් වැසුණු වහාම මා විශාල ගැඹුරු ජලතලයක් පතුලේ සිටින අයුරුද කිසියම් පිරිසක් විසින් මාගේ දෙසවන් අද්දර කොඳුරන ආකාරයටද මට මැවි පෙනෙන්නට විය. මේ ගැන කිසිදිනක මා අම්මා හට නොපැවසුවේ ඇය කලබල වි මා වෛද්‍යවරයෙකු හමුවට මා කැඳවා යතැයි මා සිතු බැවිනි..


අදින් පසු කාලාන්තරයකට මාගේ දිවිය මෙහිම ගෙවෙනු ඇත. එබැවින් මාගේ බිය කෙසේ හෝ තුරන් කර ගත යුතු බව මාගේ සිත තරයේ මා හට බල කරමින් පැවසුවේය. එමෙන්ම මෙම සිදුවීම් අවසන් වරට මා අත්දුටුවේ බොහෝ කාලයකට පෙර බැවින් දැන් එම අපහුතාවය මා කෙරෙන් තුරන්වද තිබිය හැක. ඉඳින් බිය විය යුතු නොවේ. අනික මා දැන් කුඩා ළැදරියක හෝ නව යෞවනියකද නොවේ. සිත දැඩි කර ගත් මා ලී වේදීකාවේ කණුවකට බරවී එහි කෙළවරෙහි හිඳගෙන මාගේ දෙපා වතුරට වැටෙන සේ දිගහැරිමි.


ඉතා ශීතල වුවද සුවදායි හැඟිමක් දෙපා දිගේ විත් මාගේ හදවත වෙලාගන්නා සෙයක් මා අත්දුටු අතර එම සුවයට මා දෙනෙත් ඉබේ පියවි ගියේය. මාගේ හිසද ලී කණුවට බරවී ගියේය. දෙනෙත් වැසී තිබූ නිසාවෙන් දෝ පරිසරයේ විසින් නඟන සෑම කුඩා ශබ්දයක්ම මට ඇසන්නට විය. මද සුළඟ, තුරු මුදුන් එකිනෙක ගැටෙන හඬ, කුරුල්ලන්ගේ සොඳුරු ගි කියවිලි, ජලතලයේ නැඟෙන රැළි හඬ, ඒ අතරින් එක්වරම නැවතත් ඒ රහස්  කෙඳිරිලි හඬ. ඈත සිට ජීවින් සමූහයක් විවිධාකාර දේ පවසමින් නඟන රහස් කෙඳිරිලි, කෙමෙන් කෙමෙන් එය මා කරා ලංවන බව මට දැනුනි.. දෙපා ගල්වී හුස්ම වේගවත් වූ නමුදු මාගේ අතපය සොළවා ගත නොහී තැන මට සිදුවූයේ එම හඬ මා කරා ලංවන අයුරු අත්විඳීමට පමණි.


“ඇකේෂියා!“.. ඇඟ කිළිපොලා යන්නට වූයේ කණ අද්දරින්ම වාගෙ ඇසුන එම ආමන්ත්‍රණය නිසාය. දෑස් හැර බැලුවද කිසිවෙකු මා අසළ නොවූ අතර එම හඬ සුළඟ හා මුසුව ආ හඬක් බව මට ප්‍රත්‍යක්ශ විය. සැබවින්ම ඒ හඬ පැමිනියේ වා තලයෙන් නොව ගැඹුරු ජල තලයෙන් බව මට පසක් වීමට ටික මොහොතක් ගත විනි.. මා දෙපා එළෙසම වතුරේ තිබියදී එබි ජලය තුලට බැලීමි.. කළු පැහැ ජලයේ මා හට කිසිවක් නොපෙනුනනද ඒ තුලින් නැඟෙන හඬවල් මා දෙසවන් අද්දර රැව්පිළි රැව් දෙමින් ඇසේ. කිසිවෙකු මා ජලය තුලට ඇඳගැනීමට හෝ කැඳවාගැනීමට මෙන් කෙරෙන මේ ආමන්ත්‍රණයන්ගේ උච්චාරණයන් පැහැදිලි නොවුනද ඒවායේ අර්ථය මට හොඳින් පැහැදිලි විය.. දහසක් නෙතු ජලය තුල සිට මා නිරීක්ක්ෂනය කරන්නාක් වැනි හැඟීමකින් මා කිලිපොලා ගියෙමි.. ඒවායින් ඇතිවූ ආකර්ෂනයකින් දෝ මා ජල තලට තව තවත් එබෙන්නට වූ අතර තව මොහොතක් ගත වූවොත් මා වතුරට වැටෙන තරමට මා ඒ කරා ඇඳී යන්නට වීමි..


“ඇකේෂියා“….


එක්වරම මා ඒ ආකර්ශනයෙන් මිදි ලී වේදිකාවේ මැද්දට විසිවී ගියේ අම්මාගේ කැගැසිමෙනි. බියපත්ව හා දහඩියෙන් පෙඟී ගිය වෙව්ලන මාගේ සිරුර වාරු කරගත් අම්මා මා ලී වේදිකාවෙන් ඉවුර කරා මා වත්තම් කරගෙන යන්නට වූවාය.


හැරී බැලූ මාහට දැකිය හැකි වූයේ ජලතලයේ රැළි නැඟී කැළඹුමක් ඇති වී ආකාරය හා සීයා විමසිලිවත් දෑසින් ඒ දෙස බලා සිටින අයුරුය.

11 comments:

sl130 said...

lassana kathawak.

මාරයාගේ හෝරාව said...

ආයෙමත්...

පිස්සු පුසා said...

ගොඩක් ලස්සනයි සහොදරි. ගොඩක් අසාවෙන් රසවින්දා. ලස්සනට ලියන්න පුලුවන් . ඒ හැකියාව ගොඩක් අගේ කරනවා. ගොඩක් පරිවර්තන කියවන්න මන් නම් අසායි. ඒ අපේ රටේ සාහිත්‍ය බොලද ආදර කාතා හා මුදල් පදනම් කරගෙන ලියන නිසා. එත් මේවගේ දෙවල් අපේ සහිත්‍යට එකතු වෙන්න ඔනා. සුබ පැතුම්.

nimanthi said...

ඕෂන් ගර්ල් මතක් උනා ඒ වගේම Jaws.. හ්ම්ම්ම්ම්ම්ම්ම්

අනුරාධ said...

ආයෙමත් දකින්න ලැබීම ලොකූ සතුටක්....

dishanrajapaksha said...

Love your Writings Acacia, Keep writing, Waiting for the next part ;)

හා පැටික්කි (MS) said...

ආ‍යෙමත් කතාවක් අරන් ඇවිත්.........

අහිංසකි said...

දැස් අයා මම බලන් හිටියා ආයෙමත් එනකන්

දුකා said...

අපූරුයි . . . බොහොම අපූරුයි . . . ආසාවෙන් කියෙව්වා .. ඉතුරි ඒවාත් කියවන්න නොඉවසිල්ලෙන් ඉන්නවා . .

චමිදේවා said...

ඇකේශියා ආයෙත් හීනයක් දැකලා තියෙන්නේ...

නන්දු said...

ලස්සන ලි‍වීමේ රටාවක්.. අත්භූතයි වගෙයි කතාව..
ආසාවෙන් කියෙව්වා..
සුබ පැතුම් දිගටම ලියන්න..!!! :)