Sunday, June 19, 2011

කින්නර අඩවිය … 9

සැබවින්ම ඒඩ්‍රියන්ට අවශ්‍ය වූයේ මා මරා දමා විලේ කිඳුරු අධිපති වීමටද? ඒ දෑස්වල ආකර්ෂණය තුලින් මා දුටු ලෙන්ගතු බව සැබෑවක් නොවේද? ඒ සීතල දෑත් වල ස්පර්ෂයෙ මා අත්දුටු උණුසුම සැබෑවක් නෝවේද? මා සිත තවමත් ඒඩ්‍රියන් මා හට විපතක් කල බව පිළිගන්නට සුදානම් නැත. ඒඩ්‍රියන් මා වෙත ළං වද්දී මා අනාරක්ෂිත බවක් අත්වින්ද බව සැබෑය. එනමුදු මට නොතේරෙන  ලෙංගතු බවක්ද මා හට දැනුනා නොවේද? අද දිනය ඇතුලත සිදුවූ සිද්ධි දාමයෙන් බොහෝ සෙයින් විඩාවට පත්ව සිටි මා හට සෝෆාවේම නින්ද ගොස් තිබිනි.  හදිසියේම ඇහැරුනේ සිහිනෙන් මෙන් දෙසවන් අද්දර යමෙකු මුමුණන හඬිනි. තිගැස්සී ඇහැරුණ මා හට මා අසළ කිසිවෙකුත් දැක ගත නොහැකි විය. ගිනි උඳුනද නිවි යාමට ආසන්නය. මාගේ කුටියට ගොස් සුවපහසු ලෙස නිදා ගැනිමේ උවමනාවෙන් මා සෝෆාවෙන් නැඟී සිට කුටිය දෙසට පිය මනින්නට වීමි..

එවිටම… නැවතත් දෙසවන් වලට යමෙකු ඉතා වේදනාවෙන් මෙන් මා හට ආමන්ත්‍රණය කරනා හඬ මට ඇසෙන්නට විය. ඒ ඔහුම විය යුතුය.. “ඇකේෂියා…..!” ඒ හඬේ වූයේ ඉතා බැගෑපැත් දුක්මුසු බවකි. එය ඒඩ්‍රියන්ගේ තවත් එක් උපායක් දැයි මම නොදනිමි.. එහෙත් මාගේ දෙපා මාගේ කුටියට යාමට සූදානම් නැති සෙයකි..  “ඇකේෂියා…..!” ඒ හඬෙහි වු වේදනාව මාගේ සිතටද දැනෙන්නට තරම් විය. මාගේ දෙපා ආපසු හැරුනි. මාර්තා විසින් පෙරවූ බ්ලැන්කට්ටුව ඇරෙන්නට මාගේ වතේ එකදු ඇඟළුමක් නැත. ගෙයින පිටතට වන් කල්හි එහි ගැවසීගත් සීතලෙන් මා වෙව්ලා ගියෙමි.. දෑතින්ම බ්ලැන්කට්ටුව වතට සිර කර ගත් මා ඔහුගේත් මාගෙත් රාජධානිය වෙතට පියනගන්නට වීමි..

අඳුරු පටු අඩිපාර කෙළවර.. අපටම සෑදුනු කුඩා පොකුණ.. හෙට දින පූර්ණ වීමට නියමිත සඳවතිය.. සියල්ල පසුබිම් කරගනිමින් ගල්තලාවේ ඔහුට සුපුරුදු ස්ථානයේ අසුන් ගෙන නිසලව වැව දෙස බලා සිටින ඒඩ්‍රියන්.. මටත් නොදැනීම පපුව පුරවා ගත් හුස්ම මහා සුසුමක්ව මුවෙන් ගිලිහී ගියේය.. ඒ හඬට ඔහු හිස හරවා සවන් දුන්නා පමණි.. පැමිණියේ මා වග ඔහුට දැනෙන්නට ඇත. මා හට මුහුණ දීමට ඔහු අකමැති වන්නට ඇත… මා සෙමින් සෙමින් ගල්තලාව දිගේ අවුත් ඔහු සිටි ස්ථානයට ඉහලින් වූ තැනක වාඩීවූයෙමි..

“ඇයි මට එහෙම කළේ ඒඩ්‍රියන්! ඔයාට ඕන මේ වැවේ රජකරන්නද? දැන් අම්මාවත් සීයාවත් නෑ.. ඔයාට පුළුවන් මට කැමති දෙයක් කරන්න..මාව මරලා ඔයා මේ කිඳුරු කොදෙව්වේ අධිපති වෙන්න. මං මුලදි ආඩම්බර උනා.. මං කිඳුරු පරපුරක ඉපදුන අසාමාන්‍ය සුවිශේෂි කෙනෙක් කියලා.. ඒත් දැන් මට තේරෙනවා සාමාන්‍ය මිනිස්සු කිඳුරෝ අතර වෙනසක් නෑ.. මිනිස්සු වගේම කිඳුරොත් කැමති බලයට. වෙන කෙනෙක්ගේ ජීවිතේ නැති කරලා හරි.. ඉස්සෙල්ලාම මගේ තාත්තා.. දැන් මාව.. ඉස්සරහට තව කීදෙනෙක්ව මරලා දාන්න ඔයාලා සැළසුම් කරගෙන ඉන්නවාද ඒඩ්‍රියන්..? මට මේ වැවේ අධිපති කමක් ඕන නෑ ඒඩ්‍රියන්.. මම අම්මා එක්ක කලින් හිටපු තැනටම යනවා..  මේ කිසි දෙයක් නොදැනයි මං ඔයාට ආදරේ කලේ ඒඩ්‍රියන්! (ඔහු ගැස්සී මාවෙත සවන් යොමු කරයි ) ඔයාගෙත් කිසිම සුවිශේෂිත්වයක් නැහැ ඒඩ්‍රියන්. මිනිස්සුන්ටත් වඩා අන්ත, නපුරු, තිරිසන් ගතිගුණ තියෙන…………”

වහා මවෙතට පැනගත් ඔහු මාගේ ගෙලෙන් අල්වා ගල් තලාවට තබා සිරකරගත්තේය… ඒ දෑස් වලින් කෝපය වැගිරේ.. දෙතොල් වෙව්ලීමේ වේගයෙන් ඔහු කොයි මොහොතක හෝ මා මරා දමනු ඇතැයි මා අනුමාන කලෙමි..

“ඔව්! ඔයාට ඒක කරන්න පුළුවන් ඒඩ්‍රියන්! මාව මරලා දාන්න.. මගේ තාත්තව මරලා දැම්මා වගේම..” මම කෝපයෙන් කෑගැසුවෙමි..

මදින් මද ඔහුගේ ග්‍රහණය ලිහිල් විය.. ඒ දෑතට සිරවී තිබූ මාගේ ගෙල රිදුම් දෙන්නට විය.. පසෙකට හැරුණ ඔහු ඔහුගේ හිස දෑතේ හොවාගෙන නිශ්චල විය. එහෙත් ඔහුගේ උරිස් ගැස්සීමෙන් ඔහු හඬනා බවක් මට පසක් විය. සිතේ මෙතෙක් කැකෑරෙමින් තිබූ කෝපය ගින්නෙහි ලූ ඉටිගුලියක් සේ දියවී වැගිරෙන්නට විය..  මා එය දැන සිටියෙමි.. මා මරන්නට තැත් කලද ඔහුගේ සිතේ කොහේ හෝ කොනක මා වෙනුවෙන් දැල්වුනු සෙනෙහසක් ඇති බව මා දැන සිටියෙමි.. වෛරයෙන් නොසන්සිඳුවන බොහෝ දෑ සෙනෙහසෙන් නිවාලිය හැකි බව මා දනිමි. වරද කලේ ඔහු නොව. මාගේ පියා මරණයට පත් කලේද ඔහු නොව. ඔහුට ඒ සඳහා පෙළඹවීම් කලේ ඔහුගේ සිරගතව සිටින පියාගෙන් බව මම වටහා ගතිමි.. දැන් ඔහු ඒ ගැන පසුතැවින් සිටියි. ඔහු දුර්වලව සිටින අවස්ථාවේ තවත් ඔහු රිදවීමට තරම් මා දුර්ගුණැත්තියක නොවේ..

ඔහු වෙත ලිස්සා ගිය මා දෑතින්ම මා ඔහු වෙතට හරවා ගත්තෙමි.. ඔහුගේ දෑසින් කඳුළු සේ ගලා ගොස් ඇත්තේ රුධිරයයි.. ඒඩ්‍රියන්! ඔබේ සිත මෙලෙක් වී ඇති තරම කියා පෑමට මට තවත් සාක්ෂ අවශ්‍ය නැත. ඔහුගේ හිස දෙපසින් දෑතින්ම අල්වා ගත් මා මාගේ කුළුදුල් ප්‍රථම හාදුව ඒ නළල් තලය මත සටහන් කෙරුවෙමි.. ඔහුගේ දෑස් වැසී ඇත. නළල් තලයේ ස්පර්ශ වූ දෙතොල් හරහා මට ඔහුගේ සිතිවිලි පෙරලිය දැනෙන්නට විය. ඒ සිත නිවෙන අයුරු, ඒ සිතුවිලි මෙලෙක් වන අයුරු මා අත්වින්ඳෙමි.. ඒ සොඳුරු නිමේෂයෙන් නික්මුණු මා හට ඔහුගේ දෙතොලේ ඒ වනවිටත් රැඳී තිබුනු මදහස නෙත් ගැටුනි. මාගේ ලැම හරහා රෑරා විත් ඔහු මාගෙ උකුල් තලයේ ඔහුගේ හිස සඟවා ගත්තේ කුඩා දරුවෙක් මෙනි. ස්වාමියාගේ උණුසුම් ස්පර්ශයට නතුවන කුඩා පූස් පැටවකුගේ සුරතලය මට සිහියට නැඟුනි.

කාලය විදුලි වේගයෙන් ගමන් කර ඇති බව මා දුටුවේ ඈත අහස් කුසේ යන්තමින් සැඟවී යන සඳ වතිය දැකීමෙනි. එහෙත් ඔහුගෙන් සමු ගැනීමට මට සිත් නොවේ. ඔහු ඔහුගේ කිඳුරු වල්ගය ලතාවකට සොලවමින් නිශ්චල දියේ මෘදු දිය රැළි ඇති කරමින් නිසොල්මනේ ඈත බලා සිටියදී මා ඔහු දෙස බැලුවෙමි. සැබවින්ම කෙතරම් ආශ්චර්ය ජනක ජීවියෙකුද? කුඩා කල කඟවේන් අශ්වයෙකු මා සතු කර ගැනිමට තිබූ ආශාව මට සිහි නැඟුනි. එහෙත් අද මාසතුවී ඇත්තේ කිඳුරෙකි. ඔහු මට පමණක් අයිති ජීවියෙකි.

මා සෙමෙන් මාගේ අත්ල දිගු කර ඔහුගේ හිස මත ඇඟිලි ස්පර්ශ කළෙමි. ඔහු හැරී නොබැලුවේය. ඉන් දිරිය ලද මා මාගේ ඇඟිලි තුඩු සෙමින් හිස දිගේ ඔහුගේ කන් පෙති හරහා කම්මුල තෙක් ස්පර්ශ කරමින් ගෙන ආවෙමි. මාගේ ඇඟිලි තුඩු එසේ තිබියදිම ඔහු හිස මා දෙසට හැරවීය. දැන් මාගේ ඇඟිලි ඔහුගේ දෙතොල මතය. මා ඉන්ද නොනැවතී ඒ මුහුණ පුරා මගේ ඇඟිලි ස්පර්ශ කරවූයෙමි. ඉන් ඔහු මදින් මද නොසන්සුන් වන ආකාරය ඔහුගේ කිඳුරු පාදය කැළතී ඇති වන දිය රැළි වලින් මට සිතා ගත හැකි විය.

Mermaidඑක්වරම මාගේ අත්ල සිර කර අල්වා ගත් ඔහු හිඳ හුන් තැනින් දියට බැස මාගේ පාදයෙන් අල්වා මා ඔහු කරා ඇද ගත්තේය. ගල් තලාවේ වූ දිය සීරාව නිසා මා පහසුවෙන්ම ලිස්සා ගොස් වතුරට වැටුනේ එතෙක් මා පොරවාගෙන සිටි බ්ලැන්කට්ටුව ගල් තලාවේ තනි කර දමාය. ගිලෙන්නට නොදී මා සිර කර බදා ගත් ඔහු මාගේ දෙපා ඔහුගේ ඉඟ වටා එති යන පරිදි මා ඔසවා තබාගත්තේය. ඔහුගේ ඒ ආකර්ෂනීය දෙනෙත් අඩවන් කර අයදින්නේ කුමක්දැයි මාදනිමි. නොඉවසිලි කාර ඒ දෙතොල් මදින් මද මා දෙතොල කරා ළං වන්නට විය. ඔබෙන් සැඟවිය යුතු නොවේ. එම රුවෙන් වශීකෘතව සිටි මාද මේ මොහොත හොර රහසේම සිතෙන් බලාපොරොත්තු වූ මොහොතකි.  තව දුරටත් මේ සොඳුරු අරුමැසිය ප්‍රමාද කිරීමට මැලි වූ මා දෑතින්ම ඒ ගෙල බදා ඔහුගේ දෙතොලට බර වූයෙමි.. අප දෙස බලා සිටින තුරු ලතාවන් ගෙන් සැඟවෙන්නට මෙන් ඔහු මා හා සිටි ඉරියව්වෙන්ම පොකුණු දිය පතුලට ගිලී ගියෙමු……

6 comments:

මාරයාගේ හෝරාව said...

හ්ම්ම්ම්...
විය යුතුසේම...

පිස්සු පුසා said...

අනිවා මාරයො...

mahima said...

ela ela
parakkku karanna rpa

අහිංසකි said...

ම්ම්..............

චමිදේවා said...

ඒඩ්‍රියන් ඇයි ඇකේශියාව මරන්න ගියේ, තාත්තා නිසාමද...මට මේක හිතාගන්න බෑ...
බලමු ඊලඟ කොටසත්...

සුදු හංසි said...

:D :D