Thursday, June 16, 2011

කින්නර අඩවිය … 8

දෑස් හැර බලන කල්හි මා හිසට ඉහලින් නිල් අහසද මාගේ මවගේ මුහුණද දැක ගත හැකි විය. සිදුවූයේ කුමක්දැයි මෙනෙහි කර ගැනීමට මට මොහොතක් ගත විය. අවසන් වතාවට මා අඳුරු ජලතලයේ ගැඹුරු පත්ලට ඇදී යනවිට ඒඩ්‍රියන් මා ගිලී යාමට ඉඩහැර ඉහල වැව් තලයේ සිට බලා සිටියා මට මතකය. ඒ සමඟ මා අත්ලේ ගැටුණ යමක මා දැඩි ලෙස අල්වා ගත්තා මට මතකය. අම්මා හඬමින් සිනා සේ. කුමකට දැයි මා නොදනිමි.. යන්තම් හිස ඔසවා නැඟී සිටි කල්හි මා එතෙක් සැතපී සිටියේ අම්මාගේ උකුලේ බව මට වැටහුනි.. මාගේ කිඳුරු වල්ගය තවමත් එලෙසම පවති.. මම මහත් අපුලෙන් ඒ දෙස බලා සිටින්නට වූයේ එය මට දුන් වේදනවා සිහිවූ නිසාවෙනි.. අම්මාත් මමත් සිටියේ පොකුණු ඉවුරේය.. අම්මා හඬන්නේ මා හට විපතක් නොවී බේරුන බැවින් වන්නට ඇතැයි සිතූ මම ඇය සැනසීමට ඈ දෙසට හැරුනෙමි.

අද දින මට මෙතරම් කම්පනයන්ට මුහුණ දෙන්නට සිදු වන්නේ  ඇයි දැයි නොදනිමි.. මාගේ මව පොකුණ අද්දර ඉවුරේ මා හට නැවත සිහි එන තුරු මාගේ හිස සතපාගෙන සිට ඇත්තේ ඇගේ කිඳුරු උකුලේය.

“අම්මා……….! මේ මොකද?” මාගෙන් හඬක් පිට නොවුනි . එහෙත් එය අම්මාට ඇසී ඇත.  අම්මා හැඬිම නවතා මා දෙස බැලිය.. ඇගේ මුහුනේ වූ සන්තාපය ඉවත් වී කෝපය හො වෛරය පිරී යන ආකාරය මා දුටුවෙමි.. නොසීතු මොහොතක ඈ ඇගේ අත්ල වේගයෙන් මාගේ කම්මුල් හරහා යවා මට අතුල් පහර කිහිපයක් එල්ල කලේ වියරුවෙන් මෙනි.. ඒ අතර තුරම නගරයට ගොස් සිටි සීයාද අඩි පාර දිගේ දිව විත් අම්මා පසෙකට කර දැමීය..  අප දෙදෙනාගේම කිඳුරු වල්ග දුටු සීයා විපක්ෂිත වී අඩි කිහිපයක් පිටුපසට පිය මැනිය..

මා අතින් ඇදගෙනම වතුරට බැස ගත්තා අම්මා මාගේ දෑතින්ම අල්ලා දෙනෙත් වසා යාඥාවකදී පරිදි දෙතොල් සොලවා යමක් මුමුණන්නට විට.  සීයා මාර්තා හට අඬගසමින් අඩිපාර දිගේ නැවතත් නිවස වෙත පිය නගන්නට විය. මාගේ කිඳුරු වල්ගය දිගෙ යමක් එතී විත් එය දෙබෑ කර මාගේ සුපුරුදු මිනිස් දෙපා ඇති වන අයුරු මාහට ජලතලය විනිවිද දැක ගත හැකි විය. එය මා කිඳුරියක වූ මොහොතේ තරම් වේදනාත්මක අත් දැකීමක් නොවීය. මා හා සමාන්තරව අම්මාද කිඳුරු රුවෙන් මිනිස් භවය ලබමින් සිටියාය.. විශාල බ්ලැන්කට් දෙකක් අතැතිව දිව ආ මාර්තා පොකුණේ සිදුවන ඉන්ද්‍රජාලය දැක මුව අයා ගල් ගැසි මමත් අම්මාත් දෙස බලා සිටින්නට විය.. නිරුවතින්  සිටි අම්මාත් මාත් බ්ලැන්කට්ටුවෙන් පොරවා ගොඩට ගත් මාර්තා මා වත්තම් කරගනිමින් අම්මාද පෙරටු කරගෙන නිවස වෙත පිය නැගන්නට විය.

නිවසට ගොඩ වූ සැනින් මහා විප්ලවය ඇරඹිනි.

“Acacia, Don’t you ever do this again!” මහා හඬින් අම්මා මට බැන වදින්නට විය. මට බොහෝ දෑ සඟවමින් බැන වදින ඔවුන් කෙරේ මටද තරහක් ඇති විය. අම්මාත් සීයාත් දෙස ඔරවා බැලූ මා ගිනි උදුන ආසන්නයේ වූ පුටුවේ වාඩි වුයෙමි. “ මට දැන්වත් ඇත්ත කිව්වේ නැතිනම් මං ආයේ ඒ වැඩේ කරනවා මයි..” අම්මා ගැස්සී මදෙස බැලුවේ මා මෙතරම් මුරණ්ඩු වනු මින් පෙර දැක නොතිබි නිසා වන්නට ඇත. හිස වනා අම්මා සන්සුන් කල සීයා මා ඉදරියේ වූ පුටුවේ අසුන් ගත්තේය.

“ඇකේෂිය.. අපි ඔයාට සමහර දේවල් හැංගුව බව ඇත්ත. ඒත් ඒ ඔයාගේ හොඳට. ඒත් මේ දේවල් මේ විදියට සිද්ධ වෙනවා නම් අපිට තවත් ඒවා ඔයාගෙන් හංගන්න අවශ්‍ය නෑ.. ඔයාට මං එදා අපෙ අතීතයේ ලස්සන පැත්ත විතරයි කිව්වේ. ඒත් ඒ අතීතයේ අඳුරු යුගය තාමත් මේ මිස්ටික් ලේක් වල රජකරනවා. මම එදා ඔයාට අන්තිමට කිව්වා මතක ඇති අසZාරියා පරපුරේ අන්තිමට ඉපදුණූ කිඳුරුන් දෙදෙනා ගැන..”

“ඔව් මට මතකයි.. මෝගන් මගේ තාත්තා. සෙzන්, ඒඩියන්ගේ තාත්තා..”

“ඔව් ඇකේෂියා.. මේ විලේ කිඳුරු අධිපතිත්වයට බෙහෙවින්ම සුදුස්සා උනේ ඒ දෙන්නාගෙන් වැඩිමලා වුන ඔයාගේ තාත්තා.. මෝගන් ! ඒත් සෙzන්ට අවශ්‍ය උනා වැවේ කිඳුරු අධිපති වෙන්න. මෝගන්, සයිරින් හා කැස්පියන් යුවළගේ ආශිර්වාදය ලබාගෙන වැවේ අධිපති බවට පත් වෙන දවසේ මේ වැව මිහිපිට දිව්‍යලෝකයක් බවට පත්වෙලා තිබුනා. ස්වභාවධර්මයත් ඔයාගේ තාත්තගේ පදවිය ගැන බොහොම සතුටට පත් උනා. මල් වැහි වහින්න ගත්තා. මේ ගමේ හැම තැනම දීප්තිමත් හිරු රැසින් බැබලුනා. ගමේ මිනිස්සුන්ගේ ඇස්වැන්න පිරිලා ඉතිරිලා ගියා. හැමෝම හිටියේ සතුටෙන්! එක්කෙනෙක් ඇර. සෙzන්! එයා සැළසුම් කරා ඔයාගේ තාත්තව මරලා දාන්න. ඔව්! එදා රෑ වැව පතුලේ තිබුන සාදයකදි සෙzන් ඔයාගේ තාත්තගේ නෙළුම් යුෂ බඳුනට තරු මාළුවන් ගේ විෂ එකතු කරා. තරු මාළුවන්ගේ විෂ! එය ටිකෙන් ටික අපව දුර්වල කරලා අපේ හදවතේ සැගවෙලා තියෙන ජීව මුතු ඇටය වමාරන්න සලස්සවනවා. ජීව මුතු ඇටය වමාරපු ඊලඟ මොහොතේම කිඳුරන් මරණයට පත් වෙනවා ඇකේෂියා.. ආයේ සුව නොවෙන්නම ඔවුන්  ස්වභාවධර්මයා හා නොඑන ගමන් යනවා.. සාදයෙන් පහුවදා උදේ ඔයාගේ තාත්තත් ඒ වගේම සදහටම අපෙන් ඈත් උනා ඇකේෂියා..”

දෙපතුල් සීතල වන්නට ඇත. බොරළු කැටයක් උගුරේ සිරවී ඇත්තාක් සේ වේදනවකින් මම පෙළි ගියෙමි. දෑසින් රෑරා වැටෙන කඳුළු වලට මා බාධා කරන්නට නොගියෙමි..

“ඇකේෂියා.. සෙzන්ට ඒකට දඬුවම ලැබුනා.. කැස්පියන් ඔහුව බටහිර කඳු පැත්තේ තියෙන විශාල ඉතා ගැඹුරු අගාධයේ කාටවත්ම හොයාගන්න බැරි කුහරයක සිර කරා. ඔහු අදටත් එතන ඉන්නවා කියලයි අපි හිතන්නේ.. ඔහුගේ මුළු පවුලම සයිරින් මාතාවගේ ශාප ලද්දන් බවට පත් උනා. ඒත් ඒඩියන්! එයාව මම දන්නේ පොඩි කාලේ ඉඳලමයි. ඒඩ්‍රියන් මෙහෙම ඔයාව මරන්න උත්සහ ගනී කියලා මම කවදාවත් අනුමාන කලේ නෑ. මොකද ඔහු බොහොම පසුතැවිලි උනා එයාගේ තාත්තා කල දේ ගැන. ඇකේෂියා ඔයයි අම්මයි එන්න කලින් මම ඒඩ්‍රියන් එක්ක ගොඩාක් දේවල් කතා කරලා තියෙනවා. ඒඩ්‍රියන් මට පොරොන්දු උනා එයාගෙන් ඉදරියට අපේ පරපුරට කිසිම හානියක් නැති බව. මම එයාව විශ්වාස කලා.. ඒත් එයාගේ හිතෙත් මෙතෙක් කල් කැකෑරෙමින් තිබිලා තියෙන්නේ පළිගැනීමේ චේතනව විතරමයි.. ඒඩ්‍රියන් දැනගෙන ඉඳලා ඇති පළමු කිඳුරු රෑපාන්තරනයේදි එය කළ යුත්තේ නොගැඹුරු ජලයේ.. නැතිනම් අළුතින් උපන් කිඳුරු වල්ගය පාවිච්චි කරන්න දන්නැතිව අපි ගිලෙන්න පුළුවන්. අනික පලවෙනි රෑපාන්තරනයේදි මුහුණදෙන වේදනවා නිසා අපේ මතකය සිහිය විකෘති වෙනවා. එතකොට අපිට මොකද වෙන්නේ කියලා අපිට හිතා ගන්න බෑ. හොඳ වෙලාවට ඔයාට මොනවා හරි විපතක් වෙනවා කියලා අම්මට දැනිලා තියෙනවා. ඒකයි එයා කිඳුරු වෙස් අරන් ඔයාව හොයාගෙන ආවේ.. අම්මාව දැකලා ඒඩ්‍රියන් අතුරුදහන් වෙලා තියෙනවා.”

මා හට එය පිළිගැනීමට අපහසුය. ඒ දෑස්! ඒ සිනහව මට දැනුදු මැවී පෙනේ. එහෙත් ඒ අතරම මා දිගේ ගිලී යාමට ඉඩහැර ඔහු ඉහල සිට බලා සිටි අයුරු ද මට සිහි විය. අහෝ ඒඩ්‍රියන්.. මා ආදරය කලේ මාගේ පියාගේ ඝාතකයාගේ ලෙයින් උපන් ඔබටද? ඔබ මෙතෙක් කල් මා හට ලංවූයේ මා වෙනුවෙන් ඇතිවූ සෙනෙහසකට නොවේද? ඉවසා ගත නොහැකි තැන මම හිස දෙදනේ හොවා හඬන්නට වීමි..

“ඇකේෂියා, අඬන්න එපා.. මෝගන්ගේ මරණයත් එක්ක නැතිවෙලා ගිය සතුට සාමය නැවතත් ඔයා සහ ඒඩ්‍රියන් හරහා මේ මිස්ටික් ලේක් වලට ගෙන එන්නයි මට ඕනෑ උනේ.. ඒත් ඒඩ්‍රියන්, මට ද්‍රෝහි උනා. සයිරින් හා කැස්පියන්ගේ ආශිර්වාදය දැන් තියෙන්නේ ඔයාටයි.. මේ වැවේ අධිපතිනිය වෙන වරම තියෙන්නේ ඔයාටයි.. ඔයා එක වචනයක් කිව්වොත් ඒඩ්‍රියන් එක්ක එයාගේ මුළු පවුලම මේ වැවෙන් අන්තරස්දාන කරලා දාන්න කැස්පියන්ට පුළුවන්. ඉන් පස්සේ අපි! අපිම විතරයි මේ කිඳුරු කොදෙව්වේ සාමාජිකයන් වෙන්නේ.. ඇකේෂීයා. ඔයාගේ තිරණය මත තමයි හැමදෙනාගේ අනාගතය තීරණය වෙන්නේ ඇකේෂියා. හොඳට හිතන්න. බුද්ධිමත්ව හිතන්න, ඔයාගේ තාත්තා හරිම බුද්ධිමත්. මම හිතනවා ඒ ගුණම ඔයාටත් තියෙනවා කියලා. ඒ ඔස්සේ ගිහින් හිතන්න ඇකේෂියා. ඔයාට ඒ දේ කරන්න පුළුවන්“

මා සමීපයට ආ සීයා මාගේ හිස අතගා හැරී ඔහුගේ කාමරය වෙත පිය නැඟීය. මදෙස බලා සිටි අම්මාද දීර්ඝ සුසුමක් හෙලා මා තනිකර යන්නට ගියාය. ඉතුරු වුයේ මා පමණකි. සේ සා අත්දැකීම් සමූහයක් මා සිතට බර වැඩිය. කඳුළු පිසදාගත් මම අසුන් ගෙන සිටි පුටුවේ හාන්සි වී සිතන්නට පටන් ගතිමි…

7 comments:

මාරයාගේ හෝරාව said...

හ්ම්ම්ම්...

හංසි said...

හරිම ලස්සනයි... මේ වගේ කතා වලට මම ගොඩක්ම ආසයි. කියවන්න ආස හිතෙනවා.

dishanrajapaksha said...

නියමයි, waiting for the next part

දුකා said...

Maxxxxxxxxx

mahima said...

kiyanna deyak nee

සුදු හංසි said...

ඒඩ්‍රියන් නපුරෙක්..?? හපොයි...

ireshasy said...

කිදුරොත් මෙහෙමද?? මේ හීනේ දකිද්දි නම් ඔයා හීනෙන් බය වෙන්න ඇති..