Tuesday, June 14, 2011

කින්නර අඩවිය … 7

ඔහු හා ගෙවූ දින කිහිපය තුල මා කිඳුරුන් ගැන ඇතුලු බොහෝ දෑ ඉගෙන ගතිමි. එහෙක් ඔවුන් දෙදෙනාම පවසන දෙයින්ද අම්මාගේ අසාමාන්‍ය නිහඬතාවද මා නොදන්නා තව බොහෝ දෑ මේ කිඳුරු කොදෙව්වේ ඇති බව මට සිතේ. කිඳුරු පරපුරේ මිනිසුන් හටද කිඳුර වෙස් ගත හැකි බව සීයා පැවසුවා ඔබට මතක ඇත. ඒඩ්‍රියන් හා ගත කල දින කිහිපය තුල මා හටද කිඳුරු වෙස් ගැනිමේ අපමණ ආශාවක් ඇති වී ඇත. සීයාහට දහස් වතාවක් බැගෑපත් වුවද ඔහුගේ එකම පිළිතුර වූයේ එය ඉතා අසීරු කටයුත්තක් බවත් මා කිඳුරු වෙස් ගැනීමට ඔහුගෙන් කොහෙත්ම අවසර නොලැබෙන බවකි. එහෙයින් මා ඒඩ්‍රියන්ගේ පිහිට පතන්නට වීමි. මා ඔහු සොයා ගොස් මටද කිඳුරියක වීමට අවශ්‍ය බව පැවසූ මොහොතේ ඔහුගේ වතේ වූ හැඟීමට මට ඔබට වචනයෙන් විස්තර කල නොහැක. එය සතුටක්ද, තැති ගැන්මක්ද නැතහොත් කෝපයක්දැයි මහට තේරුම් කර ගත නොහැකි විය. කෙසේ නමුත් වැඩි දුර බැගෑපත් වීමකින් තොරව මාගේ කිඳුරු පෙරලියට  උදව් වීමට ඔහුගේ කැමැත්ත ලබාගැනීමට මට හැකි විය. ඒ අනුව අප තෝරා ගත්තේ සියා නගරය කරා යන දවසකි.

ඒඩ්‍රියන් පැවසූ ආකාරයට කිඳුරෙකු බවට පත් විම කුඩා කාලයේ සිට පුරුදු පුහුණු විය යුතු දෙයකි. මනස එක් තැන් කරගනිමින් කිඳුරෙකු වීමට ඇති වුවමනාව අප යටි සිතට දැනෙන ලෙස ඉතා බලවත් ලෙස සිතෙන් මෙනෙහි කල යුතු වේ. ආරමිභයේදි එය මදක් අසීරු වන අතර කල් ගත වද්දී  මනසෙන් අපගේ වෙස් පෙරළිය අප හට මැනවින් පාලනය කල හැකි වන්නේය. එහෙයින් මාගේ පළමු රෑපාන්තරන පාඩම වුයේ සිත එක් තැන් කර ගැනීමයි.. සීතල ජලයේ අඩක් ගිලී දෙනෙත් වසා සිත සන්සුන් කර ස්වභාවධර්මය හා සිතින් එක් වීම සැබවින්ම චමත්කාර ජනක අත්දැකීමක් විය. මොහොතකින් මාගේ හදගැස්මද වැවේ නැගෙන දියරැළි වල රිද්මයද එක හා සමානව නැගෙන්නට විට. එසේ සිට බොහෝ වේලාවකට පසු දෑස් හැර බැලු මා හට මා හා සමාන්තරව ජලයේ පාවෙමික් මදෙස බලා සිටි ඒඩ්‍රියන් දැක ගත හැකි විය. මද සිනා පෑ ඔහු ගල් තලාවෙන් එපිට වැව දෙසට අත පෑවේ එහි යායුතු බවක් කියා පාමිනි. පොකුණනෙන් පිට ජලතලයේ පිහිනීම නුපුරුදු වුවද ඒඩ්‍රියන් මා හා සිටින නිසාවෙන් මා අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නොවේ යැයි මා සිතුවෙමි.  මා ද කිඳුරියකි. එබැවින් මා බිය යුතු නොවේ. මේ වැවද මාගේ නිවහනකි. ඉඳින් මා ඒඩ්‍රියන් හට ඉඟිකර තරඟයට මෙන් ගල් කුලෙන් සෑදුනු විවරය හරහා වැව කරා පිහිනීමි.. මාගේ එම ක්‍රියාවෙන් මහත් සතුටට පත් ඒඩ්‍රියන්ද උරුවම් බාමින් මා පසුකර පිහිනීමට පටන් ගත්තේය. සැබවින්ම එය වෙනමම ලෝකයකි. ඉහලින් නිල් අහසද ඈතින් පෙනෙන ඉවුරද සීමා කරගත් වැව් තාවුල්ල මා මෙතක් සැළකිල්ලකට නොගත්තේ ඇයි දැයි මා හට පසුතැවීමක් ඇති විනි. තමා පසු පස හඹා එන සේ ඉඟි කල ඒඩ්‍රියන් වේගයෙන් ඉදිරියට ඇදී ගියෙන් මාද වෙහෙස නොබලා ඒ පසුපස පිහිනන්නට වීමි..

එසේ බොහෝ වේලාවක් පිහිනා මා හිස ඔසවා බැලූ කල්හි මා ඉදිරියෙන් පිහිනමින් සිටි ඒඩ්‍රියන් පෙනෙන්නට නොවූයෙක් මා මදක් පසුබාමින් ජලතලයේ පාවෙන්නට පටන්ගත්තේ විමසිලි දෑසින් වටපිට නිරීක්ෂණය කරන අතරතුරය. මෙම ස්ථානය මා මින් පෙර දැක නොතිබූ අතර වැවේ එහා කෙලවර වුයේ අඳුරු පෙනුමැති උස් කඳු යායකි. එහි වූ උසැති ගස් හා අඳුරු සෙවනැලි මා මහත් බිය ගැන්වීය.  මාගේ සිරුර කිලිපොලා යන්නට වූයේ මේ සීයා මා හට කිසිදාක නොයන ලෙස පැවසූ වැවේ බටහිර කඳු පෙදෙස බව පසක් වීමෙනි.. කුමක් හෝ අනතුරක සේයාවක් මාගේ සිත කොනක මා හට පීඩා කරන්නට විය. නම කියා කෑගැසුවද ඒඩ්‍රියන් පෙනෙන්ට හෝ නොවීය. ආපසු පිහිනීමට හැරෙත්ම ඒඩ්‍රියන් මා ඉදිරියේ පෙනී සිටියේ මා තවත් තිගැස්මට ලක් කරමිනි. නැවතත් ගුප්ත සිනාවක් පෑ ඔහු මා මෙහි කැඳවාගෙන ආවේ මාගේ කිඳුරු අභ්‍යාසයට පහසුවක් වීමට බවට ඔහු ඒත්තු ගැන්වීය. තවදුරටත් ඉඟි කරමින් ඔහු පැවසූයේ මා දැන් මාගේ කිඳුරු රෑපාන්තරනයට උත්සහකල යුතු බවකි. ඔහු නම් කිසි සේත් තේරුම් ගැනීමට නොහැකි කිඳුරෙකි. විටෙක මා බිය ගන්වන අතරම විටෙක මාගේ මිතුරෙක්ව මා හට උපකාර කරයි.

ඔහු පැවසූ ආකාරයට  නැවතත් ස්වභාවධර්මය හා මාගේ සිතුවිලි එක්තැන් කර මා දැන් කිඳුරියක් විය යුතු යැයි යටි සිතට ඇසෙන්නට සිතෙන් ජපකරන්නට පටන් ගතිමි. එසේ කාලය මදින මද ගෙවී යාමේදී සැබවින්ම මාගේ සිරුරේ යම් කිසි පෙරළියක් සිදුවෙමින් පවත්නා බව මා හට වැටහෙන්නට විය. ඇඟිලි කරු අතරෙ හට ගත් ඇදීමක් බඳු වේදනාවක් සමඟ ඒවා අතර ඒඩ්‍රියන්ගේ මෙන් සියුම් සමක් හට ගත්තේය.. මාගේ දෑගිලි අතර එසේ ජලජ මැඩියෙකුගේ මෙන් සම වැඩෙන්නට වූ කල්හි පළමු වරට මා කිඳුරු වෙස් ගැනීමේදි ඇති විය හැකි අපහසුතා ගැන බියක් මාගේ සිතේ ඇතිවිය. මාගේ හිස තුලද යම් කිසි වෙනසක් සිදුවන්නට යන බව කියා පාමින් දරුණු ලෙස පුපුරු ගසන්නට විට.. ඒත් සමඟම හිසේ පිටුපස දිගේ විහිද ගිය එම වේදනවා බෙල්ල හා පිට දිගේ වූ කශේරුකා කරා ගමන් කරන්නට විය. මාගේ හිනෙන් පහල පෙදෙසේ වූ සම යමෙකු උල්වූ පිහියකින් ඉරා දමන්නාක් වැනි වේදනවාකින් මා මිරීකි ගියෙන් නොදැනීම මා අම්මා යැයි හඬ ගසා කෑගසන්නට වීමි. ඒ වේදනවාට ඔබ එක්වරක් හෝ මුහුණ දුන්නේ නම් ඔබ නැවත කිසි දිනෙක කිඳුරියක වීමට සිහින නොදකින්නවා ඇත. හිරු එළියට නිරාවරණය වූ මා සිරුරේ සියළු තැන් ගින්නෙන් පිළිස්සෙන්නාක් බඳුය. දෑස් නීලංකාරවී මා සිහි නැති වීමට ආසන්නය. මාගේ සිරුරේ පහල පෙදෙස යමෙකු අමු අමුවේ සම ගලවා දමන්නාක් වැනි වේදනාවකින් පිරී ගිය අතර දෙපා එකට බැඳී කටු සහිත රළු පොරවනයකින් මාගේ දෙපා වැසී යන ආකාරය මා අත්වින්දෙමි.. පිට පෙදසින් සම පසාරු කර ගනිමින් තලයක් මතු වන්නා සේ වරල් මතු වන්නට විය. සිරුරේ තැනින් තැන මතුවූ කොරපොතු වලට කැපි ගිය මාගේ සියුම් ඇඳි පිලි ජලතලයේ තැනින් තැන පාවෙන්නට විය. 

මෙසේ මා මිහිපිට  නිරයක වේදනවා ලබමින් කිඳුරියකට පරිවර්තනය වෙමින් සිටින කල්හි ඒඩ්‍ර්යන් දෑසේ කිසිඳු හැගීමක් නොමැතිව දෑත් බැඳ එදෙස බලා සිටියා පමණි. දහසකුත් එකක් වේදනවා මැද මාගේ කිඳුරු වල්ගය සෑදෙමින් සිටින මොහොතේ මාගේ සමබරතාවය ගිලීහි පෙර මෙන් මා හට ජලතලයේ රැඳෙන්නට නොහැකි විය. දරුණූ වේදනවා නිසා මා හට පිහිනීමට අමතකව මා ජල තලය තුලට ගිලී යන්නට විමි. ජීවිතයේ කිසි දිනෙක මා මේසා විශාල වේදනවාක්, මරණ බියක් හා කම්පනයක් එකවර අත්වඳි නොතිබුනි. මාගේ දෑසින් කඳුර වැගිරෙන්නට විට. වතුර පෙවී මාගේ පෙනහළු පිපිරෙන්නට බඳුව රිදුම් දෙන්නට විය. අත් ගසමින් මට පාලනය කර ගත නොහැකි මාගේ කිඳුරු වල්ගය ගසමින් මා ජීවිතය සොයා මරු විකලෙන් දඟලන්නට වීමි. ඒඩ්‍රියන් හට අඬගසා කෑගසුවද මාගේ මුවින් වචන පිට නොවුනි. ඒ වෙනුවට මාගේ මුවින් පිට වුයේ මෘගයෙකුගේ වැනි වූ හැඬිමක් පමණි. මා ජීවිතයත් මරණයත් අතර දෝලනය වෙමින් සිටි ඒ මොහොතේ ඒඩ්‍රියන් පසෙකට වී මේ සියල්ල නරඹමින් සිටියි. ඒ මගේ අවසන් මොහොත වන්නට ඇත. කොතෙක් වැව් තලයේ ඉහලින් රැඳෙන්නට උත්සහ දැරුවද ඒ සියල්ල නිශ්ඵල වී මා දිය කඳෙන් පහලට ඇඳී යන්නට වීමි. හාත් පස අඳුරු විය. මාගේ සිතේ නොයෙක් මනෝ විකාර ඇඳනේනට විය. දෑස් පියවෙන්නට මත්තෙන් මා ඒ අඳුරු ජලතලයට ඉහලින් අඳුරු උමගක ඈත කෙළවර පෙනෙන දුර්වල එළියක් සේ පෙනෙන හිරුට අත පෑවෙමි. මාගේ පෙනහළු වල රැඳී තිබු අවසන් හුස්ම පොදද මුවින් ගිලිහී ජලතලයට එක් වද්දී මාගේ දෑස් වැසී ගියේය..

අම්මා………………………………….! මිය යමින් සිටි මාගේ සිත හඬගසා කෑගසන්නට විට. මා ජලතලයේ පතුලට අදෙමින් සිටි ඒ මොහොතේ යම් කිසිවෙකුගේ මෘදු දෑතක් වැනි දෙයක් ඉහලට එසවී තිබූ මාගේ අත්ලේ ගැටුනි. සිතේ කොනක ඉතිරිව තිබූ එකම එක බලාපොරොත්තුවකින් යුතුව හා ඒ අත දැඩිව අල්වා ගතිමි. 

9 comments:

චමිදේවා said...

ඒ ඒ අවස්ථාවන් විස්තර කරනා හැටි නම් අපූරුයි....

නචියා said...

මේ කොටසත් බැලුවා. කිදුරෙක් වෙන එක මෙච්චර වේදනාවක්ද.
ඊලග කොටස දාන්න ඉක්මනට.

මාරයාගේ හෝරාව said...

ඇත්තටම ඔයා කිඳුරියෙක්ද..? එහෙම නොහිතෙන්න විදියක් නැහැ..ඒ තරමට අත්දැකීම සජීවියි...

අහිංසකි said...

දැන් ඔයාගේ ලිවීමේ අවසානය කුතුහලය හුගාක් සාර්ථකයී කියල දැනෙනවා හරිම ලස්සනයී

මද්දහන said...
This comment has been removed by the author.
මද්දහන said...

ඇකේෂියා සුන්දරයී

ඔයා මුල්කාලේ ලියල තියෙන්නේ මගේ හිතද කියලා මට හිතෙනවා..

එන්න මගේ නිවහනට

http://madhdhgahana.blogspot.com/
හැංගීමක් වචනයකට ගලපන මන:කල්පිතයක්

හා පැටික්කි (MS) said...

සජීවි චිත්‍රපටියක විනාඩි කිහිපයකට අතරමං උ‍නෙමි.

හැමදාමත් ව‍ගේ නියමයි අක්කා........

amal p.samaraweera said...

math giya sathiye indan tama kiyawanna patan gatte..digatama liyanna..mama subhapathanawa!!

ireshasy said...

අනේ පව්!!!