Thursday, June 9, 2011

කින්නර අඩවිය … 4

 

Mermaids

මුළුතැන් ගෙයි රැජින මාර්තාගේ ගී හඬින් අවදි වූ මා දෙනෙත් කරකවමින් අවට බැලීමි.

“ගුඩ් මෝනින් ඇකේෂියා ඩියර්, හියර්ස් යුඅ ටී“

“තැන්කිව් මාර්තා“

ඇය ගිය පසු මම තේ කෝප්පයද ගෙන කාමරයේ විවෘතව තිබූ ජනේලය දෙසට පියනැඟීමි. එය සුන්දර උදෑසනකි.. ජනෙල් පඩියට මාගේ සිරුර වාරු කර ගත් මා වැව දෙස බලාගත් වනම තේ පානය කරන්න පටන් ගතිමි.

එසැනින් පෙර දින රැයේ  මා මුහුණ පෑ අත්භූත සිද්ධිය මාගේ මතකයට ගලාගෙන එන්නට පටන් ගත්තේය. එය සැබෑවක්ද නැතිනම් මා දුටු භයංකාර සිහිනයක්ද? එය සැබෑවක් නම් ඉතා බියකරුය.. එහෙත් එය සිහිනයක් නම් ඉතා සුන්දර වනු ඇත. මා ඔහුගේ මුහුණ මවා බැලිමට වෑයම් කලෙමි. ඔහු ජලයෙන් මතුවී මා දෙස බලා සිටි අයුරු.. ඒ තියුණු දෑසේ රැඳී තිබූ ආකර්ෂනීය බැල්ම… මඳ සඳ එළියෙන් වුවද දීප්තියෙන් බැබලුන ඒ පැහැපත් සම. දිය බිඳු වැගිරෙමින් තිබූ ඒ දිගැති කෙස් කැරළි….. එතෙක් මා දැක තිබූ සියළු සුන්දර ගුණාංග එක්කාසු කොට නිර්මාණය වූ ඔහු ග්‍රීක දේවකතාවන් හි කියවෙන දේව පුත්‍රෙයකු අභිබවා යන රැවකින් යුක්ත විය...  සිහිනයේදි බිය ගෙන දුන්නද දැන් ඔහු ගැන සිතේ ඇති වන්නාවු සිතිවිලි වල බිය යන්න මට සොයා ගත නොහැකි විය.. ඒ රැවෙන් සිතේ කොනක නිදා සිටි හැඟුමක් විකසිතව මා හද කිති කවන චමත්කාරය නිසා මා දිගු හුස්මක් ගෙන දෑස වසා ගතිමි….

“ඇකේෂියා”… ඔබ විශ්වාස කරන්නේද?.. ඒ සිහිනෙන්ද ඇසුන හඬමය.. මාගේ පිටුපසින් නැතහොත් මාගේ දෙසවන් අද්දරම කෙරෙන ඒ ආමන්ත්‍රණය කොහෙන් කවුරුන් විසින් කරන ලද්දක් දැයි මට නොතේරේ.. දෑස් හැර බැලූ මා හට වැව් ඉව්රේ අඳුරු කොනක තිබූ හෝ සිටි යම් කිසිදෙයක් දියට පැනිමෙන් ඇතිවූ ශබ්දය හා දියරැළි දක්නට හැකි විය..

“සීයා.., “ මා සීයා සොයා ගියේ අද මේ සියළු අභිරහස් වලට තිත තබා සත්‍ය කුමක්දැයි සොයා ගනිමි යන අරමුණෙනි.. උදෑසන ආහාරය නිම කල සීයා දුම්පයිප්පයද කටේ රැවා ගිනිමින් නිවස ඉදරිපස මිදුලේ ඇවිදිමන් සිටියේය..  “සීයා!” මාගේ ඇමතිමට ඔහු හැරී බලා මද සිනා පෑවේය.. 

“සීයා! මම ඊයෙ රෑ බය හිතෙන හීනයක් දැක්කානේ.. ඔන්න මම නිදාගෙන හිටියා. වැව පැත්තෙන් විසිල් එකක් ඇහිලා මං ඒක බලන්න ඉනිමඟ දිගේ බැහැලා අර අඩි පාර දිගේ ගියා.. එතනදි…

“ඔයා දියකිඳුරෙක් දැක්කා” සීයා මාගේ කතාව නිම වීමට මත්තෙන් කියා දැමුවේය… 

“සීයා, ඔයා කොහොමද මං දැකපු හීනෙ….මං …” සීයාගේ පැවසුමෙන් විපක්ෂිත වී ගිය මා හට වචන පැටලෙන්නට විය.

“ඇකේෂියා! මේ අහන්න.. මං මේ දේවල් ඔයාට කවද හරි කියන්න ඕනා.. ඒත් ඔයා මෙහෙට ආපු ගමන්ම වගේ මේවා ඔයට කියලා ඔයාගේ හිත කලබල කරන්න මට අවශ්‍ය උනේ නැහැ.. අනික මම කලින්ම මේ ගැන කියන්න ගියොත් ඔයා මාව විශ්වාස කරන එකකුත් නෑ.. දැන් ඔයා ඇහැටම දැක්කා, මෙතන, ඔයාගේ මේ මහගෙදර, ඒ වටේට තියෙන මේ වැව හා සම්බන්ධ දිග කතාවක් මට ඔයාට කියන්න තියෙනවා.. එන්න.” ඔහු මා කැඳවාගෙන ගියේ ඔහු විසින් පුස්ථකාලයක් ලෙස භාවිතා කරන සාලයෙන් වම් අතට විහිඳුනු කොරිඩෝවෙ අග පිහිටි කාමරකටය. මා මෙහි පැමිණ නැත්තේ මෙහි සීයා විසින් එකතු කරන ලද ඉතා පැරණ ග්‍රන්ථ විනා මා හට ඇල්මෙන් කියවිය හැකි කිසිම දෙයක් මෙහි නොතිබෙනු ඇතැයි මා අනුමාන කල බැවිනි..  එසේ කාමරයට ඇතුළු වූ සීයා බිත්තියේ එල්ලා තිබූ විශාල සිතුවමක් ඉන් ඉවත් කර ඒ පිටිපස වූ තරමක් පුළුල් සේප්පුවක් විවෘත කර හම් බැම්මෙන් බඳින ලද පැරණි පොතක් ගෙන මේසය මත තැබීය. ඔහු වෙත එන ලෙසට හිසින් සන් කර ඔහු උපැස් යුවල සකස් කරමින් එහි වූ පුටුවක සැප පහසු ලෙස අසුන් ගත්තේය.

මාහටද අසුනක් පැනවූ ඔහු මා එහි හිඳගත් පසු මාගේ දෑතින්ම අල්වා ගත්තේය.

“ඇකේෂියා! මට පොරොන්දු වෙන්න අද මම ඔයාට මේ කියන දේවල් කවදාකවත් පවුලෙන් පිට කිසිම කෙනෙකුට නොකියන බව..”

“මට ඉන්නේ ඔයයි අම්මයි විතරනේ සීයා ..”

“ඒකත් ඇත්ත නේද?”

“ඇකේෂියා! ඔයා හැමදාම කණ්නාඩියෙන් මූණ බලනවා නේද? එතකොට ඔයා මොනවද දකින්නේ.. ලස්සන නිල් ඇස් තියෙන කැරලි ගැහුණු දිග කොණ්ඩයක් තියෙන ලිලී මලක පාට බොහොම හුරුබුහුටි ගැහැණු ළමයෙක්ව.. හරියටම එයාගේ තාත්තා වගේ..”

සීයාගේ වර්ණනාව අසා මාහට සිනහද නැගෙයි.. එය සැබෑය මා කොහෙත්ම අම්මාගේ කිසිදු හැඩරුවකට සමාන වුයේ නැති බව මට සිහියට නැඟුණි..

“ඔයාට මෙච්චර ලස්සනක් ලැබුනේ කාගෙන්ද? ඔයාගේ තාත්ගෙන්. ඇකේෂියා ඔයාගේ තාත්තා! මේ අපි වටේට ඉන්නවා වගේ සාමාන්‍ය මනුස්සයෙක් නෙමෙයි.. එයා බොහොම ප්‍රතාපවත්, හරිම කඩවසම් දියකිඳුරෙක්!”

දෙපතුලෙන් නැඟුන විදුලි කදම්බයක් හිස් කබලට ගමන් කර එහිදි පිපිරුවාක් මෙන් කම්පනයකින් මා ගල් ගැසි ගියෙමි. එසේ නම් මා දැක ඇත්තෙද සිහිනයක් නොවන්නට ඇත. මුව අයා සීයා දෙස බලා සිටිනවා ඇරෙන්නට වෙන යමක් කිරීමට මට නොසිතේ..

“මේ වැව දැනට අවුරුදු 500ක් විතර කාලෙක ඉඳන් මෙතන තියෙන වැවක්. කිසිම ග්‍රීශ්ම සෘතුවකට හිඳෙන්නැති කළු වතුර පිරිච්ච මේ වැවේ අභීරහස මොකද්ද දන්නවද? මේ වැවේ තවමත් දියකිඳුරෝ ජීවත් වෙනවා.. ඔව් ඇකේෂියා. ඔයා ඊයේ රෑ දැක්කේ එයාලගෙන් එක්කෙනක්ව.. ඇකේෂියා! ඔයාත් ඒ පවුලෙ කෙනෙක්. ඔයත් මමත් ඔයාගේ අම්මාත් අපි ඔක්කොම ඒ කිඳුරු පවුලේ සාමාජිකයෝ.. ශතවර්ෂ ගනනාවකට කලින් මේ වැවට ආපු කිඳුරන්ගෙන් ඇති වුන මිනිස් වෙස් ගත් දියකිඳුරෝ…….”

10 comments:

නචියා said...

ලස්සනයි ඇකේෂියා... මේ වගේ කතාවක් කියවන පළවෙනි වතාව...
ඉතුරු ටිකත් ඉක්මනට ලියන්න... කියවන්න බලන් ඉන්නවා....

හා පැටික්කි (MS) said...

හ්ම්ම්ම් අර එදා දීපු පුංචි එළිය ආවේ ඔන්න ඔය තරුවෙන් තමා...... :D

මේ කොටස නම් ඉක්මන් උනා වැඩිද මංදා ඇකේෂියා............ කතාවේ ගලාගෙන ගිය ස්වභාවය ඉක්මනටම නැති උනා වගේ දැනුනා මට.:(

පිස්සු පුසා said...

මටත් හිතේනවා ඉක්මන් උනා වැඩිද කියල. කලින් කොසින්ම මට මේ කොටස තේරුනා. ගොඩක් ලස්සනයි. ඉදිරියෙදි සමහර විට ගොඩක් නොහිතන ඩේවල් සිදුවෙවි නේ ද? මට විචාරනම් දන්නැ එත් මේ කොටසේ ටිකක් අඩු පඩු තියන්වා කියල හිතනව..

දුකා said...

දිය කිඳුරෙක් හා මිනිස් දුවකගේ ආදරයෙන් උපත ලද කෙල්ලෙක් . . .. අහා අපිට අලුත්ම අත්දැකීමක් වේවී මේ කතාව . . . හරි එහෙනම් ඊලඟ එක එනකම් ඉන්නවා ඕන් . .

රංග - මගේ ලෝකය said...

මට පොඩි පරශ්නයක් තියෙනව. මුලින් කිවුව විදියට තාත්ත විතරයි දිය කිඳුරා. ඒත් අන්තිම ලයින් එකේ කියන විදියට මුලු පවුලම එහෙමද කියලත් හිතෙනවා.

මාරයාගේ හෝරාව said...

කියවමින්...

ඇකේෂියා.. said...

ස්තූතියි නචියා..

හා පැටික්කි හා පිස්සු පූසා - ඔබ දෙදෙනා නිවැරදියි, කිමද මෙම ලිපිය මා බොහෝ හදිසියේ රචනා කරන ලද්දක්.. එබැවින් ඔබ පැවසූ පරිදි එහි අඩුවක් හෝ ඉක්මන් වූ විලාශයක් දැකිය හැකි බව මාද පිළිගනිමි..

රංග කින්නර අඩවියේ ඉදිරි ලිපි පෙළෙන් ඔබේ ගැටලුවට පිළිතුරක් ලැබේ යැයි සිතමි.. ඔබේ කුතුහලය මා තවත් දිරිමත් කරන්නක්..

දුකා හා මාරයාගේ හෝරාව
කින්නර අඩවියේ ප්‍රබන්ධය මා නොසිතූ ලෙස තව තවත් දීර්ඝ වන හැඩකි.හැකි සෑම විටම දිගු විරාමයක් නොගෙන කින්නර අඩවිය ඔබ වෙත ගෙන ඒමට ඇකේෂියා උපරිමයෙන් උත්සහ දරයි.

කොට ජීවිතේ said...

හැමදාම බ්ලොග් එක කියෙව්වට කමෙන්ට් කරන්න වෙලාවක් හම්බ උනේ අද. මේ කතාවනම් හරිම ලස්සනයි. ඒ වගේම ලස්සනට ලියනවා.
ඇත්තටම වෙනදට වඩා අද කතාව ටිකක් කලබලෙන් ලියලා තියෙනව වග මටත් දැනෙනවා. වෙලාව අරන් ලස්සනට ලියන්න. ඇත්තටම ඔයා හොඳට ලියන නිසා ඔයාගේ පුංචි වෙනස් වීමකුත් අපිට දැනෙනවා වැඩීයි... :)

අහිංසකි said...

එක සහ දෙක කොටස් දෙකටම වඩා 3 වෙනි කොටසයී හතර වෙනි කොටසයී හුගාක්ම ඉක්මන් වෙලා කියල හිතෙනවා
කුතුහලය ඉතුරු කරලම ලියනවා නම් හුගාක් ලස්සන වෙයී තවත්
ඔයාට ජය...................!!!

නොසංදාලයා said...

ඇත්තටම ලස්සන අමුතු ලෝකෙකට අපිව ගෙනියන කතාවක්. බොහොම ආශාවෙන් ඉතුරුටිකත් කියවන්න බලන් ඉන්නවා.