Wednesday, June 8, 2011

කින්නර අඩවිය…3

තප්පරයෙන් තප්පරය මොහොතින් මොහත ගතවී මැදියම් රැය උදා විය. මා දෙසවන් බලාපොරොත්තු වූ ජලතලය කැලතෙන හඬ ඈතක සිට වැව් ඉවුර දෙසට ළං වන හඬ මාගේ සවන් වැකුණි. මම සෙමින් ජනේලය කරා ඇදුනෙමි. තිර රෙද්ද යන්තමට මෑත් කල මා හට පෙරදා රැයේ දුටු පරිදිම මත්ස්‍යන් රංචුවක් ජලතලයේ එහා මෙහ පිහිනන අයුරු දැක ගත හැකි විය. ජනේලයේ අඟුල හෙමින් සීරුවේ හැර දැමූ මා එහි පියන හඬ නොනැඟෙන සේ තල්ලු කර දැමුවෙමි. විදුලි පන්දම අතින් ගත් මා ජනේල් පඩියට නැඟ ඉනිමඟට පා තබා සෙමින් එයින් බසින්නට පටන් ගතිමි.

තව දින කිහිපයකින් පුන්සඳ උදාවන බව කියා පාමින් අඩසඳ අහසේ මෝරා වැඩෙමින් සිටි. ඒ එළියෙන් මිදුලට බට මා හඬ නොනැගෙන්නට මදක් ඉදරියට නැමී ඉවුර කරා පිය මැන්නෙමි. හදිසියේම වියළි කොළ අත්තක් පෑගීමෙන් මතුවූ ශබ්දය නිසා කලබල වු මාළු රංචුව මහා ශබ්දයක් ඇති කරමින් ජලතලය කලත්තා නොපෙනි ගියේය. මාගේ නොසැලකිලිමත් බවට සිතින් දොස් පවරා ගත්  මා එතැනම වූ ගල් කුලට නිසාවෙන් ඇති වූ හෙවනැල්ලට මුවා වී බිම හිඳගතිමි. වැව දෙසින් හමා ආ සීතල සුළ‍ඟෙන් මා සිරුර කිලිපොලා යන්නට විය. මෙසේ කොපමණ වෙලා මෙතැනට වී හිඳින්නට සිදුවේදැයි මා නොදනිමි. යම් හෙයකින් ඒ හඬ අද වැව දෙසින් නොනැඟුනේ නම් මාගේ මෙම ප්‍රයත්න්‍ය අපතේ යන්නේ යැයි සිතමින් සිටියදීම……….. නැවතත් ඒ සුමියුරැ ඉතා කන්කළු උරුවම් බෑම. සියළු දුක් වේදනා සිතෙන් උකහා ගන්නා, සිත නැවුම් සිතුවිලි හා සන්තුෂ්ටියෙන් පුරවනා, බිය සන්ත්‍රාසය නොසන්සුන් බව දමනය කර මුළු ආත්මයම සුවපත් කරවන ඒ හඬට ඔබ එක් නිමේෂයක් කන් දුන්නේ නම් ඔබේ මුළු ආත්මයම ඉතා පවිත්‍ර ජීවයකින් පිරී යන ආකාරය ඔබට දැනෙනු ඇත..

මාගේ දෙපා මට නොදන්වාම ක්‍රියාත්මක වන්නට පටන් ගත්හ. හුන් තැනින් නැඟිට ගත් මා වැව් ඉවුරේ පිහිටි ලී වේදිකාවට යන අඩි පාර දිගේ ඉදරියට ඇදෙන්නට වීමි. මා දකින්නේ සැබෑවක්ද නැතිනම් මා සිහියක සැරි සරනවාද යන්න මට වෙන් කර හඳුනා ගත නොහැක. මා පය තබන වාරයක් පාසා අඩි පාරේ දෙපැත්තේ වූ කුඩා ගස් හා පඳුරු දෙපසට ඈත්වී මට මඟ සාදා දෙන්නා සේ මට දැනේ. හිත කුල්මත් කරමින් තවමත් ඇසෙන පෙර කී හඬ මා සඳහා පමණක් නැඟෙන්නක් බව මට දැනේ. කණාමැදිරියන් රොත්තක් මා ඉදිරියෙන් ඇදෙමින් මට මඟ පෙන්වන්නා සේ මට දැනේ. සැබෑ ඇකේෂියා නම් මෙවන් මැදියම් රැයක මෙතරම් හුදෙකලා වන ලැහැබක තනියෙන් ගමන් කරනවා යන්න කිසි සේත් විය නොහැක්කකි. මාගේ විපර්යාසය මටම පුදුමයකි. සිතේ බියක සේයාවක් වත් නැත. ඒ හඬ මේ පරිසරය මගේ ආත්මට හා බැඳී යන අපූරුව විඳමින් මා තවත් ඉදරියට ඇදෙමි.  දැන් මා ලී වේදිකාවද පසු කර අඩි පාරෙ  කෙලවරටම පැමින තිබේ. දියෙන් ඉහලට මතුවූ ගල් කුළු වලින් කවාකාරව වැවේ කුඩා කොටසක් වටවී ඉතා හුරුබුහුටි ලෙස නොගැඹුරු විලක් නිර්මණය වී ඇත. උරුවම් බෑම නැඟෙන්නේ එම ගල්කුළු පාමුලෙනි. මඳ ලෙස විහිදෙන සඳ එළිය මාගේ දෑසට පැහැදිලි දර්ශනයක් ගෙන දිමට අපොහොසත් වූ බැවින් මා විදුලි පන්දම දැල්වූයෙමි..

ගල්කුලේ පහත් තැනක මට පිටුපා වාඩි වී සිටි කිසිවෙකි. ඔහු ඇය හෝ එම සත්වයා දෙපා වැව්ට මුදා හැර සිටින්නට ඇත. වැව දෙසට මුහුණලා සිටි බැවින් මට පැහැදිලිව මුහුණ නොපෙනුනද මෙලොව වසන කිසිඳු ජීවියෙකුට නොපිහිටන ආකාරයේ අතිශය පැහැමත් රීදී පැහැති සමකින් ඒ සිරුර දිදුලන්නට විය. දිගු කෙස් කැරළි වලින් දිය බිඳු වෑහෙමින් පැවතුනේ මේ දැන් දියෙන් ගොඩ ආ සත්වයෙකුගේ මෙනි.  එක් වරම උරුවම් බෑම නවතා දැමු එම ජීවියා ක්ෂනිකයෙන් වැව් ජලයට පැන නොපෙනී ගියේය. මා දුටු දසුන මායාවක් නොවුන බවට ඇති එකම සාක්ෂිය වන්නේ වැව් ජලය මත ඇතීවු දිය රැළි පමණි… විපක්ෂිතව බලා සිටි මා හට ආපසු හැරී හිස් ලූ අත දිවයන්නට සිතුණු වාර ගනන අපමණය. එහෙත් අසරණ මාගේ දෙපා කිසිවෙකු විසින් තදින් අල්ලා ගෙන ඇති සෙයකි. කෑගැසීමට අවශ්‍ය මුත් දෙතොල් අඟුළු වැටී ඇති සෙයකි. කොටින්ම මා පණ ඇති ගල් පිළිමයක්ව බලා හිඳන්නට වීමි… 

එකවරම…… මා පිටි පසට විසි වී බිම හිඳගැනුනේ මා සමීපයෙන්ම ඉදරියේ වූ ජලතලයෙන් ඉහලට පැන්නාවූ විශාල සත්වයෙකු නිසාය. ඒ දසුන මා හට කෙදිනකවත් අමතක නොවනු ඇත..

දුබල අඩසඳ පසුබිම් කරගෙන ඉහල වා තලයේ කරණමක් ගසමින් සිටින හේ මිනිසෙකි.. සම්පූර්ණයෙන්ම වැඩුණු අතිශය රූමත් අඟපසඟ වලින් යුක්ත  ඔහු මිනිසෙකි. එහෙත් ඒ හිනෙන් ඉහල කොටසට පමණකි. හිනෙන් පහල මා නිරන්තරයෙන් බිය වූ ඉතා පිළිකුල් සහගත බූවල්ලෙකු, ආඳෙකු, හෝ මත්සයෙකුගේ මෙන් කොරපොතු සහිත දිගු වල්ගයකින් යුක්ත විය. මාගේ නිගමනය වැරදි බව ඔබට ඉන් වැටහෙනු ඇත. ඒ මිනිසෙකු නොව. මා කුඩා කල කියවා ඇති සුරංගනා කතා වල වූ මෙතෙක් කල්, මනඃකල්පිත ජීවියෙකු යැයි මා අසා තිබූ දිය කිඳුරෙක් මා ඉදිරියේ වූ ජලතලයෙන් ඔහුගේ කඳ පමණක් වතුරෙන් ඉහලට පෙනෙන සේ ඔසවා තමා තියුණු බැල්මකින් මා දෙස බලා සිටී. අවදි වන්න අවදි වන්න මාගේ සිත කන්නලව් කරන්නේ මා දකින්නේ සිහිනයක් යැයි සිතාය. එහෙත් මා දකින්නේ සිහිනයක් නොව සැබෑවක්  බව මාගේ බියපත්ව ගැහෙන අසරණ සිතට පහදන්නේ කෙසේද?

merman

“ඇකේෂියා!“  ඔව් එය පෙර දින වැව අසළ වු අත්භූත සිද්ධියේදි මට ඇසුන හඬමය.. එහෙත් ඔහු මා ඇමතූයේ දෙතොලින් නොව. ඒ හඬ මට දෙසවන් අද්දර ඇසේ.

“මම දන්නවා ඔයා කවද හරි මෙතනට එනවා කියලා“ නැවතත් ඒ හඬ.. මුවෙන් නොදොඩන ඔහු සිතනා දේ මට ඇසෙනවා විය හැක.

එපමණය. මාගේ සිතට තවත් දැරිය නොහැක. මේ සා අත්භූත භයංකාර ත්‍රාසජනක අත්දැකීමකට මා මේ ජීවිත කාලයටම මුහුණ දී නැත. මුව ගොළුව, හද ගැස්ම නතරවී තද පොලු පහරක් හිසට වැදුණු කලෙක මෙන් මා එතැනම ඇද වැටුනෙමි…

9 comments:

හා පැටික්කි (MS) said...

කුතුහලයත් එක්ක පුංචි එළියක් ඉතුරු කරලා අද නම්.......

ඉක්මනට අනිත් කොටසුත් දානකම් ඉවසීම නම් අහෝ කරනු බැරිය තමා....... :)

දුකා said...

ම් ම් ම් ම් හරිම අගෙයි . . . ඒත් ඇකේෂියාට කිඳුරා දැකපු එක අපිට තව ටිකක් දැනෙන විදිහට ලියන්න තිබුනද මන්දා සමාවෙන්න එහෙම කිව්වට ඒ සංවාදය මීට වඩා සජීවීව දුන්නනම් කියලයි හිතුනේ

ඇකේෂියා.. said...

හා පැටික්කි - දිනපතා ඇකේෂියාගේ සිහින කියවීමට එක් වීම හා එයට ප්‍රතිචාර දැක්වීම කෙරෙහි ඔබට නිති මාගේ ප්‍රණාමය.

දුකා - සැබවින්ම ඔබට ස්තූතියි. කිමද ඔබ පෙන්වූ කරුණ ඔස්සේ සිතා මාගේ අනෙක් ලියවිලි වලදි එම අඩුපාඩුව මඟ හරවා ගැනීමට මට හැකි වනු ඇත. මාගේ සිතේ මැවෙනා ඒ දසුන් අකුරු වලට පෙරලීම මහත් වූ අරගලයකි. එහිදි සිදුවන මෙම අඩුපාඩු ඔබ වැනි පාඨකයෙකු පෙන්වා නොදුන්නහොත් එය මටද සදහටම මග ඇරි යනු ඇත.

අහිංසකි said...

දුකා අයියා සමඟ මම ත් එකගයී...
ඇකෙෂියා හැමදාමත් හුගාක් දැනෙන්න ලියන නිසා පුන්චි පුන්චි අඩුපාඩු පවා අපිට පැහැදිලිව පේනවා. තවත් ලස්සනට ලියන්න,
ඇකෙෂියාට මම හුගාක් ඇබ්බැහි වෙලා වගේ

ඇකේෂියා.. said...

ස්තූතියි අහිංසකි..

කින්නර අඩවියේ ඉදිරි ලිපි පෙළින් එම අඩු පාඩු මග හරවා ගැනිමට උපරිමයෙන් උත්සහ කරමි..

නචියා said...

ගොඩාක් ලස්සනට ලියනවා.. ඉදියටත් ලියන්න.. ගොඩක් ආසාවෙන් කියවන්න බලන් ඉන්නවා.... අද තමයි කියවන්න පටන් ගත්තේ... කොටස් තුනම එක දිගටම කියෙව්වා...

රංග - මගේ ලෝකය said...

කමෙන්ට් නොකරට හැමදම කියවනවා. බලාගෙන ඉන්නේ ඊලඟ කොටස එනකම්. නියමෙටම ලියල තියෙනවා.

ශාමින්ද said...

අදනේ මේ පැත්තේ ආවේ. අද ඉදන් දිගටම ඉන්නවා. නියෙමට ලියලා තියෙනවා. දිගටම ලියන්න.

පිස්සු පුසා said...

ලස්සනයි ඇ. එල කියන්න වචනැ. හිතේන කාතාවේ ඉදිරිය ගැන හිතේන දේවල් කියන්නේ නැ. කතාවේ රසයට බාදාවක් වෙයි කියල. ලියනකම් ම බලාන ඉන්නේ...