Friday, December 3, 2010

මගේ නැවතුම…

ඇකේෂියා
මා හදිසියේම අවදි වූයේ උගුර වියළීමෙන් දැනුන අපහසුතාවයකිනි. යහන අද්දර වු කුඩා මේසයේ වූ වතුර වීදුරුවට අත යා කළ මා ඉන් උගුරු දෙක තුනක් පානය කර නැවත නිදන්නට අනෙක් පස හැරුණෙමි.
ඔහු යහනට ආවේ කොයි වෙලේ දැයි මම නොදනිමි. ඉතා සීරුවට උස් පහත් වන ලය නිසා ඔහු ගැඹුරු නින්දක සිටින වග මට වැටහුනී. අපමණ සැනසිල්ලකින් නිදන ඒ සොඳුරු ප්‍රතාපවත් පිරිමි කම උතුරන මුහුණ දෙස බලාගෙන සිටියදීම මම අතීතයට ගමන් කලෙමි....
රාත්‍රී ආහාරයෙන් පසු අප නිදන කුටියේ උසැති වීදුරු ජනේලය අසළ වූ විශාල හාන්සි පුටුවට වී සිගරට්ටුවක් දල්වා ගෙන පැයක් හමාරක් අඳුර දෙස බලාගෙන කල්පනා කිරීමේ ඔහු සතු පුරුද්ද මා මෙහි ආ මාස හය තුළ එක රැයකදී වත් ඔහු මඟ හැරියේ නැත. මුළදී මා ඒ පිළිවෙත ගැන කෝප වුවත් කල් යත්ම මාද එවන් අවස්තාවක ඔහු අසළ බිම වාඩිවී ඒ දෙපා වල මගේ හිස සතපා ගෙන ඔහුගේ ඒ නිහඬ ආශ්වාදයට එක් වන්නට හුරු වූයෙමි. එවිට ඔහු සිගරට්ටුව එක අතකට ගෙන අනෙක් අත මා හිසකෙස් අතරින් යවා සීරුවට හිස පිරි මදින්නට පටන් ගනී. ඒ ඇඟිලි තුඩු මගේ හිසේ මුල සිට අග දක්වා සෙමින් ඇදී යන ඒ අප්‍රමාණ සුවයට ලොබ බැඳී මගේ දෙනත්ද ඉබේ පියවී නිදි සුවය මා සොයා එන්නේ මටත් නොදැනීය.
    “ඒයි කෙල්ල, ඇඳට ගිහින් නිදා ගන්න.”
එසේ මා යන්තම් නිදි ගත් මොහොතක මගේ කෙස් වැටිය යන්තමට ඇඳ ඔහු අණ කරයි. මම ඔහුගේ දනහිසේ නිකට රුවාගෙන ඔහුගේ මුහුණ දෙස බලා ඉන්නට විමී. ඔහුටම ආවේණික ක්‍රමයකට දුම් වැටිය අල්ලාගෙන හිස් අවකාශයට දුම් වලලු පිට කරමින් ඔහු දුම් වැටිය උරණ විලාසය බලා ඉන්නට අපූරුය. එවිට ඔහුගේ ඈත රුඳි දෙනෙත් වල දිලෙන ගැඹුරු නිසන්සල දිස්නය දෙස බලා සිටින මා තවත් දහස් වාරයකින් ඔහු හට බැඳී යයි. දෙමව්පියන් විසින් මට යෝජනා කල මොහුව ප්‍රතික්ෂේප කිරීමට මෙම දුම්බිමද මා ප්‍රබල හේතුවක් කරගත් අයුරුද, මගේ අකමැත්ත නොතකා මොහුට මා විවාහ කර දුන් පසුත් ඔහු රිදවන්නට මා ඔහුගේ සිගරට් රඳවනයන් සුණු විසුණු කර දැමූ අයුරුද සිහිවී මට සිනහා නැගුණි. මා කළකෝහාලයක කරමින් රණ්ඩුවකට හේතු සොයමින් පිස්සයක සේ දුව පැන ඇවිදින ‍වෙලාවක ඔහු නිහඬවම මා මඟ හැරියේය. විවාහක ස්වාමියා ලෙස කිසි දිනෙකත් ඔහුට මගේ පහස විඳින්නට අත් නොහැරියෙමී. මට අවශ්‍ය වූයේ ඔහුව කෝප කර ඔහුට මා එපා කර මේ විවාහය කටුගා නැවතත් දෙමව්පියන්ගේ තුරුළට පැන ඔවුන්ගේ සුරතලිය වීමටයි. මගේ කිසිඳු කෲර පිළි වෙතකට ප්‍රතිචාර නොදැක්වූ ඔහු නිහඬ පර්වතයක් සේ නොසැලී උන්නේය.
ඉඳින් මම මෙලෙක් වන්නට පටන් ගතිමි. මගේ දරුණු පිළිවෙත් වෙනස් විය. මේ වහල යට ඔහුට මගේ අතින් ආහාර පිසෙන්නට විය. බිරිඳක් අතින් තම ස්වාමියාට සිදු විය යුතු සියලු යුතුකම් වගකීම් මා අතින් නොපිරි හෙලා ඉටු විය. කාලයාත් සමඟ මාහට නැවත ගෙදර යාමේ අවශ්‍යතාවය නැවත නොදැනෙන්නම මා සම්පූර්ණයෙන්ම ඔහුගේ අනන්ත ආදරයට නතුවී සිටියෙමි.
මේ මාස හයක කාලයට අප අතර වැඩි කතා බහක් නොවුනද ඔහුත් සමඟ අවුරුදු හයක් එකට ජීවත්වූ පළපුරුද්දෙන් සේ මම ඔහුව වටහා ගෙන සිටියෙමී. ඔහුගේ සැම තනි ඉරියව්වකම අරිථය මම දනිමි. ඔහුගේ සෑම බැල්මකම සැඟවුන කතාව මම එක වරම තේරුම් ගන්නට හුරු වුයෙමි. වචන අඩුවුවද අප අතර දහසක් කතා හුවමාරු විය. ඔහුගේ සොඳුරු ග්‍රහණයට මා අසු කරගන්නා සෑම මොහොතකම සිහින ලොවක මා අතරමන් කර දමා එන අරුම පුදුම ඉන්ද්‍රජාලිකයා ඔහුය. සැමදා නිදන්නට වන් කල්හි මගේ ගෙලෙහි මුහුණ සඟවා මා තදින් බදා ගන්නා පුරුද්දක් ඔහු සතුය. ඔහු වන් ප්‍රතාපවත් පිරිමි ආත්මයක්, අම්මාගේ තුරුල්ලේ නිදන කුඩා දරුවෙක් මෙන් මට තුරුවී නිදන කල්හි මහත් වූ දයාවකින් මා සිත පිරි යයි. දෑත් බදා අල්වා ගත නොහැකි වුවද මම හැකි තරම් මගේ කූඩා දෑත් ඔහු වට යවා ඒ හද ගැස්ම මට දැනෙන තරමට ඔහුව මාවෙතට ළං කර ගතිමි. යෝජිත විවාහයන් කෙරෙහි කිසිදා විශ්වාසයක් නොතැබූ මා වෙනත් කිසිවෙකු හා පෙම් සබඳතාවක් මුල් කර විවාහ වූවත් ඔහු, නුඹ තරම් මාගේ ආත්මයට කාවැදුනු පුද්ගලයෙකු නොවන බව මට ප්‍රත්‍යක්ෂය.
නුඹ, නුඹේ දුම්වැටිය, නුඹේ නිහඬ නිසල පිළිවෙත, කෝප වූ කල්හි වචනයක් වත් පිට නොකර මා වෙත හෙලන සැර බැල්ම, නුඹේ දැඩි නොසැලෙන සුළු පිරිම කම, මට කුඩා දැරිවියකට මෙන් සළකන ආකාරය, ආදරයේ උපරිමටයේ තනීවූ මොහතක මගේ දෙසවනට මුමුණන නුඹේ සොඳුරු කෙඳිරිලි, මා අවනත නොවන මොහොතක නුඹ දොටන ඇවිටිලි බස්, නුග රුක් සෙවනක් සේ මා ආරක්ෂා කරන අයුරු හා තවත් ගොනු කර ගත නොහී හේතු අප්‍රමාණයක් නිසාවෙන් මට නුඹ මහත්වූ වස්තුවක් සේ දැනේ. නුඹේ යෝධ ආත්මයේ සෙවනැල්ල යටට වී සුවසේ වැඩෙන සමනළියක් වන් මට නුඹ විඳින්නට මේ මුළු ආත්මයම මදි වනවා ඇත. නුඹ මට දේවදූතයෙකු විසින් අහඹු ලෙස පිරිනමන ලද ත්‍යාගයකි.
විශාල බිත්ති ඔරලෝසුවේ අලුයම දෙක නාද වූ ශබ්දය මම ගැස්සී ගියෙමි. ඔහුගේ මුහුණ දෙස බලා සිටියදීම කාලය ගෙවී ඇත. කාමරයෙන් පිටත කඩා හැලෙන මහ වරුසාවේ ශබ්දය සිත නිවන සුළුය. වර්ෂාවෙන් ඇතිවූ තද සිතල නිසාවෙන් නැවතත් පොරෝනය ඇතුළට ගුලි වන්නට වීමි. මාගේ දැඟලිල්ල නිසා අවදි වූ ඔහු මදක් හිස ඔසවා බලා මාගේ බඳ වටා අත යවා මා ඔහු වෙතට ඇද ගෙන ඒ ළයට මා තුරුල් කරගත්තේය.
    " මොකද මේ මහ රෑ ඇහැරගෙන "......
    " වැස්ස! ඇහෙනවද"......
    " හ්ම්, මාවත් ඇහැරෙව්වා නේද, දැන් මටත් නිදි මත නෑ".....
    ඒ මුවග රැඳුණු මදහසටත් අඬවන් බැල්මෙත් වූ ආරාධනාව මම වටහා ගතිමි.. මම නොදොඩා සිනාසීමි..
    ඊළඟ මොහොතේ ඔහු, මාව ඒ දැවෙන උණුහුමට යට කර ගත්තේය.......

8 comments:

නිම්ශා said...

හුගාක් ආසාවේන් කියෙව්ව කතාවක්.. ඇත්තටම හුගක් හුගාක් ලස්සනයි.....

මුචලින්ද said...

niyamaai!

ඇට්ටේරියා said...

අගෙයි....

Dar[K] said...

එක හුස්මෙට කියෙව්වා !ලස්සනයි දිගටම ලියන්න

LishWish said...

වදිනවා..බොක්කට ම !!

චමිදේවා said...

දිගටම ලියන්න...
(යලට මහට නැතුව)

මකුළු පැංචි said...

හ්ම්ම්ම්.....නොදන්නා හේතුවකට මෙය කියවා ඇස් දෙකට කඳුලක් නැගුණා... එබඳු (සිහිනයක්??? ) මාද දකිනා නිසාවෙන් ව්ය හැකියි... සිහිනයක්...!!

හිම කුමාරි said...

ලස්සනයි... අහම්බෙන් ගොඩවැදුනෙ.. හ්ම්ම් හරිම අගෙයි.. :)