Friday, September 24, 2010

සයුරු තෙර, නුඹ හා මම


සිහිල් දිය බින්දු මගේ දුහුල් රෑ ඇඳුම තෙත් කරගෙන පිට දිගේ ගලන අයුරු මට දැනේ. තව මොහොතකින් ඒ දිය බින්දු සියල්ල අවකාශයට වාෂ්ප වී යනු ඇත. මම නැවත හැරී ඒ කුඩා නිදන කාමරය සිසාරා නෙත් හෙළුවෙමි. ඔහු තවමත් නාන කාමරයේ විය යුතුය.

නැවත හැරුණු මා දෙනෙත ඉදිරියේ අඳුරේ ගිලී දිලෙන මහ සයුර රඟදෙයි. අඳුර මැද්දේ වුවද සයුරු රළේ සුදු පෙන කැටි වලට මගේ දෙනෙතින් වසන් වී සිටිය නොහැකි විය. තානායමේ වැට අද්දර පහන් කණුවල මලානික එළිය මුහුදු වෙරලේ තැවරි හිතට අමුතුම දුක් බර ගතියක් ගෙන ආවේය. ඈත ක්ෂිතිජ ඉමෙන් සඳමෝදු වී ගෙන එන්නේ තව සුළු මොහොතකින් ඇගේ සෞම්‍ය එළියෙන් මුළු සයුරු තලයම ඒකාලෝක කරන්නට යන බව කියා පාමිනි.
මධු සමය ගත කිරීමට සයුරුතෙරේ පිහිටි මෙම නැවතුම් හල ඔහුට යෝජනා කලේ මාය. සඳ එළිය, සයුර , මුහුදු රළ හඬ , මුහුදු සුළඟ..... ඔහුගේ ආදරයට පසුව මා උමතු කරන්නට හපන් තවත් සොඳුරු සුසංයෝගයන්ය. කුඩා කළ පටන් මා මුහුදට මුහුදු වෙරළට ආදරය කෙරුවෙමි. වැඩිවියට පත් වූ පසුත් මේ මොහොත දක්වාත් ඒ ඇල්ම මාතුල නොනැසී පවතී.

මුහුදේ දිය නෑමට අවස්ථාවක් ලද හොත් මා එය ප්‍රතික්ශේප කලේ නම් ඒ කලාතුරකිනි. මගේ සගයින් දියට බැස කෙළි කවටකම් කරමින් දිය රැළි අතර පිහිනද්දී මා කලේ මුහුදු රළ වෙරලේ ගැටෙන ඉස්ව්වේ වාඩිවී මාගේ දෙඅත් මුහුදු වැලි අතරට යට කර සඟවාගෙන නිසලව අහස දෙස බලා සිටීමයි.
සයුරු රළ හා ගෙවෙන ඒ මොහොත මට කවදාකවත් අමතක නොවේ. මුහුදු රළ පෙරළි විත් මගේ මුළු ගතම වසාගෙන වෙරලේ සැතපෙන්නට විය. මා අතපය දිග හැර මගේ සිරුරට වඩාත් හොඳින් රළ පහර විඳ ගැනීමට ඉඩ හලෙමි. රළ මෙතරම් දඟකාර මන්ද?

වරෙක මාහා අමනාප වූසේ මා පැත්තකට තල්ලු කර දමයි. විටෙක මා බදා ගනිමින් මා ගතේ සෑම අඟලක්ම අනුරාගයෙන් පිරිමදී. තවත් වරෙක මා තෙරපාගනිමින් ගත සිප ගනී. සැබැවින්ම මේ මොහොතේ මා සයුරු රළ හා රමණයේ යෙදෙමින් සිටින්නාසේ මට හැඟෙන්නට විය. රළු මුහුදු රැල්ලට මා ගත හා එක්වන්නට ඉඩ හැර මම නිහඬව වෙරල මත වැතුරුනෙමි. තමන් ආදරය කරන  පිරිමි ආත්මයක් හා එක් වීමේ ඒ අනුරාගි අත්දැකීම සයුරු රළ මට අපූරුවට කියා දුන්නේය.

ඒ එදවසය....

මගේ ගෙළ පිටුපසට දැනුන උණුසුම් හුස්මක පහසින් මම ගැස්සී පියවි ලොවට ආවෙමී. මා අනුමාන කල ලෙසම ඔහුගේ දෙඅත් මා බඳ වටා ලතාවකට එතුනි.. මගේ කන් පෙති වලත් ,ගෙලෙහිත් තෙත් කොණ්ඩය අතරත් ඔහේ ඇදෙන ඒ උණුසුම් දෙතොල් පහසට මා අපමණ ඇළුම් කෙරුවෙමි. ඒ දෙතොල් මා ගතේ අනුරාගී අඟුළු හරින යතුරක් වැනිය.. තොල් පහස ලබන වාරයක් පාසා මාගේ හැඟීම් විවෘතවී දෝරේ ගලා යන්නට පටන් ගනී.

"මොනවද මුහුන දිහා බලාගෙන කල්පනා කරේ?"

මා උරහිසේ නිකට රැන්දූ ඔහු හඬ අවදි කලේය..

"ම්ම්ම්ම්ම්....... ගොඩාක් දේවල්. දැන ගන්න ඕනද?"

" එපා එපා.. ඔය ඉවරයක් නැතිව කියවන තොල් දෙකට අද නිවාඩු දෙමු..  අද ඒ වලට වෙන වැඩක් තියෙනවා."

"ඒත් අහන්නකෝ. අර බලන්න. හඳ තව ටිකක් මුදුනට ආවම මුහුද කොච්.....ච....අහ්!"

මවිසින් කියන්නට කැටි කරගත් වදන් සියල්ල ඔහුගේ දෙතොල් අතර හැංගී ගියේය. තවත් වදනකට තබා හුස්මක් ගත්තට පවා මගේ දෙතොල් මට අයිති නැති විය. මගේ මුළු ජීවියම දෙතොලින් උරා බොන්නට ගත් ඔහුගේ ඒ රළු පහස අභියසදී ගත පන නල සිඳී මම ඒ දෑත් වලටම කඩා වැටුනෙමී. මේ මා සිපගන්න ලැබෙන අන්තිම මොහොත මෙන් ඔහු නොනවත්වා මා සිපගනිමින් සිටී.

ඔහුගේ වතට බරවූ සැනින්ම කුරුළු පිහාටුවක් මෙන් සැහැල්ලුවෙන් මා දෝතට වඩා ගත් ඔහු එතෙක් අප සිටි සඳළු තලයෙන් නික්ම නිදන කාමරයට පිය නගන්නට විය. මම ඔහුගේ ගෙල වටා මගේ දෑත් වලින් බදා ගෙන අවසන් වතාවට යළිත් ඔහුගේ උරහිස් ඉහළින් එබී මුහුද දෙස බැලුවෙමී......

5 comments:

Dar[K] said...

ලස්සන හීනයක් දිගටම ලියන්න

Sujeewa Kokawala said...

keep it up. nicely written.

small F/B on technicalities. The color selection is hard for eyes. It's OK as long as you increase teh font. As at now it is hard to read your blog

අහිංසකි said...

ජිවිතේ ආස කරන ලස්සන පුංචි වචන ටිකක් දැක්කා මේ සටහන් උනු හීනය තුල..
සුන්දරයී
තව ලියන්න

Pathum Punchihewa said...

මේ විදියේ හීනයක් දකින ගැහැණියක් ලබන එක පිරිමියෙක්ගේ හීනයක් වෙන්න ඕන.. අඩුම ගානේ මං සම්බන්ධයෙන් ඒක එහෙමයි.... ඒ වගේ ගැහැණියක් ලබන්නත් පිරිමියෙක් වාසනාවන්තයෙක් වෙන්න ඕන...

~ හිපියා

චතුර - නිලංග - දෙවෙනිගුරුගේ said...

එවන් හීනයක යළි කල් මරන්නට පෙරුම් පුරමි....