Friday, February 11, 2011

සිහින සිතුවමක් ! නිමි...8

 ඇකේෂියා සිහින සිතුවමක් හාත්පසින්ම ගොම්මන් අඳුර වෑහෙන්නට පටන්ගෙන ඇත. වැව් තාවුල්ල නිශ්චල වී ඇත. මාගේ කඳුළුද වියලී ‍බොහෝ වේලා ගතවී තිබුනි. එහෙත් මට ඒ තුරුලෙන් මිදෙන්නට සිත්නැත. මා තුරුල් කරගත් වනම ඔහු මීට බොහෝ වෙලාවක පෙර අවසන් වූ ගීතයකට තවමත් නැළවෙමින් සිටී. එසේ සිටියදීම ඔහු ඒ දෑත් වලින් මා ලිහිල් කර මාගේ බාහූන් දිගේ ගෙල පාමුලට ගෙනැවිත් ඒ දෙඅත්ල මගේ ‍හිසකෙස් තුලින් යවා මුළු මුහුණම ඒ දෝතට සිර කර ගත්තේය. දෑස් ඔසවා ඒ මුහුණ දෙස බැලූ මට මෙතෙක් මා ආදරය කළ සඳ තරු අතහැර දැමීමට කාලය සපැමිණි වග සිහිවිණි. මින් මතු මා සිත් අහසේ පායන එකම සඳ දැන් මා ඉදරියේ දිදුලමින් සිටී. මා සිත් අහ‍සෙන් බැස නොයන තරු කැට දෙකක් දැනටමත් මා හිස ඉහලින් බැබලෙමින් සිටී. ඒ තරු යුවල මදින් මද මා හට ළං වෙමින් පවතී. උණුසුම් වේගවත් සුසුම් රුළි මා වතේ ගැටී විසිරී ගත පුරා ගමන් කරන සෙයකි. ඒ උණුහුමට මෙතක් කල් නිදා සිටි යම් නුහුරු හැඟීමක් අවධි වෙන ආකාරය මට වැටහෙයි. ඔහුගේ අතැඟිලි මා පැන දුවතියි බියෙන් මෙන් මාගේ ගෙල හා දෙකන්පෙති සිර කරමින් විහිදී ඇත. තවත් ඒ තරු කැට බබලන දීප්තිය මට බලා සිටිය නොහැක. මම දෙනෙත් වසා ගතිමි. දෙතොල් පෙති වේගයෙන් සලිත වීම මට නවත්වාගත නොහැකිය.
එක් මොහොතකදී මුළු‍ ලෝකයම නතරවූවා සේ මට දැනුනි. රළු සොඳුරුතමයෙකුගේ දෙතොල් හා මාදෙතොල් උනුන් හඳුනාගනා ගැනීමට යෙදෙන උත්සහයෙන් අප වල්මත් වී ගියෙමු. සංසාර පුරුද්දකට මෙන්ම ඒ පහසට නතු වීමට මා දෙතොල් එක නිමේශයකුඳු පමා වූයේ නැත. පිටතින් නොපෙනෙනා අපූර්ව බන්ධනයක් ඒ හදවතෙන් පැන නැගී එකට යාවී තිබුනු තොල් පෙති හරහා විත් මාගේ හදවතට බද්ධ වන අපූරුව මා දෙනෙත් වසා ගෙනම අත්වින්‍ෙඳමි. තව දුරටත් අප අතර සිරුරු දෙකත් නොමැති විය. වෙනස් සිරුරු දෙකක සැඟව සිටි ආත්මයන් දෙකක් උනුන් හුවමාරු වෙන අපූරුව මට දැනේ. අප අතර අංශුවක හෝ පරතරයක් තිබුනි නම් එයද සුන්නද්ධූලි වී යාමට මා‍ගේ දෑතම ඔහුගේ බඳ වටා යවා ඔහුව දැඩිව සිර කරගතිමි.
එයින් පසුවදා අප දෙදෙනාට වූ ලබැඳියන් කිහිප දෙනෙකුගේ ආශිර්වාදය මැද සදා අපගේම වී ජීවත් වීමට සහතික වූයෙමු. මා ඔහුගේ සෙවනේ සිටි ඒ පුංචි නිවහන කරා අප හැරලූ සියළු දෙනා ආදරවන්තයින්ට හුදකලාව කොයි තරම් නම් ආශිර්වාදයක් දැයි වටහා ගත් කල මෙන් අප හැරදහා යන්නට ගියහ. නිවසේ දොරකඩ දී හැරී ඔහු මාවෙත පෑ සිනාව මා ජීවත්ව හිඳින තාක් කල් මගේ මතකයෙන් නොගිලිහෙනු ඇත. මා අත ගෙන සාලයටද ඉන් ඔහුගේ කුටියේ දොරටුව අසලටද පිය මැන්න ඔහු කාමරෙයේ දොරටුව හරින ලදී. පුරා අටමසක් තිස්සේ මේ නිවසේ මා විසුවද කෙදිනකවත් පය නොගැහූ ඒ කුටියට මම ඇතුළු වීමි. සියල්ල සැළසුම් කරන්නට ඔහුට කාලය ලැබුනේ කොයි වෙලේදැයි මා නොදනිමි. කෘතීම එළි වෙනුවට එහි වූයේ ඉටිපහන් වලින් විහිදුන සෞම්‍ය එළියයි. ආදරයේ සංකේතය වූ රතු රෝසමල් වලින් කාමරය සුවඳවත් විය.සියල්ල පෙරදා මෙන්මය. අඩුවකට තිබූ ආදරණීය සංගීතයද දුරස්ථ පාලකයකින් අවධි වී රුව් දෙන්නට විය.
Tonight I celebrate my love for you
It seems the natural thing to do
Tonight no one's gonna find us
We'll leave the world behind us
When I make love to you
Tonight I celebrate my love for you
And hope that deep inside you'll feel it too
Tonight our spirits will be climbing
To a sky filled up with diamonds
When I make love to you, tonight 
පෙරදා ඔහුගේ උණුසුම් හාදුවෙන් පණගැසූ යම් නාදුනන හැඟීමක් තවමත් මා ගත වටා දැවටෙමින් සන්තර්පනය නොවූ යමක් ඉල්ලා කැමොර දෙන්නට පටන් ගන්නා සෙයකි. එය ඔහුටද එසේම බව ඔහු මාවෙතට ළංවූ අයුරින් මා දැනගතිමි. තව දුරටත් මා බිය විය යුත්තේ කුමකටද? ඔහු දැන් මාගේය. ඉතිරිව ඇත්තේ මා ඔහු සතු වීම පමණි. මා සිර කර ගැනීමට මාන බලමින් සිටි දෑගිලි කිහිපයක් සැනෙන් මා වෙත ලං විය. මෙතෙක් ඔහුගේ පමණක් බර දැරූ මේ යහනට අද මාද බරක් විය. ඒ රළු දෑතට බියවූ මාගේ දුහුල් සළු පිළි තව දුරටත් ඔවුන්ගේ වගකීම අමතක කර දමා මා හැර යන්නට විය. දෙනෙත් වසාගෙන මේ සොඳුරු  අරුමැසිය සිතින් හා ගතින් දෙකෙන්ම විඳ ගනිමින් සිටියදී මාගේ සළු පිළි පැහැර හැරූ ඒ වගකීම ඉටු කිරීම ඔහුගේ උණුසුම් සිරුර භාරගත්තේය.. විටෙක කොපුල් වලද විටෙක දෙතොලේද විටෙක ගෙලහිද විටක ලැමැදින්ද  දිව යන ඒ දෙතොලේ තෙතමනය උසුලාගත නොහැකිව මගේ මුවින් අරුත් සුන්වු වදන් හා කෙඳිරිලි ගිලිහෙන්නය විය..


ඇකේෂියා සිහින සිතුවමක් නිමිTonight I celebrate my love for you
And that midnight sun is gonna come shining through
Tonight there'll be no distance between us
What I want most to do, is to get close to you
Tonight
Tonight I celebrate my love for you
And soon this old world will seem brand new
Tonight we will both discover how friends turn into lovers
When I make love to you



ඒ ඇසෙන්නේ මාගේ හිස ඇතුලින්ද නැතහොත් කාමරයේ වූ ගීත වාදන යන්ත්‍රයෙන් දැයි මම නොදනිමි.. ඒ දිගු කෙහෙරැළි අතර මාගේ ඇඟිලි තුඩු ඇඳී යද්දී දහදියෙන් තෙත් වී ගිය කෙස් ඇඟිලි අතරේ පැටලී යන්නට විට. මාගේ මුහුණේ හැඟීම් කියවන්නට මෙන් ඔහු මඳ වෙලාවක් දෙනෙත් එක එල්ලේ බලා සිටියේය. ඒ නලල් තලය දිගේ ගලා ආ දහඩිය බිඳක් මාගේ මුහුණට වැටුනි. කාලය සෙමින් ගෙවෙනවාද නැතහොත් වේගයෙන් ගෙවෙනවාද යන්න මට නොවැටහේ. මා සිටින්නේ සිහිනයකද සැබෑ ලෝකයේ දැයි මම නොතකමි. ඔහු මාගේ ආත්මයේ ආභ්‍යන්තරයකට කිඳා බසිමින් ආදරයේ හා අනුරාගයේ ගැළපීම මට කියා දෙමින් සිටී. වෙහෙස දැනුනද එය නොතකා මාද ඒ රිද්මයට සම වැදුනෙමි.
සඳ නැගී බැස යන්නට ඇත. හිරු සයුර පතුලේ සැතපෙන්නට ඇත. දහසක් තරු දිලී නිවී යන්නට ඇත. සිත තුල දහසක් සමනළයින් උපත ලබා පියඹා යන ආකාරයේ සිතුවිල්ලකින් මා පෙළෙන්නට වීමි. පියවි සිහියට වන් මොහොතක මා මතට කඩා වැටුනු ඔහු මාගේ ගෙලේ ඒ මුහුණ හොවා ගත්තේ නැවතත් මා කොපුල් තලයන් සිපගනිමින්. කවදාවත් ළංකර ගත නොහැකි යැයි මා සිතූ වස්තුවක් දැන් මා ලමැදේ නිදි සුව විඳිමින් පසුවේ. අපරිමිත වූ ආදරයකින් මා ඒ හිසකෙස් අතර සිරුවට ඇඟිලි තුඩු ගමන් කෙරෙව්වෙමි. දිවි ඇති තාක් ඔහුට මේ අයුරින්ම බිඳක්වත් අඩු නොකර ආදරය කරන බවට මා සිතින් මටම දිව්රුම් දුනිමි. ආදරයේ සොඳුරු ඇඳුරා වූ ඔහුව මහත් වූ ස්නේහයෙන් වැළඳගත් මා දෙනෙත් පියා ගත්තේ හෙටින් පසු ජීවිතය ගැන සිහින දැකීමේ බලාපොරොත්තු වෙනි.
නිමි………….. !

Thursday, February 10, 2011

සිහින සිතුවමක් ! සෙනෙහසින්..7

ඇකේෂියා සිහින සිකුවමක් සෙනෙ‍හසින් වැව් තාවුල්ල පිසගෙන එන මඳ නළට රිසිසේ මා මුහුණ සිප ගන්නට ඉඩහැර මා දෑස් වසා ගෙන මොහොතක් ගත කලෙමි. ඔහු ලී පාලම දිගේ මාවෙතට ඇවිද එන ශබ්දයට මම දෑස් හැර ඔහු එන මඟ බැලුවෙමි. ඔහුගේ එක අතක බොක්ස් ගිටාරයද අනෙක් අතෙහි තරමක් විශාල කූඩයක්ද විය. ඉන්පසු මොහු සැරසෙන්නේ කුමකටදැයි සිතා ගත නොහැකිව මම ලී වැටට පිටදී සිටගෙනම ඔහු කරනා දේ බලා සිටියෙමි. ලී වේදිකාවට පැමිණි ඔහු මුලින්ම කූඩයෙන් ගණකමැති බ්ලැන්කට්ටුවක් ගෙන බිම ඇතිරීය, පසුව කූඩයෙන් ඉවත‍ට ගන්නා ලද ෂැම්පේන් බෝතලය හා වීදුරු දෙක ඒ මත තැන්පත් විය. පසුව ඉවතට පැමිණියේ උසැති ඉටිපන්දම් රදවනයකි, ඒ මත ඔහු විසින්ම ඉටිපන්දම් සවි කර ඒවා දල්වන ලදී.. හමා එන සුළ‍‍‍ෙඟෙන් ඉටිපන්දම් දැල්ල බේරීමට ඔහු දරන තැත දුටු මට සිනා නැඟිනි. අවසානයේ කූඩයේ පැත්තකට කර පරිස්සමෙන් සඟවා තිබූ කුඩා රතු රෝස මල් පොකුරක් බ්ලැන්කට්ටුවේ කොනක ලැගුම් ගත්තේය. ඒ සියල්ල සකසා අවසානයේ ඔහු එක අතක් පිටු පසට බැඳ එක අතක් මා සිටි ඉසව්වේ සිට බ්ලැන්කට්ටුවට දිග හැර මට එහි හිඳ ගැනීමට අභිරූපනයෙන් ආරාධනා කලේය. ඔහු මෙසේ සැහැල්ලුවෙන් හා දඟකාරි ලෙස හැසිරෙනු දුටු මුල් වතාව බැවින් මටද ඒ හැඟීම මදක් කාන්දු වී තිබෙන්නට ඇත. ගවුම් කොන් දෙකෙන් අල්ලා එක් පයක් පිටු පසට නවා හිස පහත් කල මමද අභිරූපනයෙන්ම ඒ ආරාධනාව පිළිගෙන අතුරනයේ මතට ගොස් හිඳ ගතිමි. අප දෙදෙනාගේ ක්‍රියාවන් අපටම සිනා ඇති කල හෙයින් අප මහ හඬින් සිනාසෙන්නට වීමු. 

“ ඇකේෂි ! ” සිනහව නවතා බොහෝ වෙලාවක් ගතවීද මා තවමත් ඔහු දෙස බලා සිටින බව මට වැටහුනේ ඔහු හදිසියේම එසේ මා ඇමතූ හෙයිනි.  “ම්ම්ම්ම්ම්” මගේ හඬ බර වැඩි වූවාදෝ මට සිතෙයි…
“ මෙහෙම හිනා වෙලා ගොඩාක් කල් , ”මා එය දනිමි.  “අද මම ඔයාව මෙතනට එක්කගෙන ආවේ ඇයි දන්නවද?” මගේ ඉරණම අමුතුමු දෙයක් කිරීමට අරඅඳින බව මට වැටහේ, එහෙත් එය පිළිගන්නට මම බිය වීමි. මතක ඇති කාලෙක පටන් මා දන්නේ බිය, දුක, සැකය පමනී. මේ මා විඳින අලුත් අත්දෑකීම් වලට මා ලෝභ වී අවසන්ය. එහෙත් දෝතින්ම එය බදා වැළඳ ගැනීමට මම පසුබාමි.. එහෙයින් මා කිසිත් නොදන්නා බව ඇඟවීමට මම හිස සැලුවෙමි. 

“ කියන්න කතාවක් තියෙනවා, ඒත් අහන් ඉන්න ඔයාට බෝරිං වෙයිද දන්නෑ” ඔය දෙතොල් දොඩමලු වෙනවා දැකීමට මා කොතරම් ආසාද කියා දන්නේ මා පමණි… “ඉස්සෙල්ලා මම මං ගැන කියලා ඉන්නම්, මගේ නම කෙවින්, වයස 29 යි, රස්සාවක් නම් නෑ, විනෝදාංශය මියුසික් කම්පෝසින්ග්, ස්පෙෂලි අන්මැරීඩ්” “තනියම ජීවත් වෙන්නේ, හේතුව දැනට මට කියලා මේ ලෝකෙ කවුරුත් නැති එක! ” එතෙක් ඒ දෙතොල් සෙලවෙන ආකාරය බලා සිටි මා ගැස්සී ඔහුගේ දෙනෙත් වලට එබුනෙමි. මාගේ මුහුණේ වූ ප්‍රශ්නාර්තය වටහා ගත් බැවින් දෝ ඔහු….“නෑ නෑ නෑ, අනාථයෙක් නෙමේ, මගේ පේරන්ට්ලා සෙපරේට් වෙලා ඉන්නේ, අම්මා ඇමරිකා වල, තාත්තා ලංකාවේ, කොහේ ඉන්නවද දන්නෑ. ඒත් එයාලා එයාලගෙම ලෝකයක් හදා ගත්තා කියලා මම දන්නවා. මම පවුලේ එකම ළමයා. අවුරුදු 24 ඉඳලම තනියම ජීවත් වෙන්න පටන් ගත්තේ.. අම්මා කරපු වැඩේ නිසා ගෑණු එපා වෙලා හිටියේ.. ඔහොම ජීවිතේ ගලාගෙන යනකොට තමයි දවසක් චූටි ගෑණු ළමයෙක් ඇවිත් තව ටිකෙන් මගේ වාහනේට යට වෙන්න ගියේ..” මම ලැජ්ජාවෙන් බිම බලාගෙන බ්ලැන්කට්ටුවේ කොනක් නියපොත්තෙන් සූරන්නට වූයෙමි. “ එයා මට එයාගේ කතාව එදා රෑම කිව්වා.. දෙයියෝ මං වගේම කෙනෙක්ව මටම ගෙනත් දුන්නේ ඇයි කියලා මම හිතුවා ගොඩාක්, එයත් මං වගේ අම්මා තාත්තාගේ ආදරේ විඳගන්න බැරිව දුක් විඳින හැටි මට දැනුනා. කවදාවත් නැතිව මට ඒ ගෑණු ළමයා ගැන විතරක් විශ්වාසයක් ඇති උනා. ඉතින් මම එයාට මගේ ගෙදර නතර වෙන්න ඉඩ දුන්නා. මම පහුවදාම එයා කියපු දේවල් ඔස්සේ ගිහින් ඒ කියපු දේවල් වල ඇත්ත නැත්ත හොයලා බැලුවා. ඒ බැලුවම ඒ පුංචි ගෑණු ළමයා බොරු කාරියෙක් නෙවෙයි කියලා දැන ගත්තා.. ඔයා දන්නවද වැඩක් ! ඔයාගේ අම්මා දන්නවා ඔයා ඉන්නේ මාත් එක්ක කියලා..”  මට අදහාගත නොහැකි විය. මා ගෙදරින් පිටවි මාස ගානක් ගත වුවද මා නොසොයා අතහැර දැමූ අම්මා පිළිබඳ මම මහත් ශෝකයෙන් සිටියෙමි. එහෙත් මොහු පවසන අයුරින් නම් ඇය මා සිටින්නේ කොහෙදැයි දනී. ඒ දැන දැනද ඇය මා බලන්නට එක වරක් වත් නාවේ මන්ද? “ මම තමයි අම්මට කිව්වේ ටික කලක් ඔයාට පාඩුවේ ඉන්න අරින්න කියලා, අම්මා ගැන තරහා ගන්න එපා හො‍ෙඳේ ” ඒ ගමන ඔහු මගේ සිත කියවන්නටද ඉගෙන ගෙන ඇති සෙයකි.. “ ඉතින් ඔහොම ඉන්න කොට මට තේරුනා ඇකේෂි, මගේ ජීවිතේ අඩුවක් වෙලා හිස් වෙලා තිබුන කොහේ හරි තැනක් මේ චූටි කෙල්ල හරිම ලස්සනට පුරවාගෙන එනවා කියලා” මුහුණට ලේ උනා දෙකන් පෙති රතු වී යන්නට ඇත. හදගැස්ම වේගවත් වී ලේ නහරයක් පුපුරා යතැයි මට බිය සිතුනි. “ ඉන්නම බැරි තැන මම ඊයේ ගිහින් එයාගේ අම්මව හම්බවෙලා මගේ කතාව කිව්වා, එතකොට අම්මා කිව්වා ……” කතාව නිම නොකරම ඔහු ෂැම්පේන් බෝතලය විවෘත කර එය වීදුරු දෙකට වත්කලේය. මම තවමත් ඔහු දෙස දෑස් දල්වා බලා සිටිමි. මට අවශ්‍ය ෂැම්පේන් නොව අම්මා දුන් පිළිතුරයි..

“කතා කරලා මහන්සි ඇකේෂි ! ආ මේක බොන්න..” දැන් නම් සිතේ තිබුන සියළු හැගීම් යටපත් වී සියුම් කෝපයක්ද ජනිත වේ.. වීදුරුව ඔහු අතින් ගෙන දෙතොල් මත තමා එය පානය කරන අයුරින් මා රංගනයක යෙදුනෙමි. “ඇකේෂි ! සින්දුවක් අහමුද?” කළහැකි අන් දෙයක් නැති නිසාවෙන් එයටද මා හිස සැලුවෙමි.. බොක්ස් ගිටාරය හිඳගෙන සිටි ඉරියව්වෙන්ම උකුලට ගත් ඔහු එහි තත් අතර රඳවා තිබූ පිකය ගෙන වාදනය ඇරඹුවේය. මුල් තනුව වයද්දීම මා එය හඳුනා ගතිමි. එය මා ප්‍රියතම පැරණි ගායක බ්‍රයන් ඇඩම්ස් ගේ ගීතයකි..
To really love a woman
to understand her
you’ve got to know what deep inside
hear every thought see every dream
and give her wings when she wants to fly
and when you find yourself lying helpless in her arms
You know you really love a woman


යමක් සිහි වූවා සේ වාදනය නතර කල ඔහු ඩෙනිම් පොකට්ටුවේ වූ ඔහුගේ ජංගම දුරකතනය ගෙන මොහොතකට පසු ඔහු ගයමින් සිටි ගීතයම එයින් වාදනය කර වන්නට විට. නැඟිට මා වෙත ආ ඔහු මා  වෙත ඔහුගේ සුරත පෑවේය. කිසි වක් සිතා ගත නොහැකිව ඒ සුරත වෙත මා අත්ල ළං කල සැනින් මා ඔසවා ඔහුගේ සිරුරට ලං කරගත් ඔහු එක් අතක් මා බඳ වටා යවා මා ඔහු වෙතට තද කර ගත්තේය.. මට වඩා බෙහෙවින් උස් වූ නිසාවෙන් ඔහු දෙස බැලීමට මට මාගේ හිස සම්පූර්ණයෙන්ම උඩුබැලිව හරවන්නට විය. අනික් අතින් මාගේ අත්ල වටා යවා ගත් හේ වාදනය වන ගීතයේ තාලයට මාහා බාල් නර්තනයේ යෙදෙන්නට විය. කිසිවක් සිතා ගත නොහැකි වූ මා බෙහෙවින් කලබල වන්නට ඇත. එහෙත් ඔහු ඒ බැල්මෙන්ම මා දමනය කර ගත්තේය. තව දුරටත් මගේ සිරුර මාගේ පාලනයෙන් මිදි පිහාටුවක් මෙන් ඔහුගේ රිද්මය හා පාව යන්නට විය.. මොහොතක් මට මා අමතක විනි. වාදනය වන ගීතයේම වදන් මගේ දෙසවන් අද්දර මුමුණමින් ඔහු මා වෙනත් ලෝකයකට කැඳවාගෙන යන්නට විය.
when you can see your unborn children in her eyes
You know you really love a woman
එය එම ගීතයේ මා ඉතාමත් ප්‍රිය කරන කොටසකී. ඔබ ඔබේ නූපන් දරුවන් ඇයගේ දෑසෙන් දකින විටදී ඔබ සැබවින්ම ඇයට ආදරය කරන බව ඔබට වැටහෙනු ඇත. ඒ කොටසේ දී ඔහු ගායනා කලේ නැත. මා දෙස බලාගෙන සිටියා පමණි. එක් වරම ඔහු මාගේ කන්පෙත්ත ළඟටම දෙතොල් ලං කර “ Acaci , I think I can see them in your eyes!” යැයි පැවසීය. සිතේ උතුරා ගලා ගිය ඒ හැඟීමට තව දුරටත් වැට කඩොලු බැඳ තමා ගත නොහී තැන එය පුපුරා කඳුළු වී මාගේ දෑසෙන් රූරා වැටෙන්නට විය.. දරා ගත නොහැකි තරම උමතු වී යාමට ආසන්න යැයි සිතුන නිසාදෝ මම මාගේ හිස ඒ පුළුල් ලමැදේ සඟවා ගෙන මගේ කඳුළු ඔහේ ගලා යෑමට ඉඩ දුනිමි…….

Wednesday, February 9, 2011

සිහින සිතුවමක් ! 6

සිහින සිතුවමක්.. අළුයම තෙක් නිදි වැරූ නිසාවෙන් පාන්දර මට හොඳින් නින්ද ගොස් තිබුනි. මා ඇහැරෙද්දී එවිටත් ඔහු නිවසින් පිටවී ගොසිනි. ඔහුගේ උදෑසන තේ කෝප්පටය අතපසු කිරීම ගැන මට මා සමඟම තරහක් ඇති විය. සුපුරුදු පරිද දවසසෙන් භාගයක්ම වාගේ නිවසේ වැඩ කටයුතු වලට ගෙවී ගියෙන් හවස් යාමයේ ස්නායෙන් අනතුරුව ඔහු ගෙනදුන් පටි සහිත ගවුමක් තෝරා ගතිමි. සුදුපසුබිමේ රෝස පැහැති මල් වැටුනු ගවුම ඔහුට හොඳ තේරීම් කල හැකි බවට සාක්ෂියකි. පටි ගවුම් හැඳ නුපුරුදු නිසාම මා ඊට උඩින් රෝස පැහැතිම ස්වෙටරය දමා ගිතිමි. එසේ ඇඳුම් අඳිමින් සිටින මොහොතේ කාරයක් මිදුලේ නවත්වන ශබ්දය නිසාවෙන් මම විමසිල්ලෙන් දොරටුව වෙත පියමැන්නෙමි.. ඒ ඔහුමය. වෙනදාට වඩා වේලාසැනින් ඔහු පැමිණියේ කිමද යන ප්‍රශ්නාර්ථය සිතේ රුවාගෙනම මම මිදුල තෙක් ඇවිද ආමි. කාරයෙන් බැස පිටුපස දොර හැර යම් කිසි බෑගයක් ගනිමින් සිටි ඔහු මා දුටු වනම ඒ ඉරියව්වෙන්ම මා ‍දෙසම බලා ඉන්නට විය. මහත් වූ විලියකින් මා ඇඹරී ගියෙමි.
ගිටාරයත් ගමන් මළුත් දෝතින්ම ගෙන මවෙත ආ ඔහු මට සිනහවක් පෑවේය . “ඇකේෂි , හොඳ ළමයා වගේ කා එක ටිකක් වොෂ්කරලා දානවද ?”  ජීවිත කාලයටම නොකළ වැඩයකි. එහෙත් ඔහුට නොහැකියි කීමට දිව නොනැමේ. හිස සලා එය පිළිගත් මා මිදුලට බැස පසෙක ඇති ගරාජයෙන් ඇවැසි දේ ගෙන මාගේ කාර්යයේ නිරත වීමී. මදක් අසීරු වුවද එය විනෝදජනක වැඩකි. සබන් දියරයෙන් බුබුළු නංවමින් පෙණ ඇති කරමින් එය කාර් ‍බ‍‍ෙඳේ තවරමින් මා සිටියදී නිවසේ සිට ඔහු මට ආමන්ත්‍රණය කරන හඬ මට ඇසුණි. වතුර බටයෙන් අත් සෝදාගෙන කරාමයද වසා දමා මම නිවස තුලට දිව ගියෙමි. හවස් යාමයේ උවද නිවස තුල මඳ අඳුරක් පැවති නිසාවෙන් මම සාලයේ විදුලි පහන දැල්වන්නට ගියෙමි. එහෙත් එක වරම සාලය මැදින්……………….
“Happy Birthday to you !
“Happy Birthday to you !
කුඩා ටීපෝව මත දැල්වෙන ඉ‍ටි පන්දම් සහිත කුඩා හුරුබුහුටි කේක් ගෙඩියකි. ඊට පසු පසින් ඔහු බොක්ස් ගිටාරය ඔහු ගයන ගීතයේ තාලයට වාදනය කරමින් මා වෙනුවෙන් උපන්දින ගීතය ගයමින් සිටී..
“Happy Birthday Dear Acaci”
“Happy Birthday to you !
අද මාගේ උපන්දිනට බව සැබැවින්ම මට සිහියක් තිබුනේ නැත. කිමද මෙහි ආදා පටන් මට ගෙවෙන දවස් හෝ දිනයන් ගැන අවබෝධයක් නොතිබූ බැවිනිත දෙනෙතට කඳුළු ඉනීමට එතරම් වෙලාවෙක් නොගියේය. සෙමින් ඔහු වෙතට පැමිණී පසු ඉටිපන්දම් ටික නිවා දමන ලෙස ඔහු මට දෙනෙතින් සංඥා කලේය. පහත් වී ඉටිපන්දම් නිවන විට ම‍ම සිතෙන් එක් ප්‍රාර්ථනාවක් කලෙමි.  අපූරුවට දම්පැහැති රිබන් ඔතා සරසා තිබුනු කුඩා පිහියෙන් කේක් කෑල්ලක් කපා ගත් මම එය ඔහුගේ මුවට ළංකලෙමි.  මගේ දෑතම අල්ලා කේක් කෑල්ලෙන් කොටසක් මුවේ රුවාගෙන ඉතිරි ගෙන නැවතත් මා හට කැවුවේය. නැවතත් කතාබහකින් තොරවම අපි දෙදෙනා මුහුණට මුහුණ බලා සිටියදී කාලය දිව යන්නට විය.  “කොහොමද අද මගේ birthday එක කියලා දැන ගත්තේ ?” මම ඇසුවේ සැබවින් එය වූයේ කෙසේද යන්න දැන ගැනීමේ කුහුලෙනි.
“ එදා වැස්සේ මම ඔයාව උස්සන් ආවෙ. එදා මම ඔයාගේ පොකට් ටික බැලුවා. ඒවගෙ අයිඩෙන්ටිට කාඩ් එක තිබුනා නේ” සැබවින් ඒ කිසිවක් මා නිවසින් ගෙන ආ බවට මට මෙතෙක් සිහි නොවි තිබුනු හැටි. “ඇකේෂි ! තව Surprise එකක තියෙනවා. ඔයා කැමතිද මාත් එක්ක එළියට යන්න ? මෙතෙක් තිබුනේ ඔහු එය අසන පමාව පමණි. ඔහු හා නිවසින් පිට යාමේ ආශාවක් මා සිතේ තිබුනද එය මෙතෙක් ප්‍රකාශ නොකර සිටියේ ඔහුට කරදරයක් වීමට බියෙනි. එහෙත් අද ඔහුම එය යෝජනා කරද්දී එය ප්‍රතික්ෂේප කිරීමට මම සූදානම් නැත. ඉඳින් මා හිස සලා ඔහුගේ ආරාධනාව පිළිගත්තෙමි..
සිහින සිතුවමක්
කාරයට නඟින මොහොතේ මගේ සිතට තටු ලැබුනාක් වැනී හැඟීමකින් මා ඉපිලෙන්නට වීමි. ජනාකීර්ණ ප්‍රදේශ පසු කරමින් මඳින් මද අප නිසන්සල තුරු වදුලු පිරුන ප්‍රදේශයක් කරා ළං වෙමින් සිටියෙමු. මඳකින් ඔහු කාරය පටු අතුරු මාවතකට හරවා ගත්තේය. එයින්ද මද දුරක් ගමන් කළ පසු මා නෙත ගැටුනේ අමුතුම නිවාසයකි.. එය විදෙස් ඌරුවකට තනන ලද ඉතා කුඩා නිවසක් උවද එය වටා වූ උද්‍යානය මදක් පුළුල්ව විහිදුනි. මම පුදුම වූයේ ඔහු නිවසේ දොරටුව වෙත නොව නිවස පසු කර එය පසු පසට ගමන් කල නිසාවෙනි……… 
“මේක මගේ යාළුවෙක්ගේ ගෙදර, එයා මේ දවස් වල ඉන්නේ ඉතාලි වල. යතුර මට භාර දීලා ගිහින් තියෙන්නේ.. Come”. නිවස පිටුපස කොටසට ගිය මට නෙතු අදහා ගැනීමට නොහැකි විය. නිවස පිටුපස වූයේ කුඩා වැව් තාවුල්ලකි. පිටුපස මිදුලේ සිට වැවේ මද දුරක් තෙක් විහිදුනු පාලමකි. එය අවසන් වන තැන හතරුස් හැඩයට සෑදූ වේදීකාවක්ද එයින් වැවට බැසීමට සාදන ලද ලී පඩි වැටකි. උමතු වීමට ආසන්න ආශාවකින් මම ඔහුගෙන් මිදී එම පාලම දිගේ ලී වේදිකාවට දුව ආවෙමි. ලී වැටෙන් වැවට එබී නැවතත් ඔහු දෙස බලන කල ඔහු මිදුලේ සිට කුඩා දියණියක් දෙස බලා සතුටුවෙන පියෙකු සේ දෑත් ලැමදේ බැඳගෙන මා දෙස බලමින් සිනා සෙමින් උන්නේය.

Tuesday, February 8, 2011

සිහින සිතුවමක් ! තවමත් …5

ඇකේෂියා
එදින ඔහුගේ පොත් රාක්කය පිළිවෙලට අසුරමින් සිටියදී මට එහි තිබී ඡායාරෑප ඇල්බමයක් ඇස ගැටුණි. එය සීරුවට ගෙන පසෙක තබා මාගේ කාර්ය අහවර ‍කර ඇල්බමය ගෙන සෝෆාව වෙත ගොස් මා එහි පිටු එකින් එක පෙරළන්නට වීමි. කුඩා කාලයේ පටන් තරුණ වියට පාතබන තෙක් ඡායාරෑප ඇති එම ඇල්බමය ඔහුගේ ජීවිත කතාව ලියා තැබූ පොතක් වැනිය. එය නරඹමින් සිටියදී ඔහුගේ කාරයේ හඬ ඇසුන හෙයින් මා ඇල්බමය සෝෆාව යටට තල්ලු කර දමා දොරටුව වෙත දුව ගියෙමි. මා ඔහුවෙතින් වෙනස්ම සිනහවක් ලද බව මට දිවුරා පැවසිය හැක. සුපුරුදු ලෙසම ගිටාරය මා අතට පත් කල ඔහු ලාවට පෙන් මගේ හිස පිරිමැද ගෙන නිවසට ඇතුළු විය.
“හොඳ නෙස්කැෆේ එකක් බොමුද?” සෝෆාවේ ඇද වැටෙමින් මෙන් පවසද්දී අද ‍ඔහුට වෙහෙසදායි දිනයක් බව මට ඒත්තු ගැන්විනි. හනික මුළුතැන්ගෙට දිවගය මා අප දෙදෙනාටම කිරි‍කෝපි දෙකක් පිළියෙල කර සාලයට පියනැඟුවෙමි. එක කෝප්පයක් ඔහුට පිරිනමා ඒ අභියසම බිම වාඩි වූ මා සීරුවට ඔහුගේ සපත්තුවේ ලේස් ගැටය ලිහන්නට වීමි. මේ කාර්යය කෙරෙන අතර තුරම නෙස්කැෆේ කෝප්පය සිමින් තොලගෑ ඔහුගේ දෙනෙත මවෙතටම යොමු වී තිබෙන බව මා ඇස් කොණින් වාගේ මට පෙනේ. සපත්තු දෙක ඔහුගේ දෙපතුලෙන් ඉවත් කලද ඔහුගේ බැල්ම මගෙන් ඉවත් නොවුනි. එය දරා ගත නොහී තැන මාද එක ‍එල්ලේ ඔහු දෙස බැලුවේ එයින් වත් ඔහු මෙල්ල කිරීමට හැකි වේ දැයි බලන්නටය.
“හැමදාමත් මෙහෙමම ඉන්නද කල්පනාව?”
“ඔයා එලවනකල් !”
“පිස්සී…..” මගේ මුළුඇතුලාන්තයම සලිත කරවන ඒ මද සිනහව….
“ හැමදාම මගේ ට්‍රව්සර්ස් ෂර්ට්ස් අන්දලා තියා ගනී කියලා හිතුවද? ”
දෙවියනි! එසේනම් ඔහු මේ සැරසෙන්නේ මා මේ නිවසින් පිට කිරීමටද? කඳුළු පිරී ගිය දෙනෙත් ඔහුගෙන් සඟවනු වස් මම හිස බිමට නැඹුරු කලෙමි . එහෙත් නෙතට බරවූ කඳුළු කැට දෙකක් බුමුතුරුණ මතට වැටී ක්ෂනිකයෙන් ඒ අතර සැගවී ගියේය. නොසීතු මොහොතක දෝතින්ම මගේ මුහුණ ඒ දෙඅත්ලට ගෙන ඔහු වෙත හරවා ගත්තේය. මුහුණට මුහුණ බලා ගෙවුනු ඒ තප්පර කිහිපයක කාලයට මා සිතෙන් දහස් වර මැරි උපදින්නට ඇත. ඒ උණුසුම් සුසුම් මා මුහුණ පුරා දිව යද්දී සැනෙකින් පැන ඔහුගේ මුහුණ නොනවත්වා සිපගෙන යෑමේ වල්මත් ආශාව මම ඉමහත් ආයාසයකින් යටපත් කර ගතිමි.
“ මගේ ඇඳුම් අඳින්න දෙන්නෑ කියලා කිව්වේ අද ඉඳන්. මේ.. මම ඔයාට ඇඳුම් ගෙනාවා” මගේ මුහුණ දෝතින් මුදාහල ඔහු එතෙක් ඔහු පිටුපස සඟවා සිටි ඇඳුම් බෑගයක් මා වෙතට පෑවේය. හිතේ වූ මහා බරක් නිදහස් වෙද්දී මම එය පිළිගතිමි. “ හා හා දුවන්න, ගිහින් මොනා හරි ඇඳන් එන්න සයිස් ඇතිද බලන්න” ඒ අණට පිටින් යන්නට මම බිය වීමි. ඇඳුම් බෑගයද ගෙන නාන කාමරයට වැදුනු මා ඉතා කුහුලෙන් යුතුව බෑගය අවුස්සන්නට වීමි. රෝස පැහැයෙන් හෝ ඊට සමාන පාටකින් යුතු ඒ ඇඳුම් පොඩි ටික මට මහා වස්තු සම්භාරයක් පහළ වූවා සේ අගේ විය. එකිනෙක ගෙන ඇඟට තබා පරීක්ෂා කිරීමේදි ඒවා මම සාමානයෙන් අඳින ඇඳුම් වලට වඩා මදක් කෙටි බව මට පෙනුනි. එහෙත් ඒ බව ඔහුට පවසන්නේ කෙලෙසකද? කළයුතු දෙයක් නැති බැවින් මම හෙමින් සීරුවේ නැවතත් සාලයට පිය නැඟුවෙමි.
“ කෝ, ඇන්දේ නැද්ද?”
“ ඒවා ටිකක් කොටයි නේ”
ඔහුගේ මුහුණට බැරෑරුම් පෙනුමක් ආරූඪ විය… “ ඉතින් මොකද? මම බලන්නෑ ඔය මොකවත්, අනික ඒ ෂොප් එකේ දිගට තිබුනේ පාටි ‍ෆ්‍රොක්ස් විතරයි.. මම නැති වෙලාවට හරි අඳින්න”
“අනේ…” එවර නම් ඔහුගේ මුහුණ රතුවී වෙනස් වී ගිය අතර වේගයෙන් මවෙතට පැමිණ ඇඳුම් බෑගය උදුරාගෙන මුළුතැන්ගෙට පිය නැගුවේය.
“Fine! Then it all goes to garbage” මෙතරම් නපුරු කමක් මේ සොඳුරු මිනිසාට ඔබින්නේ නැත. මුළු ඇඳුම් බෑගයම කුණු කූඩයට විසි කල ඔහු කාමරයට වැදි දොර වේගයෙන් වසා ගත්තේය. දෙතොල නොපිට පෙරලීගෙන මතුවූ ඉකියක් සමඟ මා හට මහා මූසල හැඟිමක් ඇති විය. හඬමින්ම කුණු කූඩය වෙත ගොස් ඇඳුම් බෑගට ගෙන එතෙක් මා ඇඟලා සිටි ඔහුගේ පිඡාමාව ගලවා ඇඳුම් අතර තිබූ රෝස පැහැති ගවුම හැඳ ගතිමි. දනිස් තරමට කෙටිවූ ගවුම නිසා මට තරමක් අපහසුවක් ඇති වුවද ඔහු වෙනුවෙන් එය පුරුදු වීමට මම ඉ‍ටා ගතිමි. මවිසින් පිසූ ආහාර තවමත් ගෑස් උදුන මතය. අද ඔහු කාමරයෙන් එළියට පැමිණෙන සේයාවක්ද නැත. මද පසුබෑමකින් යුතුව ඔහුගේ කාම‍රයේ දොර වෙත පියනැගූ මා දොරට සෙමෙන් තට්ටු කලෙමි.
Please open the door !, මම ඒවා අඳින්නම්.. මේ බලන්න මම එකක් ඇන්ඳා. Open the door !” ඔහුට මෙතරම් දරදඬු විය හැකි බව මම මෙතෙක් නොදැන සිටි කරුණකි. ඉකිබිඳුම වැඩී වු හෙයින් මා සෝෆාවේ දිගා උනෙමි. අද නින්ද මා කරා නොඑනු ඇත. මහා හිස් හැඟීමකින් යුතුව සුසුම් ලමින් තවත් හෝරාවක් ගත විය. මැදියමට ආසන්න වීමේදී මට ඔහුගේ කාමරයේ දොර හැරෙන ශබ්දය ඇසුනි. වහා අනෙක් පසට හැරී ගුලි වූ මා දෑස් තදින් පියා ගතිමි. පා ගැටෙන හඬ ලංවම ඇසේ. අවසානයේ ඒ හඬ මා අසළටම විත් නැවතුනේය. නිදා සිටින බව ඇඟවීමට මා ගැඹුරින් හා සීරුවට හුස්ම ඉහල පහළ ගත්තෙමි. එහෙත් මාගේ හද ගැස්ම ඔහුට ඇසෙන තරමටම වේගවත්ව ගැහෙන්නට විය. හිමින් සිරු‍වේ ඔහු ළං වෙනු දැනුනෙන් මද චකිතයක් ඇති වූ නිසා මට නැඟී සිටින්නට සිතුනද එකෙනෙහිම වාගේ ඔහු විසින් මා වතට මාගේ බ්ලැන්කට්ටවු අතුරන ලදී. සිරුවට එය මා ගත වටා දැවටු ඔහු පහත් වී මාගේ හිස පිරිමැද ආපසු හැරී යන්නට ගියේය. මහත් සෙනෙහසකින් මගේ සිත උතුරා යන්නට වූ අතර එතෙක් සිතේ රැඳී තිබුනු ශෝකය හිරු දුටු පිණි කඳුලක් මෙන්ම අතුරුදන් වී ගියේය.

Monday, February 7, 2011

සිහින සිතුවමක් ! තවමත් දකිමි…4

25[1]
“But I have some conditions! ” ඔහු කිව්වා ඔබට මතක ඇත. එහෙත් ඊළග මොහොතේ ඔහු ඉදිරිපත් කල ගිවිසුම් වලට මට යටි සිතෙන් සිනා නොවී සිටීමට නොහැකි විය. “විශේෂයෙන්ම මගේ වැඩ වලට ඇඟිලි ගහන්න එපා, ගැහැණු ළමයි වගේ ප්‍රශ්න අහන්න එපා, ගෙදර තියෙන දේවල් වෙනස් කරන්න එපා, මොනම හේතුවකට වත් මගේ කාමරේට යන්න එපා, ඔයාගේ වැඩ ඔයාම කර ගන්න, වැඩිය එළියට යන්න එපා, මට නොකියා කොහෙවත් යන්න එපා, ඔක්කොටම වඩා මම කැමති නෑ වැඩිය කතා කරන මිනිස්සුන්ට, ඒ නිසා වැඩිය කතා එපා !”


“මම මෙහේ ඉන්න කැමතියි !”


එය මාගේ ජීවිතයේ මා ගත් හොඳම තීරණය බව මා එවෙලේ නොදැන සිටියෙමි. ඒ පිළිතුරත් සමඟ මාගේ ජීවිතයේ වසන්තය රහසේම උදාවූ බව මම එවෙලේ නොදැන සිටියෙමි. ඒ මොහෙතේ පටන් මගේ කඳුළු කතාව නිමවූ බව මම නොදැන සිටියෙමි. ඉඳින් මින් මතුවට මා ඔබට පවසන්නේ මාගේ කුඩා දිනපොත් මිතුරා පරිස්සමට රැකගත් මාගේ ඒ සොඳුරු දිවියයි.


මේ නිව‍සේ ඔහුගේ නිදන කාමරය හැර තවත් නිදන කාමර නොමැති විමෙන් මා හට රාත්‍රිය ගත කිරීමට වූයේ මා සැතපී සිටි සුවපහසු සොෆාවේය. නිදන යහනකට වඩා එයට මා ප්‍රිය කලෙමි. දිගු කාලයකට පසු මම සුව නින්දක් ලැබුවෙමි. පසුවදා මා අවදිවන විට යන්තම් හිරු කිරණ පොළවට වැටුනා පමණි. මම සෝෆාවේම වාඩි වී මදක් බලා සිටියේ එක් වරම මා සිටිනා ඉසව්වා හඳුනා ගත නොහැකිවය. සැනෙකින් මා සිතේ මහත් වූ ප්‍රබෝධයක් ඇති වු අතර එකෙනෙහිම නැඟිට ගත් මා ඇඳ සිටි ඔහුගේ පරණ දිගු කමිසයේ අත් නවමින් මුළුතැන්ගෙට පියනැගුවෙමි.

මා කැමති ආහාරයක් පානයක් සාදා ගැනීමට මට තහංචියක් නොමැත. ඔහුට අවශ්‍ය දෑ ඔහු විසින්ම පිළියෙල කර ගනී. කෘතගුණ දැක්වීම ඔහුගේ ඇඳුම් සේදීමට හා ආහාර පිසීමට මා ඉදිරිපත් වුවත් එයටද මට අවසර නොලැබුනි. එකම වහලක් යට නොහඳුනනා පුද්ගලයන් මෙන්න කල් ගෙවූයෙමු. දවසේ මා ප්‍රියතම වරුව වූයේ හවස් යාමයේ ඔහු බොක්ස් ගිටාරය ගෙන ඔහුගේම තනු නිර්මාණය කරන අවස්ථාවයි. එවිට මාද පොත් රාක්කයෙන් තෝරාගත් පොතක් ගෙන සෝෆාව පාමුල හොඳින් ඔහු ඇසගැටෙන සේ හිඳගනිමි. අතැඟිලි පොතේ පිටු පෙරළුවද දෑස ඔහු වෙතින් ඉවත් කර පොතේ පේලි දිගේ යැවීම මහත් අසීරු කටයුත්තකි. අවධාවමක් නැති සෑම මොහොමතක මගේ දෑස ඔහුගේ ගිටාරය වයමින් එය සටහන් කරන ආකාරය රස විඳීමට මට බල කරයි… දිනක් එසේ ඔහු දෙස බලා සිටි මොහොතක හදිසියේම ඔහුගේ දෑස මා දෙස යොමු විය. අවාසනාවකට මගේ දෙනෙත පොත දෙස යොමු කරන්නට මා පමා වූයෙමි. ගිටාරය පසෙක තබා මා දෙසට පිය මනින ඔහු දෙස මම විපක්ෂිතව බලා සිටියෙමි. මගේ හදගැස්ම වේගවත් වනු මට ඇසුනි.

“British Civilization හ්ම්ම්…… මම කවදාවත් මේ පොත කියවලා නෑනේ.. කතාව ලස්සනද? ආ… අනික් පාර පොත කියවද්දි මේ පැත්තට හරවලා කියවන්න OK!”
පොත උඩුබැලි කර මා අතට පත් කල ඔහු නැවත ඔහු සිටි තැනට පිය නැඟීය. මහපොළව දෙබෑකරගොස් කොහේ හෝ මුල්ලක සැඟවෙන්න තරම් මට සිතුනි. එහෙත් ඒ හැඟීම යටපත්ව සියුම් සතුටක් මා සිතේ උද්දීපනය වන අයුරක් මට දැනුනි. එයට හේතුව මා මෙහි සිටි කාලය තුල ඔහු සිනාසෙනු දුටු මුල් වතාව මෙය වීමයි.
තවත් දිනෙක ඔහු ගෙදරින් පිටව සිටි අවස්ථාවක් බලා ඔහුගේ අවසරය නොපතාම මම රාත්‍රී ආහාරය පිළියෙල කරමි. විශිෂ්ඨ කෝකියෙකු නොවුනද යම් පමණකට ආහාර පිසීමේ මා සතු හැකියාව මම උපරිමයෙන් මෙහිදී භාවිතයට ගත්තෙමි. කෑම මේසෙට පිළිවෙලින් සකසා මා ඔහු එනතුරු බලා සිටින්නට වීමි. මැදියම් රැයට ආසන්න වෙමින් තිබියදී ඔහුගේ කාරයේ හඬ සවනත වැකුනු අතර මා ඉදිරිපස දොර දෙසට දිව ගියෙමි. ඒ දෙතොලග මා දුටුවේ සිනහවක් යැයි මාගේ සිත කෑමොර දෙන්නට විය. බොක්ස් ගිටාරය මා අතට දුන් ඔහු කමිසයේ බොත්තම් ලිහිල් කරමින් නිවසට ඇතුලු විය. මාද ඔහු පසු පස ඇදුනේ ඔහුගේ අනවසරයෙන් ආහාර පිසීමට අනිවාරයෙන්ම බැනුම් ඇසීමේ බලාපොරොත්තුවද සිත ඇතුවය.


“ Wow, I was staving !” පොඩි එකෙකු සේ දිවගොස් මේස පුටුවක අසුන් ගත් ඔහු දෙඅත්ල වේගයෙන් පිරිමදිමින් මා දෙස නෙත් හෙළුවේය. බලාපොරොත්තු නොවූ ප්‍රතිචාරය නිසාම මා මදක් ගල් ගැසි ඔහු දෙස බලා ඉන්නට විය. සමහර විට මාගේ මුවද භාගෙට ඇරී පවතින්නට ඇත.


“ Are you not going to serve me?” අද පමණක් නොව අවසර දෙනවා නම් හැකි සෑම දිනෙකම මට එය ඔබ වෙනුවෙන් කළ හැක නුඹ නොදනී……
එදින පටන් මේ නිවස තුල මා හට යම් යම් කාර්යන් කිරීමට ඔහුගෙ අවසරය පැතීම අනවශ්‍ය විය. ආහාර පිසීම්, නිවස පිරිසිදු කිරීම, ඇඳුම් පැළඳුම් සේදීම ඇතුළු නිවස අභ්‍යන්තරයේ බොහෝ ක්‍රියාවන් මා අතින්ම සිදුවන්නට විය. එහෙත් ඒ කෙදිනකවත් ඔහුගේ නිදන කුටියට යෑමට මා පෙළඹුනේ නැත. ඒ වන විට මා මේ නිවසට පයගසා මාස දෙකක් හෝ තුනක් ගතවන්නට ඇත. එනමුදු ඒ කෙටි කාලය තුලදී මා මේ ආගන්තුකයාට බැඳී ‍ගියෙමි. ඔහු වෙනුවෙන් යමක් කල හැකි නම් එය ඉටුකිරීමට මා දෙවරක් නොසිතුවෙමි. මා හට මේ කලාවූ උපකාරයට ඔහුට කෙසේ නම් කෘතගුණ දක්වන්න දැයි මා සෑම විටෙකම විමසිල්ලෙන් සිටියෙමි. කල් යත්ම ඔහුගේ සංගීත සටහන් තබන පැන්සල පවා හොඳින් උල් කර තැබීව වැනි පුංචිම කාර්යක් පවා මා අතින්ම සිදු කිරීමට මා පුරුදු වූයෙමි. සැබවින්ම එය එසේ සිදුවූයේ  ඔහුට කළගුණ සැලකීමකටද නැති නම් ඔහු වෙනුවෙන් ඒක පාර්ශවික ආදරයක් මා සිත තුල දළු ලෑමට පටන් ගැනීමදැයි මම නොදනිමි.  ‍

හිරු නගින තුරුත් ඉන්පසු හිරු බසින තුරු මා හට ඉවසුමක් නැති විය. ඔහු නිවසේ නැති පාළුව මකා ගැනීමට දහවල් තිස්සේ ඔහු ඇඳ පසෙක ලූ කමිසයක් ඇඟ වටා දවටා ගෙන සාලයේ නටන්නට වීමි. ඔහුගේ ලොකු සපත්තු යුගල තුල මාගේ කුඩා දෙපතුල් රුවා නිවස පුරා ඇවිද්දෙමි. එහෙත් කතා බහකින් තොරව උවද ඔහු නිවසේ සිටින විට දැනෙන ඒ හැගීම ගෙන දෙන්නට මේ කිසිඳු ක්‍රියාවක් සමත් වුයේ නැත. දිනෙන් දින ඔහුගේ සිනහව මට තවදුරටත් දුර්ලභ දර්ශනයක් නොවුනි. අප අතර වූ කවදාවක වත් නැති නොවේ යැයි සිතූ පරතරය යන්තම් අඩු වෙමින් පවතින බව මට දැනෙන්නට පටන් ගෙන තිබුනි. එහෙත් උවමනාවට වඩා ඔහුට ලං වීමට හෝ ඔහුගේ ජීවිතය අත පත ගෑමට තරම් තවමත් මම නිර්භීත නොවුනෙමි. එහෙත් ඔහුගේ හුස්ම දැනෙන ඉසව්වේ, ඔහුගේ ආරක්ෂාව යටතේ ගෙවෙන මේ ජීවිතයට මා උපරිමයෙන් ලොබ බැඳීමී.

Thursday, February 3, 2011

සිහින සිතුවමක්! නොනිමි……3

“මට ගෙදර යන්න බෑ….!”
“වෝව්, වෝව්, වෝව්………. සේ වට් ?”
“මට ගෙදර යන්න බෑ….!”
“Listen girl !”
“‍‍ඇකේෂියා ! මගේ නම ඇකේෂියා…”
“ඕකේ ඇකේෂියා, ඔයා ඊයේ රෑ කරදරයක වැටිලා හිටියේ, ඒ වෙලාවේ මට ඔයාව තනි කරන්න බැරි නිසා මම ඔයාව ගෙදර එක්කගෙන ආවා. මම හිතන්නේ දැන් ඔයාට තනියම ගෙදර යන්න පුළුවන්. බැරි නම් කියන්න මම ඔයාව ඇරලවන්නම්. OK !”
“මම කරදරයක වැටිලා ඉද්දි බේරගත්තාට ස්තූතියි, ඒත් ඔයා මාව ගෙදර එක්කගෙන යනවා කියලා මාව ආයෙත් ඒ කරදර ගොඩටම තල්ලු කරන්නයි හදන්නේ. මම රෑ ගෙදරින් ආවේ වෙන කරන්නම දෙයක් නැති නිසා. ප්ලීස් ! ප්ලීස් ! මාව ගෙදර එක්කන් යන්න එපා ප්ලීස් !”
මා හට පිහිට වූ පළියට ඔහුට මෙසේ කිරීම නොහොබිනා කමක් යැයි මම දනිමි. එහෙත් මා දැන් පත්ව සිටින අසරණ තත්වය මත මට කළ හැකි අන් කිසි දෙයක් නොවේ. මා කළලයක්ව සිටියදීම හැර ගිය තාත්තා. තනිව ජීවිතයට මුහුණ දිය නොහැකිව දෙවැන්නකුගේ පිහිට පැතූ අම්මා, තම රුධිරයෙන් නූපන් නිසා මා තවත් එක් ගැහැණියක් සේ දකින කුඩප්පච්චි. නිතරෝම බියෙන් සැකෙන් ගෙවූ ඒ ජීවිතය ගැන මම හැකිතාක් මාගේ ආගන්තුක ගැළවුම් කරුට තතු කීවෙමි. කුඩප්පච්චිගේ කෙනෙහිලි කම් වලට නතු නොවුනු නිසාවෙන් මා ඔහුගේ බඳ පටියෙක් කෑ පහරවල් මා‍ගේ උරිස් හා අත් වල හොඳින් සටහන් වී තිබුනි. වැස්සට තෙමීම නිසා ඒවා ඉදිමී නිල් ගොස්ය.
ආගන්තුකයාගේ ඇස් ඒ දෙස විමසුමෙන් බලා සිටිනු මම දුටිමි. මා‍ගේ ශෝකාලාපයෙන් පසු මිනිත්තු කීපයක් ගෙවී ගියද ඔහු හඬ අවදි කිරීමකින් තොරව ඔහේ බලා සිටින්නට විය. අවසානයේ ඉවසාගත නොහැකි තැන මම කතා කලෙමි. ‍
“ප්ලීස් මිස්ටර්, ඔයා මට තව එකම එක උදව්වක් කරන්න, මම දන්න තරමින් අපිට නෑදෑයෝ නෑ. පුළුවන් කමක් තියේ නම් මාව අනාථ නිවාසයකට ගිහින් දාන්න, නැතිනම් මට පුංචි හරි ‍ජොබ් එකක් හොයලා දෙන්න”  ඒ කල්පනා කාරී දෑස් තවමත් මා දෙසට යොමු නොවුනි. ඔහු එසේ සිටීම මට ඔහුව නිරීක්ෂණය කිරීමට හොඳ අවස්ථාවක් විය. දිගු විශාල කැරළි කෙස්, කොටු උපැස්, කල්පනා කාරී දෑස්.. මුඩු රැවුල් ගස් ඔහුගේ පෙනුමට පරිණත බවක් ගෙනදිය. දෑත් බැඳ නිකට ඒ මත තබා ඔහු කල්පනා කරමින් සිටින අයුරු මම බලා සිටියෙමි. හදිසියේම ඔහු මදෙස බලද්දී මාගේ නිරීක්ෂණය ඒ දෙනෙතට අසුවිය. සියුම් ලැජ්ජාවකින් මා සිත කොනිති ගසන්නට වි‍ය.
“ඇකේෂි ! ” ඇතුලාන්තයෙන් දැවී ගියෙමි. මට එසේ ආමන්ත්‍රණය කරන්නේ මගේ මව පමණි.. ඒද මා ඇයට සුරතලයෙන් ලංවූ මොහොතක් පමණි.
මම ඔයාට මෙහෙම කිව්වොත් ඔයා පිළිගනීවිද? එයාට පුළුවන් තරම් කාලයක් මගේ ගෙදර ඉන්න පුළුවන්! ඔයා කැමතිනම් විතරයි”  “But I have some conditions! What do you say ?”
සිතන්නට වේ. බෙහෙවින් සිතන්නට වේ….. එහෙත් මා සතු අන් විකල්පයක්ද නොමැත.
මා කළ යුත්තේ කුමක්ද?

Wednesday, February 2, 2011

සිහින සිතුවමක් ! තවදුරටත්…..2

සිහින සිතුවම්_තව දුරටත්
තදබල හිසේ කැක්කුමක් සමඟ මා පියවි සිහියට පැමිණෙද්දී මාගේ යහනේ මා වැතිර සිටින්නාක් වැනි උණුසුම් ආරක්ෂාකාරි හැඟීමක් මට ඇති විය. ඉහ අද්දර අම්මාගේ මුහුණ දැකිම පිණිස මා සෙමින් දෑස විවර කලෙමි. නැත මේ මාගේ නිවස නොවේ. සිහින් තැති ගැන්මක් ඇති වුවද ඉවකින් මෙන් මා සිටින්නේ ඉතා ආරක්ෂාකාරි පරිසරයක බව මට හැඟිනි. තව දුරටත් අඩවන් දෙනෙතින් අවට නිරීක්ෂණය කරන අතර එතෙන් මට ඇසුන බොක්ස් ගිටාරයක් වැයුම් හඬ පැමිණියේ වාදන තැටියකින් නොව මා ඉදරියේ සිටින
පුද්ගලයාගේ වැයුමෙන් යැයි මා හඳුනා ගතිමි.

ඔහුගේ රැළි ගැසුන මදක් දිගටි කෙස් උරහිස දක්වා විහිදී ඇත. මට ඔහු පෙනෙන්නේ පැත්තකට වුවත් ඔහු උපැස් යුවලක් පැළඳ සිටින බව මට හොඳන් වැටහේ. ගිටාරය යම් තනුවකට වයන ඔහු ටිකකින් පැන්සලකින් පොතේ යමක් සටහන් කරයි. නැවත අපැහැදිලි තනුවක් වාදනය කරයි. මේ අතරවාරයේ එක් වරම ඔහු හැරී මා දෙස බැලුවේය. ඒ බැල්මට හසු නොවී සිටීමට මම පොරවා සිටි බ්ලැන්කට්ටුවෙන් ක්ෂනිකයෙන් මාගේ මුහුණ වසා ගත්තද මා ප්‍රමාද වැඩි බව ළඟ ළඟම ඇසෙන ඔහුගේ පා හඬින් මට වැටහිනි.
   
   "Are you feeling well?"

ඒ හඬට තව දුරටත් මට බ්ලැන්කට්ටුව තුළට වී ඉඳීමට නොහැකි කුමක්දෝ බලවේගයක් මෙන් මාගේ මුහුන නිරාවරනය කිරීමට සමත් විය. දෑස් දල්වා මා ඔහු දෙසම බලා සිටියෙමි.

    ඔයාට කොහොමද දැන්? අමාරුවක් නෑ නේද?

මම හිස ‍සැලීමි.

මම කෝපි එකක් බොන්න යන්නේ. ඔයාටත් ඕනද?

නැවතත් හිස සැලීමි.

    Good!
ඔහු ආපසු හැරීගිය අතර වාරයේ ලද අවසරයෙන් මා නැඟී සිටියෙමි.එතෙක් මා වැතිරී හිඳ ඇත්තේ සුවපහසු සෝෆාවකය. අවට බැලූ මට වෙන කිසිම නිවෙසක දැකිය නොහැකි අපූර්වත්වයක් මෙහි දැක ගැනීමට හැකි විය. ඔහුගේ මුළුතැන්ගෙය මා සිටි සාලයට පෙනෙන මානයේ විය. නිවසේ සියළු අංගයන් සාලයේ සිට නැරඹිය දැකිය හැකි ලෙස සැකසූ මේ නිවහන සැබවින්ම හුරුබුහුටි විය. එක් උසැති රාක්කයක් පුරවා විවධ වර්ගයේ ග්‍රන්ථයන් විය. එයට පසෙකින් වූ කුඩා රාක්කයේ විවිධ සංගීත භාණ්ඩයන්හි කුඩා අනුරෑ පිළිවෙළකට අසුරා තිබුනි. බිත්තියේ වර්ණවත් සිතුවමකි. එය තේරුම් ගැනීමට මා හට මදක් හිස ඇළ කර බැලීමට සිදුවිය. නැත එයත් කොහෙත්ම තේරුම් ගැනීමට නොහැකි විකාර සිතුවමකි. කෝපි සාදන අතරවාරයේ ඔහු මාහා දොඬමලු විය. සැබවින්ම එය දොඬමලුවක් නොවීය.

 "රෑ පාරෙ වැටිලා ඉද්දියි මම ඔයාව එක්කගෙන ආවේ"

    මද විරාමයක්!

    "වෙන කරන්නම දෙයක් තිබුනේ නෑ"

    "ගෑණු ළමයෙක් තනියම යන වෙලාවක්ද ඒ"

"ආ....මේක බොන්න...."

"බීලා ඉවර උනාම අපි ගෙදර යමු OK. Don't worry ! "

මේ කවරාකාර මනුෂ්‍ය ප්‍රාණියෙක්ද? මා වෙතින් කිසිඳු පිලිතුරක් අපේක්ෂා නොකර ඔහුම විසින් සියළු දේ තීරණය අවසානය.

"මට ගෙදර යන්න බෑ......."


"WHAT???"

Tuesday, February 1, 2011

සිහින සිතුවමක්! 1

 ‍


ගෙදරින් එළියට බැස්ස මොහොතේ සිතේ වූ ධෛර්ය බිඳකුඳු දැන් මගේ සිතේ නොවෙයි. ජනේලයෙන් පැනීමට පෙර අවසන් වර හැරී මාගේ නිදන කාමරය දෙස බැලු අවස්ථාවේ කුඩා මේස ඔරලෝසුවේ වේලාව 11.15 ලෙස සටහන්ව තිබූ වග මට සිහියට නැඟුණි. එයට අනුව දැන් මා පැයක් පමණ වේලාවක් තිස්සේ මහමඟ ඉබාගාතේ ඇවිදිමින් සිටි. සිහින් පොදක්ව තිබූ වර්ෂාව නොසිතූ මොහොතක මහා වරුසාවක්ව ඇද හැළුනේ විශාල වැහි බින්දු වලින් මගේ මුහුණ රිදවමිනි. තවත් නම් ඇවිදීමට පණක් වත් මින් ඉදිරියට අඟලක් වත් සෙලවීමට සිතේ හයියක් වත් මට නැත. ඈතින් මිනිස් පුළුටක සේයාවක් දුටු ම‍ගේ සිත බියෙන් කීරි ගැසී ගියේය. පන්ති නිමවී යන්තම් විනාඩි පහක් පමා වූවද මා සොයා එන අම්මා අද ඇගේ කෙලි පැටික්ක මහ රෑ වැස්සට අසුවී නාඳුනන මිනිසුන් අතර ගේ අතහැර ඉබාගාතේ ඇවිදිමින් සිටින බව දැනගත හොත් කුමක් වනු ඇත්ද? අනේ අම්මා........ ඉවසා දරා ගත නොහී මගේ සිත වර්ෂාවේ ශබ්දය තරමටම විලාප දෙන්නට විට. වැහි බිඳු තරමටම සුවිසල් කඳුලු කැට ඇසෙන් ගලා විත් වැසි දියටම සෝදා ගෙන යන්නට විය. මහත් වූ අසරණ කමකින් සිත වෙලී ගොස් ඉබේටම මා දෙපා අසල වූ කුඩා බස් නැවතුම් පළට ඇදී ගියේය.


මුල්ලකට වී ගුලී වී මා හිස දණහිස් අතර සඟවා ගත්තේ තව දුරටත් කඳුළු සඟවාගත නොහැකිවය. වර්ෂාවේ ශබ්දය නිසාවෙන් මා‍ගේ ඉකිබිඳුම කිසිවෙකුගේ සවනත නොවැකෙන බව මට විශ්වාසය. නැවත ගෙදර යාමට මට පාර සොයා ගත නොහැකිය. ඉඳින් මා කුමක් කරම්ද? ඉඳ හිටි පාරේ වාහන ගියද ඒවායේ පිහිට පැතීම මේ වෙලාවේ සුදුසු දැයි මා නොදනිමි. මහා අසරණ කමකින් මෙන්ම බියකින් මා සිත වෙලී ගියේය.


එසේ බියෙන් වැළපෙමින් සුසුම් ලමින් මා හෝරා කිහිපයක්ම එම බස් නැවතුමේම ගෙවා දමන්නට ඇත. වර්ෂාව මදකුදු අඩු නොවී තිබුන මා සිටියේ මාගේ ජීවිතයේ දීර්ඝතම රාත්‍රිය ගෙවමිනි.


යන්තම් හිස ඔසවා පාර දෙස බැලූවිට ඈතින් දිප්තිමත් ආලෝකයක සේයාවක් මා දෙනෙතට හසුවිය. ක්ෂනිකයෙන් හිසට ඇතුළු වූ අදහසක් මත මම හුන් තැනින් නැඟිට පාර දිගේ ඒ ආලෝකය දෙසට දුවන්නට වීමි. වර්ෂාව, සීතල, තැති ගැන්ම, බිය, බඩගින්න මේ සියල්ල මා උමතු කලාක් වැනි හැඟීමකින් ඔල්දදව මම මහ මඟ දිගේ ඔහේ දිව ගියෙමි. බොඳවූ දෑස් අතරින් මා පෙර දුටු ආලෝකය වාහනයකින් දැල්වූ එළියක් බව එය වඩ වඩාත් ළංවූ විට මට පෙනී ගියේය. එය වඩාත් පැහැදිලිව මා අභියස පෙනෙන්නට වූ මොහොතේ තව දුරටත් දරා ගත නොහී කම්පනයකින් මා ඇදවැටුනි..............

 ඒ මොහොතේ පටන් මා හට කුමක් වූවාදැයි දන්නේ රාත්‍රී අඳුර පමණී........................