Friday, September 24, 2010

සයුරු තෙර, නුඹ හා මම


සිහිල් දිය බින්දු මගේ දුහුල් රෑ ඇඳුම තෙත් කරගෙන පිට දිගේ ගලන අයුරු මට දැනේ. තව මොහොතකින් ඒ දිය බින්දු සියල්ල අවකාශයට වාෂ්ප වී යනු ඇත. මම නැවත හැරී ඒ කුඩා නිදන කාමරය සිසාරා නෙත් හෙළුවෙමි. ඔහු තවමත් නාන කාමරයේ විය යුතුය.

නැවත හැරුණු මා දෙනෙත ඉදිරියේ අඳුරේ ගිලී දිලෙන මහ සයුර රඟදෙයි. අඳුර මැද්දේ වුවද සයුරු රළේ සුදු පෙන කැටි වලට මගේ දෙනෙතින් වසන් වී සිටිය නොහැකි විය. තානායමේ වැට අද්දර පහන් කණුවල මලානික එළිය මුහුදු වෙරලේ තැවරි හිතට අමුතුම දුක් බර ගතියක් ගෙන ආවේය. ඈත ක්ෂිතිජ ඉමෙන් සඳමෝදු වී ගෙන එන්නේ තව සුළු මොහොතකින් ඇගේ සෞම්‍ය එළියෙන් මුළු සයුරු තලයම ඒකාලෝක කරන්නට යන බව කියා පාමිනි.
මධු සමය ගත කිරීමට සයුරුතෙරේ පිහිටි මෙම නැවතුම් හල ඔහුට යෝජනා කලේ මාය. සඳ එළිය, සයුර , මුහුදු රළ හඬ , මුහුදු සුළඟ..... ඔහුගේ ආදරයට පසුව මා උමතු කරන්නට හපන් තවත් සොඳුරු සුසංයෝගයන්ය. කුඩා කළ පටන් මා මුහුදට මුහුදු වෙරළට ආදරය කෙරුවෙමි. වැඩිවියට පත් වූ පසුත් මේ මොහොත දක්වාත් ඒ ඇල්ම මාතුල නොනැසී පවතී.

මුහුදේ දිය නෑමට අවස්ථාවක් ලද හොත් මා එය ප්‍රතික්ශේප කලේ නම් ඒ කලාතුරකිනි. මගේ සගයින් දියට බැස කෙළි කවටකම් කරමින් දිය රැළි අතර පිහිනද්දී මා කලේ මුහුදු රළ වෙරලේ ගැටෙන ඉස්ව්වේ වාඩිවී මාගේ දෙඅත් මුහුදු වැලි අතරට යට කර සඟවාගෙන නිසලව අහස දෙස බලා සිටීමයි.
සයුරු රළ හා ගෙවෙන ඒ මොහොත මට කවදාකවත් අමතක නොවේ. මුහුදු රළ පෙරළි විත් මගේ මුළු ගතම වසාගෙන වෙරලේ සැතපෙන්නට විය. මා අතපය දිග හැර මගේ සිරුරට වඩාත් හොඳින් රළ පහර විඳ ගැනීමට ඉඩ හලෙමි. රළ මෙතරම් දඟකාර මන්ද?

වරෙක මාහා අමනාප වූසේ මා පැත්තකට තල්ලු කර දමයි. විටෙක මා බදා ගනිමින් මා ගතේ සෑම අඟලක්ම අනුරාගයෙන් පිරිමදී. තවත් වරෙක මා තෙරපාගනිමින් ගත සිප ගනී. සැබැවින්ම මේ මොහොතේ මා සයුරු රළ හා රමණයේ යෙදෙමින් සිටින්නාසේ මට හැඟෙන්නට විය. රළු මුහුදු රැල්ලට මා ගත හා එක්වන්නට ඉඩ හැර මම නිහඬව වෙරල මත වැතුරුනෙමි. තමන් ආදරය කරන  පිරිමි ආත්මයක් හා එක් වීමේ ඒ අනුරාගි අත්දැකීම සයුරු රළ මට අපූරුවට කියා දුන්නේය.

ඒ එදවසය....

මගේ ගෙළ පිටුපසට දැනුන උණුසුම් හුස්මක පහසින් මම ගැස්සී පියවි ලොවට ආවෙමී. මා අනුමාන කල ලෙසම ඔහුගේ දෙඅත් මා බඳ වටා ලතාවකට එතුනි.. මගේ කන් පෙති වලත් ,ගෙලෙහිත් තෙත් කොණ්ඩය අතරත් ඔහේ ඇදෙන ඒ උණුසුම් දෙතොල් පහසට මා අපමණ ඇළුම් කෙරුවෙමි. ඒ දෙතොල් මා ගතේ අනුරාගී අඟුළු හරින යතුරක් වැනිය.. තොල් පහස ලබන වාරයක් පාසා මාගේ හැඟීම් විවෘතවී දෝරේ ගලා යන්නට පටන් ගනී.

"මොනවද මුහුන දිහා බලාගෙන කල්පනා කරේ?"

මා උරහිසේ නිකට රැන්දූ ඔහු හඬ අවදි කලේය..

"ම්ම්ම්ම්ම්....... ගොඩාක් දේවල්. දැන ගන්න ඕනද?"

" එපා එපා.. ඔය ඉවරයක් නැතිව කියවන තොල් දෙකට අද නිවාඩු දෙමු..  අද ඒ වලට වෙන වැඩක් තියෙනවා."

"ඒත් අහන්නකෝ. අර බලන්න. හඳ තව ටිකක් මුදුනට ආවම මුහුද කොච්.....ච....අහ්!"

මවිසින් කියන්නට කැටි කරගත් වදන් සියල්ල ඔහුගේ දෙතොල් අතර හැංගී ගියේය. තවත් වදනකට තබා හුස්මක් ගත්තට පවා මගේ දෙතොල් මට අයිති නැති විය. මගේ මුළු ජීවියම දෙතොලින් උරා බොන්නට ගත් ඔහුගේ ඒ රළු පහස අභියසදී ගත පන නල සිඳී මම ඒ දෑත් වලටම කඩා වැටුනෙමී. මේ මා සිපගන්න ලැබෙන අන්තිම මොහොත මෙන් ඔහු නොනවත්වා මා සිපගනිමින් සිටී.

ඔහුගේ වතට බරවූ සැනින්ම කුරුළු පිහාටුවක් මෙන් සැහැල්ලුවෙන් මා දෝතට වඩා ගත් ඔහු එතෙක් අප සිටි සඳළු තලයෙන් නික්ම නිදන කාමරයට පිය නගන්නට විය. මම ඔහුගේ ගෙල වටා මගේ දෑත් වලින් බදා ගෙන අවසන් වතාවට යළිත් ඔහුගේ උරහිස් ඉහළින් එබී මුහුද දෙස බැලුවෙමී......

Thursday, September 23, 2010

සිහින දකින්නියගේ විකාර සටහන


ලෝකය එකම විකාරයකි. මට සිතෙන්නේ එහෙමය. රිදි තිරයෙන් පොත් පුවත් පත් වලින් කතන්දරවලින් සුන්දර ලොවක් මවමින් එහෙව් වූ ලෝකයක ජීවිත් වීමට ආසා කරවමින් දිනෙන් දින අප පැතුම් සුනු විසුණු කරමින් අපව කටුක සත්‍යයේ ජිවත් වෙන්නට ඉඩහැර මේ ලෝකය කුරිරු සතුටක් ලබයි. ඉන් සමහරෙක් පමණක් සත්‍ය තේරුම් ගෙන එයින් මිදේ.. සමහරෙක් සත්‍ය නොදැනම නොලැබෙන දේ කෙරෙහි බලාපොරොත්තු පොදි බැදගන ජිවිතය ගෙනයයි.. මා වැනි සමහරෙක් සත්‍ය තේරුම් ගෙනද ඉන් මිදීමට නොහැකිව සැබෑ නොවෙනා සිහින ලෝක වල ජීවත් වේ.
මම සිහින මැවීමට උපන් හපනෙක්මි. නිදා නොනිදා වුවද මට සිහින මැවිය හැක. ශරීර කෘතය නිම කිරීමට ගියද, නානකාමරයේ වතුර මල යටද, බසයක කවුළුවක් ආසන්නයේ අසුනක්ද මට සිහින මැවීමට තෝතැන්නක් විය.කම්මුගේ අත ගසා ගෙන හිස ඇළ කළ සැනින් මගේ කුඩා හිස්ගෙඩිය සිහින වලින් පිරීයයි.
වරෙක මා හුඟ කලක් තිස්සේ නොළඳ මව් උකුලේ සුවෙන් සැතපෙමි. වරෙක මා එඩ්වර්ඩ් කලන්ගේ තුරුලේ ඒ දෙතොල් පහස විඳිමින් සිටිමි. වරෙක මා ස්කූටි පෙප් රියක නැඟි කුරුල්ලෙකුසේ කොල්ලන්ද පරදවමින් මහපාර දිගේ ඇදී යයි..


සිහින නම් එමටය. සැබෑ වුවහොත් පුදුමය. සැබෑ නොවුනත් ඒ සිහින මියයායුතුද?
නැත. මාගේ සිතේ නැඟුන සාමාන්‍ය අසාමාන්‍ය ඒ සිහින බලාපොරොත්තු කිසිවක් මියයාමට මට ඉඩ දිය නොහැක. එහෙත් හැම සිහිනයක්ම එකතු කර මගේ කුඩා හිස් ගෙඩිය පුපුරවා හරින්නට මට උවමනා නැත. එහෙයින් මා දුටු සිහින මම මෙසේ සටහන් කරමි. කවදා හෝ ගූග්ල් සර්වරයට බර වැඩිවී මේ සටහන් දොට්ට දමන තුරු ‍මගේ සිහින මෙහි සැරිසරනු ඇත.
මගේ සිහින කියවන ඔබට සිනා නැගෙනු ඇත. දුක සිතෙනු ඇත. තරහා යනු ඇත. අනුකම්පා සිතෙනු ඇත. තවත් බොහෝදෑ සිතෙනු ඇත. මම වෘත්තීමය ලියන්නෙකු නොවේ.. ඉඳින් මගේ ලියමනෙහි දහසක් වැරදි ඔබට දැකිය හැකි වේවි. මම මගේ වචන කෙරෙහි සැළකිලි මත් නොවෙමි. මගේ ව්‍යාකරණ වල නිවැරදි බව ගැන මට වගක් නැත. උක්ත ආක්‍යාත සම්බන්ධය මට වැඩක් නැත.කරුණාකර මාව නිවැරදි කිරීමට උත්සහ නොගන්න. මේ මමය. අවසානය දක්වා මා මා ලෙසම සිටීමට කැමැත්තෙමි. හැකිනම් පමණක් මා සමඟ මගේ සිහින විඳින්න.